තොරතුරු කතාව

 ඡායාරූපය:

තොරතුරු කතාව

නවකතාකරුවකුට තොරතුරු කෙතරම් වැදගත්ද? ඔහු තොරතුරු මත යැපිය යුතුද? යැපේ නම් ඒ කෙතරම් දුරටද? තුර්කි නවකතාකරු ඔර්හාන් පාමුක් මේ පිළිබඳව දක්වන අදහස ඔහුගේ අභිනව නවකතාව වන Strangeness in My Mind (‘මගේ මනසේ අපූර්වත්වය’) පිළිබඳව Los Angeles Review of Books සාහිත්‍ය සඟරාව හා පැවති සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබිණි. ඒ මෙලෙසිනි:

“…. තොරතුරු ගන්න මං කැමතියි - එවැනි තොරතුරුවලින් නවකතාවට විශ්වසනීයභාවයක් එනවා. ඒත් මං ආඩම්බර වෙන්නෙ මේ පර්යේෂණය ගැන නෙවෙයි. මං ආඩම්බර පර්යේෂණය නිර්මාණාත්මකව සමතුලිත කිරීම ගැනයි. එහි කලාත්මක නිර්මාණය ගැනයි.”

පාමුක් මෙහිදී නොකියා කියන්නේ නවකතාකරුවකුට වැදගත් වන්නේ තොරතුරු නොව නිර්මාණය බවය. එසේ නම් පර්යේෂණය කෙතරම් ගැඹුරු වුවද ප්‍රබන්ධකරුවාගෙන් පර්යේෂණය මතු විය නොහැකිය. මෙහිදී මීට පස් වසකට පමණ පෙර නිකුත් වූ ‘තැප්පා සේම ගිනි’ නම් නවකතාවේ තොරතුරු ප්‍රමුඛ වීම පිළිබඳව එහි කතුවර සමරවීර විජේසිංහ මහතා දුන් පිළිතුරක් සිහි වේ. එම නවකතාවේ ගැටලුව එහි හෘදය සංවාදය බිඳ වැටෙන තරමට මාක්ස්වාදය පිළිබඳ ශාස්ත්‍රීය කරුණු ඇතුළත් වීමය. කතුවරයා කීවේ මාක්ස්වාදය ගැන සමාජයේ වැරදි අදහස් පැතිර ඇති නිසා ඒ ගැන නිවැරදි චිත්‍රයක් දීමට තමා නවකතාවෙන් වෑයම් කළ බවය. ඒ එසේ නම් ප්‍රබන්ධයට තොරතුරු හානිකර බව සහ කතුවරයාට ඕනෑ දේ ප්‍රබන්ධය තුළ කළ නොහැකි බව පෙන්වන හොඳම නිදසුන ‘තැප්පා සේම ගිනි’ නවකතාවය. නිසැකවම ප්‍රබන්ධකරුවකු සාර්ථක වන්නේ ඔහු තොරතුරු ගවේෂණය කරන තරමට නොව ගවේෂණය කළ තොරතුරු නිර්මාණය වෙනුවෙන් කප්පාදු කරන තරමටය.

ප්‍රබන්ධකරණයේදී කෙනෙකු වුවමනාවට වඩා තොරතුරු මත යැපීමට හේතු දෙකක් තිබේ. එකක් ප්‍රබන්ධය යනු හැඟීම් මූලික මාධ්‍යයක් බව කතාකරුවා විසින් අවබෝධ කර නොගැනීමය. අනෙක - වැදගත්ම කරුණ - තොරතුරු යනු ප්‍රබන්ධයේ විශ්වසනීයත්වය ඇති කරන පසුබිම් සාධකයක් විනා ප්‍රබන්ධයට වාස්තවික වටිනාකමක් එක් නොකරන යමක් බව අවබෝධ නොවීමය. මේ ආකාර වැරදි වැටහීමක සිටින කෙනෙකු නිසගව පත් වන්නේ ජනතාවාදියකු බවටය - ප්‍රබන්ධයෙන් සමාජ ශෝධනයක් කළ හැකැයි සිතන කාණ්ඩයටය. ජනතාවාදී ප්‍රබන්ධකරුවකුගේ ආවේණික ලක්ෂණය වුවමනාවට වඩා තොරතුරු මත යැපීමත්, ලියන දේ හැඟීම් විරහිත වාර්තාවක් වීමත්ය.

