ඊ පොත, පොතට ආදේශකයක්ද?

 ඡායාරූපය:

ඊ පොත, පොතට ආදේශකයක්ද?

පුවත්පතේ සාහිත්‍ය අතිරේකයට ලිවීමට කැමැති යැයි පවසා පසුගියදා සරසවි සිසුවියක් මට දුරකථන ඇමතුමක් දුන්නාය. අභාග්‍යයකට ඇය මෙරට බොහෝ ලේඛකයින් නමින්වත් දැන සිටියේ නැත. එනිසා මම ඇයට කියවීමට පොත් ලැයිස්තුවක් දුනිමි. ඒ අතරට සරච්චන්ද්‍රගේ නවකතාද ඇතුළත් විය. පසු දිනෙක ඇය මා අමතා කීවේ තමා සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව කියවූ බවය. පසුව මම නිකමට මෙන් ‘මළගිය ඇත්තෝ’ හි මිල කීයදැයි ඇසුවෙමි. එවිට ඇය කීවේ තමා පොත මිලට ගෙන නොකියවූ බවයි. එසේ නම් පොත කියවූයේ කෙසේද?

“පී.ඩී.එෆ්. පිටපතක්” යැයි ඇය කීවාය. පුදුම වූ මම පොත සොයාගැනීමට හැකියාව තිබියදී පරිගණකයෙන් කියවීමට හුරු නොවන්නැයි කීවෙමි. එවිට ඈ කීවේ තමා එය කියවූයේ පරිගණකයෙන් නොවන බවයි. එසේ නම් කියවූයේ කෙසේද? ‘‘මොබයිල් එකෙන්’’ යැයි ඇය කීවාය.

මේ සාකච්ඡාවෙන් පසු මම එක් ප්‍රශ්නයක් ගැන වෙසෙසින් කල්පනා කළෙමි. එනම් පොත සඳහා පරිගණකය හෝ දුරකථනය වැනි නව තාක්ෂණික මෙවලමක් ආදේශ කළ හැකිද යන්නය. අද මෙරට ඇතැම් පිරිසක් පොත් ඊ. පොත් ලෙස කියවන බව රහසක් නොවේ. එසේම කඩදාසි පොත ළඟදීම අහෝසි වනු ඇතැයි ඇතැමුන් කියනුද රහසක් නොවේ. එහෙත් ඊ පොත කඩදාසි පොතක් මෙන් කියවිය හැකිද? එය කඩදාසි පොතට ආදේශකයක්ද? මා සිතන්නේ නොවන බවයි. හේතුව ඊ පොතක් කියවද්දී කඩදාසි පොත මෙන් අතට දැනෙන භෞතික සංවේදනයක් නොමැති වීමය.

එහෙත් භෞතික සංවේදනයක් පොතකට ඇවැසිමද? පොතක් කියවීම යනු ඇසට පෙනෙන අකුරු කියවීම පමණක් නම් එවැනි සංවේදනයක් වුවමනා නැත. එහෙත් පොතක් කියවීම භෞතිකව යමක් හසුකර ගැනීමේද, ඒ ඔස්සේ කල්පනා ලෝකගත වීමේද සමිශ්‍රණයකි. දැන් අප බලන ඊමේල් පණිවුඩ එය කියවා අවසන් වූ පසු ඉවරය. එයින් අප භාව ලෝකයකට ඇතුල් වන්නේ නැත. ෆේස්බුක් ලිපිද එබඳුය. එය නිරතුරුව වෙනස් වීමට යටත්ය. කතුවරයාගේ සංස්කරණයට යටත්ය. තවද ඕනෑම මොහොතක කතුවරයාට ඊ පොත අන්තර්ජාලයෙන් ඉවත් කරගත හැකිය. එහෙත් කඩදාසි පොත එසේ නොවේ. එය මුද්‍රණය කර ඇත්තේ පිළිගත් ප්‍රකාශන සමාගමක් විසිනි. ඒ ප්‍රකාශන සමාගම අඥාත නැත. ඕනෑම විටෙක පාඨකයාට පොත පිළිබඳව අදහසක්, විවේචනයක්, පැමිණිල්ලක් ප්‍රකාශන සමාගමට ඉදිරිපත් කළ හැකිය. මෙනිසා ඊ පොත අවිශ්වාසයටද යටත්ය. ප්‍රබන්ධයකින් කල්පනා ලෝකගත වීමට පාඨකයාට ඉතා ඇවැසි විශ්වාසය ඊ පොත මගින් ලබා නොදේ. තවත් කරුණක් තිබේ. පොතක් පළ වූ පසු එය තවදුරටත් කතුවරයාගේ දෙයක් නොවේ. එය පාඨකයාගේ දේකි. කතුවරයා ලියා නැවතුණු වියමනට නව අරුත් දෙන්නේ පාඨකයා බැවිනි. රෝලන්ඩ් බාත් The Death of the Author (‘කතුවරයා මියයෑම’) සිද්ධාන්තයෙන් කියනුයේ මෙයය. ඊ පොතකින් මේ දේ සිදු වේද යන්න ප්‍රශ්නකාරීය.

