මා සසල කළේ  හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ  හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි

මහාචාර්ය සාලිය කුලරත්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය

මා මෙතෙක් කියවා ඇති පොත් අතරින් මා සසල කළේ හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි. හර්මන් හෙස ජර්මානු ජාතික ප්‍රබන්ධකරුවෙක්. ඔහු සාහිත්‍යකරණයේ නියුතු වන්නේ ජර්මනිය හිට්ලර්ගේ පාලනයට නතුව පැවති සමයේ. හෙස වරක් ඉන්දියාවට පැමිණෙනවා. ඇවිත් භාරතීය දර්ශනය හදාරනවා. බුදුසමය කෙරේ සිත ඇදී යන ඔහු ථේරවාදී - මහායාන යන දර්ශන ද්වයම හොඳින් අධ්‍යයනය කරනවා. විශේෂයෙන් මහායාන බුදු දහම කෙරේ ඔහු තදින් ආසක්ත වෙනවා. හෙස සාංදෘෂ්ටිකවාදියෙක් (Existentialist). බුදුදහමත් සාංදෘෂ්ටිකවාදයට සමීප නිසා හෙස එතුළින් ජීවිතයේ ගැඹුර අධ්‍යයනය කරනවා. ඔහුට අනුව ඕනෑම මිනිසකුට, ඒ කියන්නෙ කෙතරම් වැරදි කළ කෙනෙකුට වුණත් විමුක්තිය ළඟා කර ගත හැකියි. නිදසුනකට අංගුලිමාල මිනිසුන් නවසිය අනූනව දෙනෙක් මැරූ අයෙක්. ඒත් ඔහු නිවන් මඟ ඵල ලබනවා. මෙය සාංදෘෂ්ටිකවාදයේ (Existentialism) හරය ලෙස දක්වන්න පුළුවන්.

‘සිද්ධාර්ථ’ නවකතාවෙන් හර්මන් හෙස ඉදිරිපත් කරන්නේ බුදුන් වහන්සේ වැඩසිටි කාලයේම භාරතයේ උපන් තවත් සිද්ධාර්ථ කෙනෙකු ගැනයි. ඔහු ජීවත් වන්නේත් හින්දු සමාජයේ. ඒ සමාජයේ එකල දක්නට ලැබුණු කුල භේදය, සති පූජාව වැනි දේවල්වලින් කලකිරෙන සිද්ධාර්ථ සත්‍යය සොයා මහ රෑක ගෙදරින් පිටව යනවා. ඔහු සමඟ ඔහුගේ මිතුරා වූ ගෝවින්දත් පිට වෙනවා. මොවුන් දෙදෙනා ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් පයින් ගමන් කරනවා. එහිදී බුදු රජාණන් වහන්සේ බණ දෙසන ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයටත් ළඟා වෙනවා. එතැනදි බණ අසන සිද්ධාර්ථ බුදුන් වහන්සේගේ දේශනාව තුළ තිබෙන වචන රූපකාර්ථවත්ව හඳුනාගන්නවා. ඒත් සිද්ධාර්ථට වුවමනා කරන්නේ මුල සිට සත්‍යය සොයා යෑමටයි. එනිසා ඔහු බුදුන් වහන්සේ ළඟ නොරැඳී පලා යනවා. ගෝවින්ද බුදුන් වෙතම රැඳෙනවා. සිද්ධාර්ථ ඉවතට යන විට බුදුන් වහන්සේ මඳ සිනා නඟමින් එදෙස බලා සිටිනවා. ඔහු නතර කිරීමට උන් වහන්සේ උත්සාහ ගන්නේ නැහැ.

