අලංකාරවාදයෙන් ඇරඹුණු සාහිත්‍ය විචාර වාද

 ඡායාරූපය:

අලංකාරවාදයෙන් ඇරඹුණු සාහිත්‍ය විචාර වාද

දේශපාලනඥයන් අතර මෙන් ම සාහිත්‍යකරුවන් අතර ද විවිධ මත වාද බිහි විණ. අගනා කාව්‍යයක් හඳුනා ගන්නේ කෙසේද? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඈත අතීතයෙහි සිට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවෙහි සාහිත්‍යකරුවෝ වාද විවාද කළහ. ඔවුහු කාව්‍යය දුටුවේ 'පුරුෂයෙකු' වශයෙනි. මේ 'කාව්‍ය පුරුෂයාට' 'කාව්‍ය ශරීරයක්' මෙන් ම 'කාව්‍ය ආත්මයක්' ද ඇත.

කාව්‍යයේ ශරීරය නම් එහි යෙදෙන ශබ්ද හා ඒ ශබ්දවලින් නැඟෙන අර්ථ යි. ඒ ගැන වාදයක් පැන නොනැඟිණ. වාදය පැන නැගුණේ කාව්‍යයේ ආත්මය සම්බන්ධයෙනි. ඉන්දියාවේ කලින් කලට පහළ වුණු ආචාර්යවරු කාව්‍යයේ ආත්මය මේ යැයි විවිධ විචාර චින්තා ඉදිරිපත් කළහ.

මේ සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය ජී. හේමපාල විජයවර්ධන මෙසේ පවසයි:

"පූර්වකාලීන ලේඛකයන් විසින් වරින්වර ඉදිරිපත් ඉදිරිපත් කරන ලද විචාර චින්තාවන් ක්‍රමානුකූල ලෙස එක් තැන් කොට මැනවින් පූර්වාපර වශයෙන් ගළපා සංගෘහිත චින්තාවලියක් බිහි කිරීමේ ගෞරවය මම්මට හා විශ්වනාථ යන ආචාර්යවරයන්ටත් ඔවුන්ගෙන් පසුව පහළ වූ පණ්ඩිතරාජ ජගන්නාථටත් අයත් වෙයි"

('සංස්කෘත කාව්‍යවිචාරයේ මූලධර්ම' 11 පිට)

මේ සාහිත්‍යකරුවන්ගේ නිගමනය අනුව 'කාව්‍යයේ ආත්මය' වශයෙන් විචාර සංකල්ප 8ක් ඉස්මතු විණ. ඒ, විචාර සංකල්ප අනුව බිහි වුණු විචාර වාද මෙසේ ය:

1 අලංකාරවාදය

2 රසවාදය

3 ගුණවාදය

4 රීතිවාදය

5 ධ්වනිවාදය

6 අනුමිතිවාදය

7 වක්‍රෝක්තිවාදය

8 ඖචිත්‍යවාදය

මේ එක් එක් ආචාර්ය කුලයකට අයත් වූවෝ තම තමන්ගේ සිත් ගත් කාව්‍ය සංකල්පය කාව්‍යයේ ආත්මය වශයෙන් දුටහ. අලංකාරවාදීන් "කාව්‍යයේ ආත්මය අලංකාරය යැ"යි සිතූ අතර ධ්වනිවාදීන් "ධ්වනිය කාව්‍යයේ ආත්මය යැ" සිතුවාක් මෙනි. මේ අතුරින් සිංහල කවීන් කෙරේ බල පෑ විචාර සිද්ධාන්ථ කීපය පහත දැක්වේ.

අලංකාරවාදය

මේ කාව්‍ය විචාර සිද්ධාන්ත අතර දක්න ලැබෙන පැරණිතම සිද්ධාන්තය වශයෙන් සැලකෙන්නේ 'අලංකාරවාදය' යි. එහි ආදිකර්තෘවරයා වූයේ භාමහ නම් සාහිත්‍යධරයා යි. ඔහු ජීවත් වූයේ හත්වෙනි සියවසෙහි යි. ඔහු ලියූ 'කාව්‍යාලංකාර' අලංකාරවාදය අළලා ලියවුණු පැරණි ම ග්‍රන්ථයයි.

