යශෝධරාවත තරම් කිසිවක් මා සසල කළේ නෑ

 ඡායාරූපය:

යශෝධරාවත තරම් කිසිවක් මා සසල කළේ නෑ

සාහිත්‍යවේදී සමන් නන්දලාල්

මෙතෙක් මා කියවා ඇති පොත් අතරින් මගේ හදවත සසල කළ කෘතිය වශයෙන් මා දකින්නේ යශෝධරාවත පද්‍ය කෘතියයි. යශෝධරාවත ජනකවියකුගේ නිර්මාණයක්. එහි කර්තෘ අඥාත ලෙසයි සඳහන් වෙන්නේ. සිදුහත් කුමරා බුදු බව අපේක්ෂාවෙන් අභිනිෂ්ක්‍රමණය කළ පසු කිඹුල්වත්පුර රජ මාලිගයේ සිඟිති පුතු රාහුල කුමරා හා තනි වන යශෝධරාවගේ ශෝකය, එනම් විප්‍රලම්භ ශෘංගාරය මින් ප්‍රකාශ වෙනවා. සිඟිති පුතු හා තමා තනිකර හොර රහසේ විමුක්තිය සොයා ගිය සැමියා කෙරෙහි මෙහිදී යශෝධරාව මෛත්‍රිය දනවමින් යහපත ප්‍රාර්ථනා කරන්නේ.

උන්නෙමු අපි ඉපිද ලෙහෙනුන් කුලේ එදා

වැටුණේ ජලය මත සමුදුරයේ බිළිදා

දැනුණේ කරපු වීරිය ගොඩ ගන්න එදා

හිමි රජුනේ මඟ හැරියේ මන්ද මෙදා

 

තමා අතැර ගිය සිදුහත් කුමරු පෙර සංසාරයේ තමා හා එක්ව දිවි ගෙවූ ආකාරය යශෝධරා එසේ පවසනවා. පෙරදී මෙන් මෙකල තමන් හා දරුවා සමඟ නොසිට විමුක්තිය සොයා යෑම පිළිබඳව ඇය කෝප ගන්නේ නැහැ. මධ්‍යස්ථ සිතුවිලි සමඟ සියල්ල දෙස බැලීමට ඇය පෙළඹෙනවා.

වනේ තියෙන කොයි දේවත් රස වේවා

මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා

අව්වේ තියෙන රැස් ධාරා අඩු වේවා

ගව්වෙන් ගව්ව දිව මාළිඟ සෑදේවා

තම සැමියා කෙරෙහි පවතින ආදරය, දයාව, කරුණාව, අනුකම්පාව ආදී සියලු ලක්ෂණයන් විදහාපාමින් ඇය ඔහුට යහපතම ප්‍රාර්ථනය කරනවා. කිසිම විටෙක තමා හා දරුවා අතැර ගිය සැමියාට දෝෂාරෝපණය කරන්නේ නැහැ. මෙය කාන්තාවන්ට උරුම සුවිශේෂ ලක්ෂණයක් ලෙස දක්වන්නත් පුළුවන්. පුරුෂයන් හැර ගිය කාන්තා චරිතයකට හොඳම නිදර්ශනය පබාවතීයි. කුස ජාතකය ඇසුරින් රචිත කව්සිළුමිණ කාව්‍යයේදී කුස වැලපෙන්නේ තමාට අහිමි වූ කාන්තා ශරීරය ගැනයි. පුරුෂයන් හැම විටම ලෞකිකත්වය පසුපස හඹා යන විට කාන්තාව ශ්‍රේෂ්ඨ ලෙස තම ස්වාමියාගේ යහපත අපේක්ෂා කරන බවට යශෝධරාවත මින් මනා නිදසුන් සපයනවා.

මම යශෝධරාවත කියවන්න පෙළඹුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. ඒ, අමරදේවයන්ගේ ගීතයක් ඇසීමෙනුයි. ඔහු සිය ගීතයක වනේ තිබෙන කොයි දේවත් රස වේවා ආදී වශයෙන් ඇති යශෝධරාවතේ එන කවිය භාවිතයට ගෙන තිබුණා. එය ඇසූ මට යශෝධරාවත කියවීමේ ආශාවක් ඇති වුණා. වසර ගණනාවක් මගේ පොත් එකතුවේ තිබූණ මේ පොත අරගෙන කියවන්න මම පෙළඹෙන්නේ ඒ ආකාරයටයි.

මගේ පසුබිම කීවොත් මම උපන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කහව කියන සුන්දර ගම්මානයේ. ඒ, දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස. මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. ඇය ගෘහණියක්. තාත්තා වෙළහෙළදාම් කළා. මගේ සීයා 1956 වසරේ විශ්‍රාම ගිය සිංහල ගුරුවරයෙක්. මාමා කොළඹ යුගයේ හිටපු කවියෙක්. ඒ නිසා මගේ ගෙදර පොතපත හොඳින් ගැවසුණා. ඒ වගේම මගේ තාත්තා හැම සතියේම සිළුමිණ පත්තරේ ගෙදරට ගෙනාවා. ඒ නිසා මම පත්තර බලන්නත්, කියවන්නත් ඉබේටම පුරුදු වුණා. කහව රතනසාර කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මම අධ්‍යාපනය හැදෑරුවේ. ඒ පාසල්වලිනුත් මගේ කියවීමේ පුරුද්ද වැඩිදියුණු වුණා. එසේම පොත්පත් කෙතරම් සංඛ්‍යාවක් කියෙව්වත් යශෝධරාවත තරම් මගේ හදවත සසල කළ තවත් කෘතියක් නැහැ කියලා මට කියන්න පුළුවනි.

 

මාතෘකා

ජනප්‍රිය ලිපි