සාමාන්‍යයෙන් ලේඛකයකු ලිවීමට අවදි වන්නේ ඔහු ලබන සසලකර අත්දැකීමක් නිසාය. සසල කරන්නේ බැවහැර ලෝකයේ අසන, දකින යමක් සමාජ සම්මත මිනුම් දඬුවලට හසු නොවන විටය. එහෙත් ජනතාවාදී ලේඛකයකු ලිවීමට අවතීර්ණ වන්නේ ඔහුගේ දෘෂ්ටිවාදයට අනුගත අත්දැකීමක් තුළින්ය. එය පොදු පාඨකයා සසල නොකරන අතර එය සමාජ සම්මත මිනුම් දඬුවලින් මිනීමටද හැකිය. දොස්තොයෙව්ස්කිගේ ‘අපරාදය හා දඬුවම’ නවකතාවේ රස්කොල්නිකොව් මිනීමැරුමක් කරයි. ඔහු වියපත් ගණිකා නිවාස පාලිකාවක් ඝාතනය කරයි. එහෙත් එය අපරාදයක් යැයි තීන්දු කිරීමට සම්මත ලෝකයේ කෝදු නැත. නිසැකවම දොස්තොයෙව්ස්කි එම නවකතාව ලිවීමට අවතීර්ණ වන්නට ඇත්තේ ඒ ආකාර අත්දැකීමක් - සසලකර අත්දැකීමක් - සැබැවින් හෝ මනසින් දැකීම නිසා විය යුතුය. ජනතාවාදී ලේඛකයාට අනුභූති වන්නේ මෙවැනි අත්දැකීම් නොව - ඒවා ඔවුනට බොළඳ වැඩිය - ඔවුන් ගැඹුරු යැයි සිතන සරල සමාජ දේශපාලන අත්දැකීම්ය. ඔවුන්ගේ ප්‍රබන්ධය තොරතුරු කතාවක් වන්නේ මේ තුළය.

තොරතුරු සහ දෘෂ්ටිවාදය එකිනෙක වෙන් කළ නොහැකි තරමට සමීපය. දෘෂ්ටිවාදය ප්‍රබන්ධයට සතුරු නම් තොරතුරුද ප්‍රබන්ධයට සතුරුය. එහෙත් දෘෂ්ටිවාදී කතාකරුවෝ එය අවබෝධ කර නොගනිති. ගුණදාස අමරසේකරගේ මෑතම නවකතාව වන ‘ධාතුසේන’ හි සිත්ගන්නා කතාන්දරයක් තිබේ. එය වින්දනාත්මකය. එහෙත් ඔහු අවසාන වශයෙන් කතාව ගොනු කරන්නේ දෘෂ්ටිවාදයක් වටාය. ඔහු සිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා වැන්නෙකු බලයට පැමිණි විට නවකතාවේ මතු කරන සියලු ගැටලු විසඳෙන බවය. ඒ අනුව ඔහු එය ලිවීමට අවතීර්ණ වී ඇත්තේ ඔහුගේ දෘෂ්ටිවාදයෙන් පැහැදිලි කළ හැකි අත්දැකීමක් අනුසාරයෙන්ය. ඔහුගේ ‘ගමනක මුල’ සිට වූ ඈඳුතු නවකතා මාලාවේද ගැටලුව මෙයය. පක්ෂ දේශපාලනයෙන් එහා ගොස් මිනිසා ජීවිතය තුළ නොකළ වරදකට දඬුවම් විඳින බව, ඔහු පැටලුණු උගුලෙන් ගැලවීමට නිරර්ථක උත්සාහයක - සිසිපස් ගැටලුවේ - නිරත වන බව දැකීමට ඔහුට හැකියාවක් නැත. මේ තුළ නිබඳවම සිදු වන්නේ ප්‍රබන්ධය හෘදය සංවාදයෙන් ඉවත් වී වාර්තාවක් වීමය. අමරසේකරගේ ප්‍රබන්ධවල ඇත්තේ වාර්තාමය ස්වරූපයේ අඩුවැඩිතා පමණි.