අනතුරුව සිද්ධාර්ථ ගණිකාවකගේ බැල්මට හසු වී ඇය පසුපස ඇගේ නිවසට යනවා. ඇය ඔහුට මුදල් තිබේදැයි විමසනවා. ඔහු මුදල් නැති බව පැවසූ විට මුදල් සොයාගෙන එන්නැයි පවසනවා. පසුව මුදල් සොයාගෙන විත් ඔහු ඇය හා දිවි ගෙවනවා. එහිදී ඇයට ඔහුගෙන් දරුවෙකු පිළිසිඳ ගන්නවා. මෙහිදී මේ ගණිකාව කියන ඇතැම් වදන් බොහෝ දුරට එදා ජේතවනාරාමයේදී බුදුන් වහන්සේ පැවසූ කරුණු හා ගැළපෙන බව ඔහුට වැටහෙනවා. සිද්ධාර්ථ මේ බව ඇයට පැවසූ විට ඇයටත් බුදුන් වහන්සේ දැකීමට අවශ්‍ය වෙනවා. ඒත් දෙදෙනා බුදුන් දැකීමට මහ වනයේ එන අතරතුර ඇය සර්පයෙකු දෂ්ට කිරීමෙන් මියයනවා. ඒ වන විටත් ඇය දරුවා බිහිකොට හමාරයි. සිද්ධාර්ථ වනයේ සිටම දරුවා හදාවඩා ගන්නවා. දරුවා වැඩි විය පැමිණීමත් සමඟ ඔහුගෙන් පිළිබිඹු වන ප්‍රාකෘතික ලක්ෂණ කෙරෙහි විමසිලිමත් වී සිද්ධාර්ථ සොහොනක මළමිනී එතූ රෙදි කඩක් ඇඟ ලාගෙන භික්ෂු වෙස් ගන්නවා. කතා පුවත අවසන් වන්නේ සිද්ධාර්ථට බුද්ධ පරිනිර්වාණයෙන් පසු නැවත ගෝවින්ද හමු වීමෙනුයි.

මේ කෘතිය තුළින් බුද්ධත්වය යනු එක් වරකට එක් අයෙකුට පමණක් සීමා වූ යන අරුත් ඇති ථේරවාදී සංකල්පය බිඳ හෙළනවා. ඒත් එහිදී කිසි විට අද බිහි වන සමහර කෘති වගේ බුදුන් වහන්සේට අපහාස කරන්නෙ නැහැ. කෘතිය තුළින් මහායාන බෞද්ධ සංකල්ප ගෙන ඒමට හර්මන් හෙසට හැකි වෙනවා. එසේම ස්ත්‍රී පුරුෂ ආදරය, කුටුම්භගත ජීවිතය යනාදිය පිළිබඳවත් මනා දැක්මක් කතුවරයා ඉදිරිපත් කරනවා.

මට මේ පොත ගැන දැනගන්න ලැබෙන්නේ අහම්බයකින්. ‘90 ගණන්වලදී මම මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලයේ සාමාජිකයෙක්. ඒ පුස්තකාලයේ තිබූ ග්‍රන්ථ නාම සුචියෙන් මම පොත ගැන දැනගන්නේ. පොතේ නමේ තිබූ අමුතු බව නිසාම පොත ගැන මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ එවකට හිටපු මහාචාර්ය ගුණපාල ධර්මසිරිගෙන් විමසුවා. මේ කාලයේ මම උසස් පෙළ හදාරන සිසුවෙක් වුණත් මගේ හිතවතෙකු හරහා මහාචාර්ය ධර්මසිරි ගැන දැනගෙන සිටියා. ඒ කාලෙත් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරින් වර එනවා. ඉතින් එතුමාත් මට පොත කියවන්න යෝජනා කළා. පස්සේ මගේ හිතවතෙකු වුණු අධිනීතිඥ නිශ්ශංක රණතුංග මහතා මට පොතේ ඉංග්‍රීසි පරිවර්තනය හොයලා දුන්නා. පසු කලෙක මම සිංහල පරිවර්තනයත් කියෙව්වා. එය පරිවර්තනය කර තිබුණේ දයාරත්න ගරුසිංහ විසින්. ඔහු එය හොඳින් පරිවර්තනය කර තිබුණා.

මම කියවන්න පුරුදු වෙන්නේ පුස්තකාල ඔස්සේම තමයි. එහිදී මා අධ්‍යාපනය ලැබූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාල පුස්තකාලයත්, මුලින් කී මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයත් මට විශාල පිටුබලයක් වුණා. ඒත් ඉස්සෙල්ලාම මං කියවීමට නැඹුරු වුණේ මගේ අම්මාගේත්, තාත්තාගේත් බලපෑම නිසයි. ඒ දෙදෙනාම පොතපතට ළැදි අය. ඒත් ඔවුන් වෘත්තියෙන් පොතපතට කිසිම සම්බන්ධයක් තිබූ අය නෙවෙයි. මගේ තාත්තා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙක්. අම්මා ඇඳුම් මසන්නියක්. දක්ෂ ඇඳුම් මසන්නියක්. මගේ පවුලේ සාමාජිකසාමාජිකාවන් හත්දෙනෙක් සිටියා. මම ඉන් දෙවැනියා. මගේ ගම මහනුවර මාපනාවතුර. පොතපතට මගේ ඇති ඇල්මට මේ සියල්ල බලපෑවා.

 

සටහන [එරංගා පල්ලියගුරුගේ]

 

මාතෘකා