මා සිතන ලෙස උසස් ප්‍රබන්ධයක් රස විඳින පාඨකයා හැම විටම පරාජිතයෙකි. ඔහු තමා අවට ලෝකය, තමා මුහුණ දෙන අත්දැකීම් තමාටම පරාරෝපණය කරගත්තෙකි. මේ පරාරෝපණයට භෞතික සංවේදනය ඉතා වැදගත්ය. ජංගම දුරකථනයෙන් පොත් කියවන්නකු දෙස බලන්න. ඔහු එය කියවන්නේ පරාරෝපණයට නොවේ. ඔහු සැබෑ ජීවිතයේ පරාජිතයෙක් නොවේ. ඔහු අධිවේගී ලෝකයේ අධිවේගයෙන් දුවමින් තම භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට යත්න දරන්නෙකි. ඔහුට පොතක් කියවීම පොඩි විනෝදයකට මඟක් පමණි. ඒ විනෝදයේත්, පරිගණක ක්‍රීඩාවකින් ගන්නා විනෝදයේත් ඔහුට වෙනසක් නැත.

ප්‍රබන්ධ කෘතියක් වූකලී පණ ගැහෙන ජීවිත පදාසයක් බව, ආගමක් බව, තමාට නිසි මඟ පෙන්වන දර්ශනයක් බව සිතනුයේ පරාජිත පාඨකයාය. ඒ පාඨකයා ඉලෙක්ට්‍රොනික තිරයෙන් පෙනෙන දේ බලා තෘප්තිමත් නොවේ. ඔහු ප්‍රබන්ධය සජීවී යමක් ලෙස (කියවන වාරයක් පාසා අලුතින් අර්ථ දෙන දෙයක් ලෙස) දකින නිසා ඔහුට එය ස්පර්ෂ කිරීමටද, කියවීමෙන් පසු ඇසට පෙනෙන තැනක (පොත් රාක්කයක) තැබීමටද වුවමනාය. මා සිතන්නේ ප්‍රබන්ධයේ පැවැත්මට ඕනෑ කරන්නේ මේ ආකාර පාඨකයින් මිස හදිසියට කියවා අහවර වන පාඨකයින් නොවන බවයි. මෙහිදී කේ.කේ. සමන් කුමාර කියූ කරුණක් සිහි වේ. ඔහු කීවේ “අපි සයිමන් නිසා පාරට වැටුණු, අජිත් නිසා නන්නත්තාර වුණු එවුන්” යනුවෙනි. (මෙහි සයිමන් යනු සයිමන් නවගත්තේමය. අජිත් යනු අජිත් තිලකසේනය.) දැන් ප්‍රබන්ධකරණයෙන් සපුරා අසාර්ථක වී ඇතත් සමන් කුමාර කියන දේ සැබෑවකි. සැබෑ පාඨකයා ලේඛකයින් නිසා ජීවිතයද පරාජය කරගත් අයෙකි. (උසස් ප්‍රබන්ධය හැම විටම පරාජිත එකක්, ශෝකාන්තයක් නිසාය.)

කුමක් කළද කියවීම වූකලී මනුෂ්‍ය හැඟීම් අනුසාරයෙන් සිදු වන්නක් වේ. එය භාවමය ක්‍රියාවලියකි. මාර්ටින් වික්‍රමසිංහ ජීවිතයේ අවසන් සමයේ ඇස් අඳ වූ විට සිය පෞද්ගලික පුස්තකාලයෙන් තමනට ඇවැසි පොත තෝරාගෙන ඇත්තේ රාක්කයේ අසවල් පේළියේ අසවල් තැන ඇති පොත දෙන්නැයි කෙනෙකුට පවසාය. මෙවැනි මතක ඉවක් පාඨකයකු තුළ ඇති වන්නේ ඔහුට පොත අතින් ස්පර්ෂ කර කියවීමට හැකි වීම නිසාය. ඔහු ඊ පොතක් කියවූයේ නම් ඔහුට ඒ මතකයෙන් කිව හැකි නොවේ. මා සිතන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය ප්‍රගමනයේ මහා පියවර කඩදාසිය සොයාගැනීම බවයි. කඩදාසිය තුළින් පොත බිහි වීමත්, එතුළින් පුස්තකාලය බිහි වීමත් ඒ ප්‍රගමනයේ ඊළඟ පියවරය. පුස්තකාලයක් ගිනිබත් කිරීම ශිෂ්ටාචාරයේ පියවර ආපසු හැරවීමක් වන්නේ එනිසාය.