මට සිතෙන ලෙස ප්‍රබන්ධකරුවකු දෘෂ්ටිවාදයන්ගෙන් බැහැර විය යුතු සේම යම්තාක් දුරකට මිථ්‍යා දෘෂ්ටිකද විය යුතුය. මිථ්‍යා දෘෂ්ටික වීම ලේඛකයකු කතාකරුවකු වශයෙන් සාර්ථක වන සලකුණකි. මෙය කෙනෙකුට ඇදහිය නොහැකි විය හැකිය. එහෙත් ප්‍රබන්ධකරුවකු, ප්‍රබන්ධකරුවකු වන්නේ ලෝකය මිනිසාට පාලනය කළ හැකි ඔහුගේ අතැඹුලක් බව නොපිළිගන්නා තරමටය. ඔහුට ඉහළින් ජීවිතය, ලෝකය පාලනය කරන්නකු සිටින බව, ලෝකය ගූඪ බව, අද්භූත බව විශ්වාස කරන තරමටය. ජනතාවාදියා, සදාචාරවාදියා, හේතුවාදියා මෙහිදී අසාර්ථක වන්නේ ඔහු මේ දේ පිළිනොගන්නා නිසාය - හේතුවාදියකු වීත් සාර්ථක ප්‍රබන්ධ බිහි කළ ලේඛකයකු වශයෙන් මා දකින එකම ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහය. ඔහු එහිදී සාර්ථක වූයේ තම පුද්ගල හැඟීම්, මතවාද යටපත් කර ප්‍රබන්ධයේදී හැඟීම්වලට මතු වීමට ඉඩ දුන් නිසාය.

ඔර්හාන් පාමුක් මුලින් කී සම්මුඛ සාකච්ඡාවේදී ‘පර්යේෂණය නිර්මාණාත්මකව සමතුලිත කිරීම ගැන’ ද කථා කරයි. එහෙත් මා සිතන ලෙස තොරතුරු හා නිර්මාණය සමතුලිත කිරීම පරිකල්පනය තුළ ඉබේ සිදු වන්නක්ය. සැබැවින්ම ප්‍රබන්ධය තුළ තොරතුරු යනු හැඟීම්වලම කොටසකි. චරිතවලම කොටසකි. පියදාස වැලිකන්නගේගේ ‘සුදු සෙවණැලි’ නවකතාව හෝ නෝබට් අයගමගේගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව කියවන විට මේ කරුණ පැහැදිලි වනු ඇත. ඒ කෘති ද්වයෙන්ම මීට සියවසකට, දෙකකට පෙර පැවති ශ්‍රී ලාංකික සමාජයේ වෙනස් පැතිකඩක් අනාවරණය වන අතර එය පාඨකයා නොඇසූ විරූ සුවිසල් තොරතුරු සම්භාරයක් ලබා දේ. එහෙත් විශේෂත්වය එය පාඨකයාට බලෙන් කිසි තොරතුරක් නොදීමය. කොටින්ම එහි තොරතුරු නැත. ඇත්තේ කථා කරන, පණ ගැහෙන චරිත පමණය - තොරතුරු, තොරතුරු යැයි කිව නොහැකි තරමට චරිතවලට ඒ බැඳී ඇත. එහි චරිතය, තොරතුරු ඉදිරිපත් කරන්නේ. පර්යේෂණාත්මක ප්‍රබන්ධයක් සාර්ථක වන්නේ මේ ආකාරයෙනි. පර්යේෂණයක් කළා වුව නොකළා වුව එහි ප්‍රබන්ධය කලඑළි දැකිය යුත්තේ ප්‍රබන්ධයක් විලසටය. නොඑසේව ප්‍රබන්ධ නොවන කෘතියක (Non Fiction) ලෙස කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් නොවේ.

