අනුවාද අවවාද හා අපවාද

 ඡායාරූපය:

අනුවාද අවවාද හා අපවාද

මත පිළිබඳව 'මති මතාන්තර' රාශියකි. 'මති මතාන්තර' යනු මොනවා ද? මෙහි මුල් රූපය 'මත මතාන්තර' යන්න යි.

'මතාන්තර' යන්න සැදී ඇත්තේ 'මත' හා'අන්තර' යන පද දෙක සන්ධි වීමෙනි. මෙහි 'අන්තර' යන්නෙහි තේරුම 'වෙනත්' යන්න යි. 'මතාන්තර' යනු 'වෙනත් මත' යි.

'මත' මුල් කොට ‍ගෙන 'වාද' ඇති වුණත් කිසිදු 'වාදයක්' නැති 'වාද' කීපයක් ගැන ද අසන්ට ලැබේ. පහත දැක්වෙන වාද මෙනි.

අනුවාදය

'අනුවාදය' යනු සාහිත්‍යයෙහි එන පදයකි. එයින් අදහස් කෙරෙන්නේ එක් භාෂාවකින් වෙනත් භාෂාවකට පෙරළුණු කෘතිය යි. 'බැද්දෙගම' යනු ස්වතන්ත්‍ර නිර්මාණයක් නොව ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත 'Village in the Jungle' නමැති කෘතියේ 'අනුවාදයක්' ය. අනුවාදයට 'පරිවර්තනය' කියාත් ව්‍යවහාර කෙරේ. එසේ කරන්නාට 'අනුවාදකයා' හෝ 'පරිවර්තකයා' යන නම යෙදේ. එසේ කරන කාන්තාව 'අනුවාදිකාවක්' හෝ 'පරිවර්තිකාවක්' ය.

ඡායානුවාදය

පරිවර්තන දෙ වර්ගයක් ඇත. එක් වර්ගයක් 'පදානුපදික පරිවර්තන' යි. එය මුල් පොත පදයෙන් පදය පරිවර්තනය කරමින් ලියවෙන්නකි. එසේ නැතිව මුල් පොතේ පද නොව අදහස් පමණක් ගෙන නිදහසේ පරිවර්තනය කරමින් බිහි කරන පරිවර්තනය 'ඡායානුවාදයක්' සේ සැලකේ. එහි ඇත්තේ මුල් පොතේ ඡායාව පමණක් හෙයිනි.

අපවාදය

'අපවාදය' යන පදයෙහි එන 'අප' යන උපසර්ගය 'පහත්' 'විරුද්ධ' යන අදහස් දෙයි. ඉවත දමන 'අපද්‍රව්‍ය' ගැන මෙන් ම දේශපාලකයන්ගේ මුදල් 'අපයෝජන' හා 'අපභාවිතය' ගැන මේ දිනවල නිතර කතා කරනු ඇසේ. එබැවින් 'අපවාදය' යනු කිසිවෙකුට විරුද්ධව නැගෙන දෝෂාරෝපණය යි. එයින් ඔහුට ලැබෙන්නේ නින්දාවක් හෝ නිග්‍රහයක් ය.

අවවාදය

'අවවාදය' යනු කිසිවෙකු වැරැද්දක් කළ විට යළි එසේ නොකරනු යනුවෙන් කීම යි. 'අවවාද' යනු සංස්කෘත තත්සමයකි. ඊට අනුරූප තද්භව පදය 'ඔවා' යන්න යි. අනුන්ට අවවාද දෙන්නට කලින් තමා ඒ අවවාදය රකින කෙනෙකු වීමේ වැදගත්කම 'ලෝකෝපකාරය' ලියූ රණස්ගල්ලේ හිමියෝ මෙසේ පෙන්වා දෙති:

"ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට

දුසිරිත දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි" (89 ගීය)

අවවාද අනුශාසනා

'අවවාද' යන පදය සමඟ නිතර යෙදෙන්නකි 'අනුශාසනා' යන පදය. මෙය 'දකාරාර්ථ සමාස' පදයකි. මේ පද දෙකේ තේරුම් 'ධම්පියා අටුවා ගැටපදයෙහි' මෙසේ දක්වා තිබේ:

"ඔවා නම් දුටු වරද පට්වනු. අනුසසුන් නම් නුදුටු වරදහි හික්වනු.

