ගුවන්විදුලියේදි වගේම පරිවර්තනයේදීත් මම භාෂාව ගැන සැලකිලිමත් වුණා

 ඡායාරූපය:

ගුවන්විදුලියේදි වගේම පරිවර්තනයේදීත් මම භාෂාව ගැන සැලකිලිමත් වුණා

ස්වර්ණ ගුණවර්ධන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියෙකි. නිවේදන ශිල්පියෙකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ දැනුමක් හා පළපුරුද්දක් හිමි ඔහු නොබෝදා සාහිත්‍ය කෘතියක් එළිදැක්වීය. එනම් ‘රහසිගත උයන’ නම් යොවුන් පරිවර්තන ග්‍රන්ථයයි. ෆ්‍රාන්සස් හොඩ්සන් බර්නෙට්ගේ The Secret Garden නම් කෘතිය ඇසුරින් ‘රහසිගත උයන’ නමින් කර ඇති මෙම කෘතිය ප්‍රකාශනය කර ඇත්තේ ඔහුගේම ප්‍රකාශන ආයතනයක් වන ස්වර්ණ ග්‍රන්ථ ලෙසය. ඉදින් මේ ඒ පිළිබඳව ඔහු සමඟ අප කළ සංවාදයකි.

මාධ්‍යවේදියෙකු වූ ඔබ අද කථා කරන්නෙ කතුවරයෙක් විධියට?

ඔව්. කතුවරයෙකු විධියට මීට කලිනුත් මට අත්දැකීමක් තියෙනවා. ඒ, ගීත රචනා එකතුවකින්. ඒත් පරිවර්තකයෙක් විධියට මේ මගේ පළවෙනි අත්දැකීම. පරිවර්තකයෙක් කිව්වාට ග්‍රන්ථ පරිවර්ථනයට තමයි මම අලුත්. ගුවන්විදුලි නාට්‍ය, ගුවන්විදුලි කතා, ශාස්ත්‍රීය ලිපි ලේබන රැසක් මම මීට කලිනුත් පරිවර්තනය කරලා තියෙනවා.

අලුත් නිර්මාණය සඳහා පරිවර්තන කෘතියක් තෝරාගත්තෙ ඇයි?

ඇත්තටම තරුණ පරම්පරාව අද කියවන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. ඒකට හේතු හොයද්දි මට හිතුණු දෙයක් තමයි ඔවුන්ට කියවන්න ආකර්ෂණීය යොවුන් කෘති තිබෙනවාද කියන එක. හැමදාම මම හිතපු දෙයක් තමයි යොවුන් දරුවන්ට ඉතා ආසාවෙන්, එක හුස්මට කියවන්න පුළුවන් කෘතියක් මගේ අතින් නිර්මාණය විය යුතුයි කියල. මටත් තරුණ වයසේ පුතෙක් ඉන්නවා. මේ පරිවර්තන කෘතිය බිහි වෙන්න ඒකත් එක හේතුවක් වුණා. ඉතින් කාර්යබහුල ජීවිතයකට හුරු වෙලා සිටි මට හිතුණා ඒකෙන් මිදිලා ටිකක් නිදහසේ හිතල, හොඳින් කියවලා මේ කෘතිය කරන්න.

මීට ‘රහසිගත උයනක’ වගේ නමක් තෝරගත්තෙ ඇයි?

මේක අභිරහස් කතාවක්වත්, රහස් පරීක්ෂක කතාවක්වත් නෙවෙයි. අවුරුදු 12ක විතර දරුවො තුන්දෙනෙක් තමන්ගෙ ජීවිතවලට එල්ලවන අභියෝගයන් ජය ගන්න හැටි, පරිසරයට ආදරය කරමින් ජීවිතයට මුහුණ දෙන හැටි මෙහි කියවෙන්නෙ. ඇත්තටම මේක ආදර්ශමක් යොවුන් කතාවක් කිව්වොත් හරි. මේ කෘතිය කියෙව්වොත් ඔබට තේරේවි පොතේ කියන ඒ මඟපෙන්වීම දරුවන්ට අත්‍යවශ්‍යයි කියල.

පරිවර්තන කෘතියක සහ ස්වයං නිර්මාණයක අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?

පරිවර්තනයක් කරද්දි සංස්කෘතිකමය වශයෙන් කිසියම් අසීරුවක් තියෙනවා. මුල් ලේඛකයා කියන දේ යළි ලිවීමකුයි එතනදි සිද්ධ වෙන්නෙ. එතකොට මුල් ලේඛකයා කියූ දේම පරිවර්තනය කළ යුතුයි. ස්වයං නිර්මාණයක් කිරීමේදී අවස්ථා, සිද්ධි සියල්ලක්ම හරියාකාරව ගළපා ගනිමින් ඒ ඒ චරිත තුළින් කතාවක් ගොඩනැඟීමයි වෙන්නෙ. එතනදි චරිතය තුළට කිඳා බසිමින් විශ්වසනීය ආකාරයට කතාව ගොඩනැඟිය යුතුයි. කොතැනකදී හරි ඒ සම්බන්ධය බිඳී ගියොත් කෘතියෙ වටිනාකම, බර අඩු වෙනවා. මොකද පාඨකයාගේ විශ්වාසයත් එක්කයි ස්වයං නිර්මාණයක් ගනුදෙනු කළ යුත්තෙ. ඒ චරිතය ගොඩනඟාගෙන යාමේදී යම් කිසි බිදීයාමක් සිද්ධ වුණොත් ඒ ලේඛකයාගේ සම්පූර්ණ නිර්මාණයම අසාර්ථක වෙනවා. ඒ දේවල් එක්ක මම හිතනවා ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන එක අමාරුයි කියල.