සැබැවින්ම අප දිරිගැන්විය යුත්තේ මෙකල පොළොවෙන් ඉදිරෙන පාඨකයා නැවත පොළොවට යා කිරීමටය. පරිසරයට සමවැද්දීමටය. ඊ පොත් පාඨකයා පොළොවෙන් උදුරා දැමීමට දිරිදෙන්නක්ය. ඥානය ලබා ගැනීමට එවැනි මාධ්‍යයක් හොඳය. එහෙත් රස වින්දනයට, ආනන්දයෙන් ප්‍රඥාවට යෑමට එය සුදුසු නොවේ. මට සිතෙන ලෙස සාහිත්යික මාධ්‍යය කඩදාසිය හරහා මිස ඉලෙක්ට්‍රොනික තිරය හරහා පවතින්නේ නොවේ. දැන් මෙරට ෆේස්බුක් කවි ජනප්‍රිය වී තිබේ. කෙටි කල්පනා දැක්වීමට ෆේස්බුක් අවකාශය මාධ්‍යයක් විය හැකිය. එහෙත් සැබෑ කවිය ෆේස්බුක් ඔස්සේ බිහි නොවේ. එය බිහි වන්නේ කඩදාසිය - පොත - තුළින්ම පමණි. එකම කවිය ෆේස්බුක් මාධ්‍යයෙන් සහ කඩදාසි මාධ්‍යයෙන් කියවද්දී විඳිය හැක්කේ රස දෙවගයක් බව පෙනී යනු ඇත. හරියටම කිවහොත් කවිය නියම වශයෙන් ෆේස්බුක් හරහා රස විඳීමට අපහසු බව පෙනෙනු ඇත. නිසැකවම ඉලෙක්ට්‍රොනික තිරය වැදගත් වන්නේ කුඩා දේ ගැන සරල දැනුවත් කිරීමකටය. ෆේස්බුක් හරහා මතු වන කෙටි කතිකා ඊට නිදසුන්ය. ඒ ඇතැම් කතිකා අලුත් සංකල්පද බිහි කරනු දැකිය හැකිය. එහෙත් ගද්‍ය ප්‍රබන්ධයක් ඒ මාධ්‍යයෙන් වින්දනය කළ නොහැකිය. ගද්‍ය ප්‍රබන්ධය බැරෑරුම්ය. බැරෑරුම් දේ ඉලෙන්ට්‍රොනික තිරයේදී රස සුන් වේ. පුවත්පතේ ජනප්‍රිය වන ලිපියක් පවා ෆේස්බුක් අවකාශයට මුදාහැරි විට එය එහි ජනප්‍රිය නොවන බව දිස් වේ.

මෙනිසා මා සිතන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට සුදුසු දේ ඊට දිය යුතු අතර පොතට සුදුසු දේ පොතේ තැබිය යුතු බවය. පොත වටා සිටින්නේ විදග්ධ පාඨකයෙකි. ඔවුනට ඊ තිරය සිල්ලරය. ඔවුන් ඊ තිරයට කැඳවීමෙන් කෙනෙකු කරන්නේ බැරෑරුම් පාඨකයා සිල්ලරට යොමු කිරීමය. මාධ්‍යය විසින් පාඨකයා කුඩා කරවන නිසාය. මෙය ඊ පොත් පළ කරන ලේඛකයනට කරන අවමානයක් නොවේ. ඊ පොත් කරළියට එන්නේ පොතට පසුවය. එනම් පොත පළ වීමෙන් පසුය.

ඊ පොත මගින් අඩු මුදලකින්, ඇතැම් විට නොමිලේම පොතක් කියවිය හැකිය. දැන් පාවුලෝ කොයියෝගේ පොත්වල ඊ පොත් තිබේ. ඔහුගේ පොතක් අලුතින් නිකුත් වූ පසු ඒ නිකුත් වූ ඇසිල්ලේම කියවීමට ඊ පොත ගැටලුවක් නැත. මා කියන්නේ ප්‍රබන්ධයකින් පූර්ණ වින්දනයක් ගැනීමට එය පොතක් ලෙස කියවිය යුතු බව පමණි.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා