කවුළුව

 ඡායාරූපය:

කවුළුව

ජෝර්ජ් ඕර්වෙල් පිළිබඳ කෘතියකට ඇගයීමක්

ප්‍රකට ඉංග්‍රීසි නවකතාකරුවකු වන ජෝර්ජ් ඕර්වෙල් රචනා කළ නවකතා ඇසුරින් නිර්මාණය වී ඇති සිනමාපට සහ රූපවාහිනී නාට්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් බ්‍රිතාන්‍යයේ හාර්ට්ල්පූල් ප්‍රදේශයේ ඬේවිඩ් රයන් නමැති ලේඛකයකු විසින් රචනා කරන ලද කෘතියක් පසුගිය වසරේ ජාත්‍යන්තර ටයිම්ස් සාහිත්‍ය අතිරේකයේ ජනප්‍රියතම කෘති අතරට එක්ව තිබෙනවා. පනස් හැවිරිදි වියේ පසු වන ස්වාධීන පුවත්පත් කලාවේදියකු වන ඬේවිඩ් රයන් රචනා කළ මේ කෘතිය පළ වී ඇත්තේ ‘ජෝර්ජ් ඕර්වෙල් ඔන් ස්ක්‍රීන්’ (George Orwell on Screen) යන නමින්. පිටු 255කින් සමන්විත මේ කෘතිය සඳහා අවශ්‍ය තොරතුරු සපයාගැනීමට චිත්‍රපට නළුනිළියන්, තිරපිටපත් රචකයින්, අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ඇතුළු විශාල පිරිසක් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමට රයන්ට සිදුව තිබෙනවා. ඕර්වෙල් විසින් 1940 ගණන්වලදී රචනා කරන ලද ‘නයින්ටීන් එයිටි ෆෝර්’ (Nineteen Eighty-Four) සහ ‘ඇනිමල් ෆාර්ම්’ (Animal Farm) ඇතුළු නවකතා පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා ඔහු ඕර්වෙල් ඒ කෘති රචනා කළ ස්ථානවලට පවා ගොස් තිබෙනවා.

ද. කොරියානු ලේඛිකා ක්යුන්ග්-සූක් ෂින්ගේ අලුත්ම නවකතාව ඉංග්‍රීසි බසින්

‘ප්ලීස් ලුක් ආෆ්ටර් මම්’ (Please Look After Mom) නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ කෘතිය රචනා කරමින් 2012 වසරේදී මෑන් ඒෂියන් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් දකුණු කොරියානු ලේඛිකා ක්යුන්ග්-සූක් ෂින් විසින් රචනා කරන ලද අලුත්ම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ‘ද කෝර්ට් ඩාන්සර්’ (The Court Dancer) නමින් දැන් පළ වී තිබෙනවා. 19 වැනි සියවසේ අග භාගයේ ජීවත් වූ යී ජින් නමැති කොරියානු ගොවි කතක ගැන කියැවෙන මේ නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ඇන්ටන් හර් නමැති පරිවර්තකයෙක් විසින්. ෂින් රචනා කළ තවත් කෘතියක් ‘වයලට්ස්’ (Violets) නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සඳහා මේ වන විටත් ඔහු තෝරාගනු ලැබ තිබෙනවා. මෑන් ඒෂියන් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම දකුණු කොරියානු ලේඛිකාව වන ක්යුන්ග්-සූක් ෂින් රචනා කළ කෘති සියල්ල මේ වන විට විවිධ සාහිත්‍ය සම්මාන රැසකින් පිදුම් ලබා තිබීම විශේෂ කරුණක්.

හෙමිංවේ ගැන අප්‍රකට තොරතුරු රැගත් කෘතියක් එයි

අර්නස්ට් හෙමිංවේගේ චරිතය පිළිබඳ නව තොරතුරු රැසක් ඇතුළත් කෘතියක් ‘දහ අටේදී හෙමිංවේ’ යන අදහස සහිතව ‘හෙමිංවේ ඇට් එයිටීන්’ (Hemingway at Eighteen) නමින් පළ වී තිබෙනවා. එය රචනා කර ඇත්තේ හෙමිංවේ ‘කැන්සස් සිටි ස්ටාර්’ නමැති පුවත්පතේ සේවය කළ කාලය තුළදී එහි සේවයට බැඳී දීර්ඝ කාලයක් පුරා පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ ස්ටීව් පෝල් නමැති ප්‍රවීණ ලේඛකයෙකු විසින්. හෙමිංවේගේ තරුණ කාලය පිළිබඳව දිගු කලක් පුරා පර්යේෂණ කළ ඔහුට වසර දහයකට පමණ පෙර බොස්ටන් නුවර ජෝන් එෆ්. කෙනඩි ජනාධිපති පුස්තකාලයේ තිබී හමු වූ ලිපි ගොනුවකින් මේ චරිතය පිළිබඳ විරල ගණයේ තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට හැකි වී තිබෙනවා. මෙමඟින් හෙමිංවේගේ ජීවිතය පුවත්පත් කලාවේදියකු ලෙස ගත වූ ආකාරයද ඉදිරිපත් කෙරෙනවා. එසේම, පසු කලෙක විශිෂ්ට ලේඛකයෙකු බවට පත් වීම සඳහා සිය තරුණ වියේදී ලද අත්දැකීම් ඔහුට වැදගත් වන්නට ඇත්තේ කුමන අයුරින්දැයි කියාත් පැහැදිලි කෙරෙනවා.

[මේනුක විතාන]

මාතෘකා