ඒත් පරිවර්තනයක් කරද්දිත් යම්කිසි රාමුවකට කොටු වෙනවා?

ඔව්, ඒක ඇත්ත. හැබැයි අපි පරිවර්තනයක් කරන්න කලින් මුලින්ම කරන්නෙ පොතක් තෝරා ගන්න එක සහ තවත් පරිවර්තන කෘති ගණනාවක් කියවන එක. ඒවා අතරින් අපි වැඩිම ආස්වාදය ලැබූ පොත තමයි පරිවර්තනයක් සඳහා යොදා ගන්නෙ. ඒ ආස්වාදය, ඒ අත්දැකීම් තව කෙනකුට ලබා දිය යුතුයි කියන කැමැත්ත නිසයි අපි පරිවර්තනයක් කරන්නෙ. අපි ලස්සන දෙයක් දැක්කත් තනියම විඳිනවාට වඩා තව කෙනකුට පෙන්නන්න පුළුවන් නම් එතනයි වැඩිම සතුට තියෙන්නෙ. මහද්වීප ගණනාවක් ගෙවාගෙන ආපු කෘතියක් අපි කියවන්නෙ සහ පරිවර්තනය කරන්න හිතන්නෙම ඒ කෘතියේ සුවිශේෂත්වයක් තිබෙන නිසානෙ. ඉතිං එහෙම ආස්වාදය ලබපු කෘතියක රාමුවකට කොටු වුණත් මම හිතන්නෙ නෑ ඒක පාඩුවක් කියල.

ඔබ මුහුණ දුන් අත්දැකීම් එක්ක අලුත් පරිවර්තකයකුට ඔබ දෙන උපදෙස මොකක්ද?

උපදෙස් දෙන්න නම් තාම කල් වැඩියි. හැබැයි මම මගේ මුල්ම පරිවර්තනය කරද්දි ලැබූ අත්දැකීම් එක්ක හිතන දේ තමයි කෙනෙක් පරිවර්තනයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් හොඳ කියවන්නෙක් විය යුතුයි. ඔහු දිගින් දිගටම කියවා පොත් ගොන්නක් තම මතක එකතුවට ගොඩගහගන්න ඕන. ඊට පස්සෙ ඒවායින් හොඳම කෘතිය තෝරාගෙනයි පරිවර්තනයකට අත තියන්න ඕන. සමහර පොත් තියෙනවා අපි කියවල පැත්තකට දාන. සමහර ඒවා තියෙනවා ආයෙ ආයෙ කියවන සහ මැදින් පටන්ගෙන යළිත් කියවන. අන්න එහෙම නැවත කියවන්න හිතෙන පොතක් තමයි කළ යුත්තෙ.

මේ කෘතියේ ප්‍රකශකයා ඔබමයි?

ඔව්. මේ පොතේ ග්‍රන්ථ ප්‍රකාශකයා මම. ‘ස්වර්ණ ග්‍රන්ථ’ කියන්නෙ මගේම ප්‍රකාශන ආයතනය. මින් ඉදිරියට මගේ මිතුරන්ගේ පොත් කිහිපයකුත් ස්වර්ණ ග්‍රන්ථ යටතේ එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මට ප්‍රකාශකයෙක් තෝරා ගනිද්දි කිසිම ප්‍රශ්නයක් නෑ. මම මගේ කලින් පොත නිකුත් කළේ කර්තෘ ප්‍රකාශනයක් විදියටයි.

බොහෝ දෙනා සාහිත්‍ය මාසය අලළා පොත් නිකුත් කරද්දි ඇයි ජනවාරියේ මේ පොත එළි දක්වන්න හිතුවෙ?

ජනවාරියේ මේ පොත එළියට දැමීමත් එක්ක අද ඔබ මේ ගැන කතා කරනවා වගේ තව තව අය මේ ගැන කතා කරන්න ගන්නවා. ඒත් එක්කම පාඨකයා මෙහෙම අලුත් පොතක් තියෙනවා කියලා හඳුනා ගන්නවා. එතකොට සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය එනකොට පොත ජනප්‍රිය වෙලා ඉවරයි. පොත් ප්‍රදර්ශනයේදී පොත් රාක්ක පීර පීර පොත් හොයන පිපාසිත පාඨකයන්ට එතකොට මේ පොත දැක්ක ගමන් මතක් වෙයි. ඒකයි මම දැන්ම මේ පොත එළියට දැම්මෙ.

අවසානයේ ඔබට පාඨකයන්ට කියන්න යමක් තියෙනවාද?

මගේ මාධ්‍යය වුණේ ගුවන්විදුලිය. ඒ නිසා මම මේ කෘතිය කරද්දි භාෂාව ගැන ගොඩක් සැලකිලිමත් වුණා. භාෂාවෙන් දෙයක් ප්‍රකාශ කිරීමේදී කොහොමද නිවැරදිම තැන ඉඳලා කරන්නෙ කියන දේ ගුවන්විදුලියේදි සැලකිලිමත් වුණා වගේම මෙතනදිත් ඒක අමතක කළේ නෑ. ඒ නිසා අලුතෙන් කියවන්න හදන තරුණ පාඨකයන්ට මම කියනවා හොඳ ආකර්ෂණීය පොත් ඉදිරියේදීත් තෝරාගන්න මේක හොඳ ආරම්භයක් වේවි කියල.

මාතෘකා