දුටු දොස්හි ඔවා දෙන්නේයි. නුදුටු දොස්හි අනුසස්නේයි"

'අවවාද' හා 'අනුශාසනා' යන පද අතර සියුම් වෙනසක් දක්නට ලැබේ. 'අවවාද' යනු වැරුද්දක් කළ විට යළි එසේ නොකරන ලෙස කීම යි. 'අනුශාසනා' යනු වරදක් කිරීමට කලින් එසේ නොකරන ලෙස කීම යි. සුළු වැරැද්දක් කළ විට පොලිසියෙන් බොහෝ විට ලැබෙන්නේ 'අවවාදයක්' ය. ධර්මානුශාසනාවෙහි දී කෙරෙන්නේ මේ මේ දේ නොකළ යුතු යැයි කල් තියා කීම යි. "මත් පැන් බොන්ට එපා" යනු අනුශාසනාවකි. එහෙත් මත් පැන් බී අසු වූ විට "ආයෙමත් බීලා අහු වෙන්ට එපා" යැයි කීම අවවාදයකි.

ප්‍රවාද

'ප්‍රවාදය' යනු මුඛ පරම්පරාගතව එන කථාව හෝ පුරාවෘත්තය යි. ජනයා අතර පවතින මේ ප්‍රවාද 'ජන ප්‍රවාද' යන නම ලබයි. ප්‍රවාදය ඓතිහාසික ප්‍රවෘත්තියෙන් වෙනස් වේ. ඓතිහාසික ප්‍රවෘත්තිය සත්‍යයකි. ජන ප්‍රවාදය සත්‍යයක් වීමට ඉඩ ඇත.

විවාද

සිය මතය නිවැරදි බව ඔප්පු කිරීම පිණිස මිනිස්සු 'වාද' කරති. ඒ හේතුවෙන් ඒ ගැන 'විවාදයක්' ඇති වේ. මෙසේ 'වාද විවාද' කරමින් තමන්ගේ මතය පමණක් නිවැරදි යැයි ඔප්පු කිරීමට සමහරු වෙහෙසෙති. පාසැල් අතර ද 'විවාද' පැවැත්වේ. ඒ දරුවන්ගේ තර්ක ඥානයත් කථිකත්වයත් වැඩි දියුණු කිරිමේ අරමුණෙනි.

කිසියම් කරුණක් ගැන වාදයක් නැත් නම් ඒ මතය නිවැරදි යැයි 'අවිවාදයෙන්' පිළිගැනේ.

සංවාදය

'සංවාදය' යන පදයේ මූලික අර්ථ දෙකකි. පළමුවැන්න, දෙදෙනෙකු අතර සිදු වන කතාබහ යි. මීට ම 'දෙබස' යන නම ද යෙදේ. මුල් ම සිංහල නවකථාවල 'සංවාද' පවා කෙරුණේ 'ලියන භාෂාවෙන්' ය. එහෙත් පසුව නවකථාවේ සංවාද සඳහා 'කට වහර' යොදා ගැනිණ.

'සංවාද' යන පදයේ දෙවෙනි අර්ථය එය කතාබහෙන් ඔබ්බට ගෙන යන්නකි. එනම් දෙදෙනෙකු අතර සිදු වන අදහස් හුවමාරුව යි. එය පුවත්පත් මගින් සිදු කෙරෙන සංවාදාත්මක අදහස් හුවමාරුවක් ද විය හැකි ය.

විසංවාදය

'විසංවාදයක්'ඇති වන්නේ කිසියම් ප්‍රශ්නයක් ගැන පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීමෙනි. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විසංවාදයක් ඇති වෙමින් පවතින බවක් පෙනේ.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා