සාහිත්‍ය කෘති විනිශ්චයේ ඉදිරිය

 ඡායාරූපය:

සාහිත්‍ය කෘති විනිශ්චයේ ඉදිරිය

අද බොහෝ දෙනා පිළිගෙන ඇති අදහසක් නම් බස රැකීම සිදු විය යුත්තේ ප්‍රබන්ධ නොවන

(Non Fiction) ලිවීමකදී මිස ප්‍රබන්ධයකදී නොවන බවය. එහෙත් එය එසේ නොවන බව, එනම් බස කවර ලිවීමකදී වුව නිවැරදි විය යුතු බව කවුරුන් පිළිගනීද? මේ පිළිබඳව කථා කිරීමට සිදු වන්නේ මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී සම්මාන ලත් නවකතාව - සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ - බස අතින් ඉතා දෝෂසහගත නිසාය.

ඇත්ත වශයෙන් බස නැසූ කෘතියකට සාහිත්‍ය සම්මාන පිරිනැමීමත්, අතිවිශාල මූල්‍ය ත්‍යාගවලින් ඒවා ඇගයීමත් කනගාටුවට කරුණකි. අද මෙවැනි ව්‍යාකූල කෘති පාඨකයා අතට යෑම ඉතා සාධාරණය. ඒ, අද අත්පිටපතක් රැගෙන යන ඕනෑම අයකුට පහසුවෙන් - එහි බස ගැන නොබලන - ප්‍රකාශකයකු සොයා ගැනීමට හැකි වන නිසාය. පසුගිය ඔක්තෝබර් 19 සිකුරාදා රැස ‘භාව’ අතිරේකයට අදහස් දක්වමින් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු පවසන්නේ මෙවැනි අදහසකි.

"අතීතයේ නවකතාවක් ලියලා කිසියම් ප්‍රකාශයකයෙක් ළඟට ගෙන ගියාම ඒක විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකට යවලා නිර්දේශ අරගන්නවා. ඒ නිර්දේශ මත තමයි එය ප්‍රකාශනය කරනවාද නැද්ද කියලා තීරණය වුණේ. දැන් එහෙම කිසිවක් නැහැ. දැන් ඕනෑම කෙනෙකුට නවකතාවක් ලියන්න පුළුවන්. එහි කුමක් අන්තර්ගත වුණත් ප්‍රකාශනය කරගන්න පුළුවන්. දැන් හැමෝම සම්මාන උළෙලක් අපේක්ෂාවෙන් නිර්මාණ කරන්නේ."

ඕනෑම අයෙකුට නිර්මාණයක් කිරීමට නිදහසක් තිබිය යුතුය. එහෙත් නිදහස යනු වල්බූරු නිදහසක් නොවේ. පොත (Book) යනු කුමක්දැයි බොහෝ දෙනෙකු අවබෝධ කරගෙන නැති සෙයකි. ලියන්නේ බසින් නම් එහි බස රැකීම විය යුතුය. බස යනු චින්තනයේ උල්පත බැවිනි. බස රැකෙන්නේ නැති පොතක් කුමක්දැයි මට නම් නොතේරේ. අනෙක් අතට බස පිරිහී ඇත්නම් පොතේ නිර්මාණාත්මක පක්ෂය උසස් වන්නේ නැත. නිර්මාණය යනු අැත්ත වශයෙන් බසද නිර්මාණය කිරීමය. නොඑසේව බස වැනසීම නිර්මාණයක් නොවේ. අනෙක ඉන් වඩාත් අසාධාරණයට පත් වන්නේ පාඨකයාටය.

මෙහි තවත් ඛේදවාචකයක් ඇත. ඒ, බස නැසූ, එහෙත් සම්මාන ලද කෘති බොහෝ විට සාමාන්‍ය පෙළ, උසස් පෙළ විෂය නිර්දේශවලට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක්ද තිබීමයි. ඉදින් අවසන පාසල් දරුවන් සිය ඉගෙනීමට යොදාගන්නේද මෙවැනි දේය. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ සමන් වික්‍රමාරච්චිගේ 'අප්පච්චි ඇවිත්' කෘතිය කිසිදු ව්‍යාකරණ රීතියක් රැක නැත. එහෙත් ඉහත ‘භාව’ මත විමසුවේදී මහාචාර්ය අනුර වික්‍රමසිංහ පවසන්නේ ‘අප්පච්චි ඇවිත්’ කෘතිය කටවහරේ වියරණය රැක ඇති බවයි. එහෙත් ලේඛන වහරේ වියරණය දන්නේ නැති කතාකාරයකු කටවහරේ වියරණය රකීද? එනිසා ඔහුගේ ප්‍රකාශය ගැටලුසහගතය. අප සිතන ආකාරයට නම් ඔහු එහිදී රැක ඇති කටවහරේ වියරණයක් නැත.

එම මත විමසුමට එක් වන ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ පවසන අදහසද සැලකිය යුතුය. ඔහු පවසන්නේ මෙවැන්නකි.

"අද පළ වන කෘති භාෂාව ගැන කිසිදු සැලකිලිමත් බවක් දක්වන කෘති නෙවෙයි. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු කෘතිය ගැන නම් මම කතා කරන්නවත් අකමැතියි. දැන් මේ වගේ සිල්ලර බසකින් ලියන්නේ ව්‍යාකරණ දන්නෑ කියලා බැණුම් අහන්න වෙන නිසානෙ." ඔහු පවසන්නේ ව්‍යාකරණය නොදන්නා නිසා එම කතුවරයා එවැනි සිල්ලර බසකින් නවකතාව ලියා ඇති බවයි. අපට එහිදී පෙනෙන්නේද ඒ සත්‍යයයි.

එහිදී මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සඳහන් කරන ඉතා වැදගත් කරුණක් තිබේ. "සිංහල දරුවන් වසර දහතුනක් තමන්ගේ මව්බස වන සිංහල භාෂාව ඉගෙනගන්නවා. එහෙත් ඉන් සියයට 4ක් සාමාන්‍ය පෙළ විභාගයෙන් මව්බස අසමත්. එතන තමයි ඛේදවාචකය තියෙන්නේ. සමාන්‍ය පෙළ විභාගයෙන් පසු කලා විෂය ධාරාව හදාරන සිසුන් පමණයි වැඩිදුරටත් සිංහල භාෂාව ඉගෙනගන්නේ. අනෙකුත් දරුවන්ට තියෙන්නේ පෙර පැවති සාමාන්‍ය පෙළ දැනුම පමණයි. ඉතින් භාෂාව අතින් ඔවුන් අසරණයි. මේ සාමාන්‍ය පෙළ දැනුමෙන් තමයි ඔවුන් භාෂා විශාරදයන් වගේ නිර්මාණ කරන්නේ."

ඇත්ත වශයෙන් අද ඇතැම් නිර්මාණවල භාෂාව දකිද්දී සිතෙනුයේ ඔවුන් බස පිළිබඳව සාමාන්‍ය පෙළ දැනුමක්වත් ලබා නොමැති බව නොවේද? එතරම් ව්‍යාකූල බසකින් ඒවා පෝෂිත නිසාය. එහි අනෙක් ගැටලුව එවැන්නවුන් අද සාහිත්‍ය සම්මාන උලෙළවල විනිශ්චය මණ්ඩලයනට පත් වීමය. කලා කෘතියක් නිර්මාණය කරන්නා හා විනිශ්චය කරන්නා ගැඹුරු වින්දන ශක්තියක් හා බස පිළිබඳ මනා දැනුමකින් යුතු අයෙකු විය යුතුය. එය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහාචාර්ය විමල් දිසානායකගේ සම්මුඛ සාකච්ඡාවෙන්ද සනාථ වේ. ඔහු පවසන්නේ විනිශ්චය මණ්ඩල පුවත්පත් දැන්වීම්වලින් තෝරාගත නොහැකි බවය. "මගේ පුද්ගලික අදහස නම් සාහිත්‍ය විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකුට සාහිත්‍යය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. ඒවගේම ඔහුට ගැඹුරු වින්දන ශක්තියක් තිබිය යුතුයි." එහෙත් එවැනි අය කී දෙනෙක් අද විනිශ්චය මණ්ඩලවල කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය.

බස හෝ නිර්මාණාත්මක ක්‍රියාදාමය පිළිබඳව අල්ප දැනුමක්වත් නොමැති අය අතින් නිසි කෘති සමාජගත වන්නේ කෙසේද? පුවත්පත් දැන්වීම්වලින් තෝරාගන්නා විනිශ්චය මණ්ඩලයකට සාහිත්‍යයේ ප්‍රගමනයට දායක විය හැකිද? මේ සියල්ල වළලන්නට උත්සාහ කරන ගැටලුය. මෙවර ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සම්මාන උළෙල අමතමින් සම්මාන ලද කෘතියේ බස පිළිබඳව අතෘප්තිකර ලෙස කථා කිරීමද ඊට මනා නිදසුන් සපයයි. එ් අනුව පැහැදිලි වන්නේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියාටවත් නිසි කෘතියක් ජනගත කිරීමට නොහැකිව ඇති බවයි.

මේ වසරේ විනිශ්චය පිළිබඳව බරපතලම කරුණ ඉදිරිපත් කරන්නේ කිවිවර සුනිල් ගුණවර්ධනය. ඔහු මෙවර ස්වර්ණ පුස්තක සමීක්ෂණ මණ්ඩලයේ පාදක මණ්ඩල සාමාජිකයෙකි. ඔහු කියන දේ මේ ආකාරය.

"ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ මමත් විනිශ්චය මණ්ඩලයේ හිටියා. එතනදී විනිශ්චය මණ්ඩලයේම සිටි ඇතැම් අය ප්‍රවීණ කෙටිකතාකරුවන්ගෙන් ඔවුන්ගේ කෘති තෝරන්න අල්ලස් ඉල්ලුවා."

අල්ලස් ඉල්ලීමට තරම් පිරිහුණු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් ස්වර්ණ පුස්තක විනිශ්චයට තේරීම තුළ පැහැදිලි වන තවත් කරුණක් තිබේ. ඒ, එහි සිටි සෙසු සාමාජිකයනුත් බොහෝ සෙයින් විනිශ්චයට නුසුදුස්සන් බවයි. ඇත්තටමත් එහි සිටි පිරිස නම් වශයෙන් බැලූ විට ඒ බව පෙනී යයි.

අප සිතන්නේ මේ විනිශ්චය මණ්ඩල පත් කිරීමේ ක්‍රමවේදය ඊළඟ වසරේවත් නිවැරදි විය යුතු බවය. ඒ, මෙවැනි සම්මාන සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කරන නිසාම නොවේ, මේ වන විට මෙම සම්මාන උලෙළ ගැන පාඨක සමාජයේ හා පොදු සමාජයේ විශාල අවධානයක් හා සම්මාන ලබන ලේඛකයනට විශාල පිළිගැනීමක්ද ලැබෙන නිසාය.

[කවීෂ ආරච්චිගේ]

මාතෘකා