තොරතුරුවලින් ප්‍රබන්ධයට වාස්තවික වටිනාකමක් නොලැබෙන බව මුලින් සඳහන් කළෙමු. මෙය ජනතාවාදී කතාකරුවා නොපිළිගන්නේ ඔවුන් ප්‍රබන්ධය අරගන්නේ එහි ඇතුළත් තොරතුරු හා දත්තවල බර මත නිසාය. ප්‍රබන්ධයකට වචන ගණන හෝ කරුණුවල බර අදාළ නොවන බව, අදාළ වන්නේ ඉන් මවන චිත්ත රූප පමණක් බව පෘතුගාල නවකතාකරු හොසේ සරමාගෝ ඔහුගේ Blindness නම් නවකතාවේ එන වෛද්‍යවරයාගේ බිරිඳ චරිතය නිදසුනකට ගෙන පැහැදිලි කරයි. එම චරිතයේ විශේෂත්වය ඇගේ හැඩරුව - ඇගේ නිකට මේ ලෙසය, නාසය මේ ලෙසය යනුවෙන් - කතාකරුවා කිසිදු විස්තර කථනයක් නොකරද්දී ඈ හොඳින් පාඨකයාට පෙනී යෑමය. එහිදී සරමාගෝ කරනුයේ චරිතය පාඨකයාට විස්තර කිරීම වෙනුවට ඈට කිසියම් හැඩරුවක් එන පරිදි හැඟීම් කැවීමය. “මගේ හැඟීම වෙන්නෙ පාඨකයන් චරිතයක් ඇසුරෙන් තමන්ගේම චරිතයක් ගොඩනඟාගන්න කැමැත්තක් දක්වනවා කියලයි. පාඨකයාට ඒ චරිත ගොඩනඟාගන්න කළ යුතු දේ හොඳින් කිරීමයි කතුවරුන් කළ යුත්තේ” යනුවෙන් ඒ ගැන සරමාගෝ පැහැදිලි කරයි. තොරතුරුවල වාස්තවික කිසිවක් නැති බව ඉන් පැහැදිලි වනු ඇත.

එක් අතකට තොරතුරු නම් කරුණුම (Facts) ය. දත්තමය. සියල්ල අමතන්නේ පාඨකයාගේ බුද්ධියය. තොරතුරු/ කරුණු ප්‍රබන්ධයට හානිකර වන්නේ ඒ බුද්ධිවාචක වීමද නිසාය. එහෙත් මෙහිදී කිව යුතු තවද යමක් ඇත. තොරතුරු හෝ කරුණු හෝ කතාකරුවාට පිටින් නොව ඇතුළතින් පෙරී ආ විට ඒ ඊට හානිකර නොවන බවය. තොරතුරු/ කරුණු කතාකරුවා තුළින් පෙරී ආ යුතු සේම ඒවා ප්‍රබන්ධයට පූර්ව නිගමනද ඉදිරිපත් නොකළ යුතුය. පූර්ව නිගමන එයිද එතැනින්ම ප්‍රබන්ධය ජනතාවාදී ව්‍යාජයක් වන නිසාය. මට හැඟෙන ලෙස ප්‍රබන්ධයක් තුළ තොරතුරු සහ තොරතුරු නොවන දෑ ලෙස දෙවගයක් තිබිය නොහැකිය. තිබිය යුත්තේ එක් වගයකි. ඒ, කතාවය. ජීවිතයය. කතාවට හෝ ජීවිතයට පරිබාහිරව තොරතුරු/ කරුණු යැයි කොටසක් හඳුනාගත හැකි වුවහොත් එය තවදුරටත් ප්‍රබන්ධයක් නොවේ, ප්‍රබන්ධ නොවන කෘතියකි.

 

----------------------

නිවැරදි කිරීමයි

පසුගිය 25 වෙනිදා භාව අතිරේකයේ 7 වෙනි පිටුවේ පළ වූ රුසියානු මහාචාර්යවරයා සමඟ වූ ප්‍රධාන සම්මුඛ සාකච්ඡාවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇත්තේ රුසියානු බසින් යැයි සඳහන් විය. එය සිංහල බසින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ලෙස නිවැරදි විය යුතුය.

එසේම එම පිටුවේම ‘ලිවීමේ කලාව’ මැයෙන් පළ වූ ලිපියේ අදහස් දක්වා ඇත්තේ ප්‍රවීණ නවකතාකරු සමරවීර විජේසිංහ මහතාය. එහි ඔහුගේ නම නොසඳහන් විය.

එම ලිපිවලදී පාඨකයන් හෝ එම ලේඛකයන් අපහසුතාවට පත් වී නම් ඒ පිළිබඳව බලවත් කනගාටුව පළ කරමු.

භාව සංස්කාරක

මාතෘකා