දැනට අප අතට පත් ව ඇති පැරණිතම සිංහල සාහිත්‍ය කෘතිය සේ සැලකෙන 'සියබස්ලකර' දණ්ඩීන් නම් ඉන්දියානු අලංකාරවාදියාගේ 'කාව්‍යාදර්ශ' නමැති කෘතියේ ඡායානුවාදයක් සේ සැලකේ. පැරකුම්බා නිරිඳුන්ගේ 'කව්සිළුමිණ' නමැති මහාකාව්‍යය අලංකාරවාදයේ අග්‍රඵලයක් සේ විචාරකයෝ සලකති. 'මහාකාව්‍ය' සම්ප්‍රදාය' අලංකාරවාදයෙන් පෝෂණය වූවකි. භාමහ, උද්භට හා රුද්‍රට යන තිදෙන ප්‍රධාන අලංකාරවාදීන් සේ සලකති.

රසවාදය

කාව්‍යයෙන් සිදු වන්නේ රසයක් ජනිත කිරීම හෙයින් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණු විචාර වාදය 'රසවාදය' විය. එය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ භරත මුනිවරයාට ය. එහෙත් ඔහු ලියූ 'නාට්‍ය ශාස්ත්‍රය' නමැති කෘතියෙහි රසය අයත් වන්නේ නාට්‍ය රස අතරට ය. එබැවින් "රස සංකල්පයට කාව්‍ය විචාරයෙහි ලා උපරිම ස්ථානය හිමි කරදෙන ලද්දේ විශ්වනාථයන් විසින්" බව මහාචාර්ය විජයවර්ධනයෝ කියති. (19) "කාව්‍යය යනු රසාත්මක වූ වාක්‍යයක් යි" යන චිරප්‍රසිද්ධ ප්‍රකාශය කළේ 'සාහිත්‍ය දර්පණය' ලියූ විශ්වනාථ යි.

ධ්වනිවාදය

කාව්‍යයේ ආත්මය 'ධ්වනිය' සේ සැලකූවෝ 'ධ්වනිවාදීහු' වූහ. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් කළේ 'ධ්වන්‍යාලෝකය' නමැති කෘතිය කළ ආනන්දවර්ධන යි. ඒ නවවැනි සියවසෙහි දී ය. එහි දැක්වෙන පරිදි රසය යනු ධ්වනියේ එකි ප්‍රභේදයක් පමණකි. 'කාව්‍යප්‍රකාශය' ලියූ මම්මටාචාරීහු ද ධ්වනිවාදියෙක් වූහ.

වක්‍රෝක්තිවාදය

එකොළොස්වන සියවසෙහි විසූ 'රාජාවන කුන්තක' නම් සාහිත්‍යධරයා 'වක්‍රොක්තිවාදය' මුලින් ම හෙළි පෙහෙළි කළේ 'වක්‍රොක්තිජීවිත' නමැති ග්‍රන්ථය ලිවීමෙනි. වක්‍රෝක්තිය සියලු ම අලංකාරවලට පදනම් වන බව කුන්තක කියයි.

ඖචිත්‍යවාදය

කිසියම් රසයක නිෂ්පත්තියට සියල්ල උචිත විය යුතු ය යන සිද්ධාන්තය ඉදිරිපත් කළ ක්ෂේමේන්ද්‍ර ඖචිත්‍යවාදයේ පියා විය. ඔහු ලියූ 'ඖචිත්‍යවිචාරචර්චා' නම් කෘතිය ලිවීමෙහි දී ආනන්දවර්ධන හා අභිනවගුප්ත ආදීන්ගේ අදහස් ප්‍රයෝජනයට ගැනිණ.

රීිතිවාදය

රීතිවාදය 'ගුණ' හා 'රීති' යන සංකල්ප දේකේ ම සංයෝගයකි. එබැවින් බොහෝ විට එය හැඳින්වෙන්නේ 'ගුණ රීති වාද' යන පොදු නාමයෙනි.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා