මම කුඩා සතෙක් බවට පරිවර්තනය වුණා

 ඡායාරූපය:

මම කුඩා සතෙක් බවට පරිවර්තනය වුණා

රුමේනියානු සම්භවයකින් යුත් ඊශ්‍රායල් නවකතාකරු අරෝන් ඇපල්ෆෙල්ඩ්

අපි සිටියේ අපේ ආත්තම්මා එක්ක ගොවිපළේ. රුමේනියානුවොත් (එහි හමුදාව), ජර්මානුවොත් (නට්සි හමුදාව) ඇවිල්ලා මගේ අම්මාටයි, ආත්තම්මාටයි වෙඩි තිබ්බා. ඒක සිදු වුණේ 1941 අවුරුද්දෙ ග්‍රීෂ්ම ඍතුවේ. එතකොට මට අවුරුදු නවය හමාරයි. ඇයට තිස් එකයි. දැන් මට අවුරුදු අසූ දෙකයි. එහෙම ගත්තාම මගේ අම්මා හැමදාමත් තරුණියක්. මම හැමදාමත් මහල්ලෙක්. ඇය හරිම ලස්සන කාන්තාවක්.

ඒ වෙද්දි මට කම්මුල්ගාය හැදිලා තිබුණෙ. මට එකපාරටම වෙඩි සද්දයක් ඇසුණා. අම්මා සිටියේ මිදුලේ. තාත්තා සිටියේ කවුද කට්ටියක් එක්ක එළියට වෙලා. මට වෙඩි සද්දෙ ඇහෙනකොටම මම ජනේලෙන් එළියට පැන්නා. එතන බඩඉරිඟු යායක් තිබුණා. මම බඩඉරිඟු යායට පැනගත්තා. ඔව්. අම්මා ගැනවත් සිතන්නෙ නැතිව මම බඩඉරිඟු යායට පැන්නා. මොකද මම වෙඩි වදියි කියල බය වුණා. ඊට පස්සෙ මම තාත්තා සොයාගත්තා. පස්සෙ අපි දෙන්නාම සර්නොවිට්ස්වලට පයින් ඇවිදගෙන ගියා. අපි එහි ගෙටෝවේ (නට්සි රැඳවුම් කොලණියේ) නැවතුණා. ඊට පස්සෙ අපිව එතන ඉඳලා නට්සි රැඳවුම් කඳවුරට (Concentration Camp) ගෙනිච්චා. කඳවුරේදි මාව තාත්තාගෙන් වෙන් කෙරුණා. මාව දැම්මෙ ගැහැනුයි, ළමයිනුයි එක්ක එකට. හැම දවසකම රැඳවුම් කඳවුරේ දෙතුන් දෙනෙක් මැරුණා. ඒත් කොහොම හරි මම කඳවුරෙන් පැනගත්තා. ඒ, 1941 වසරේ. ඒ වෙද්දි කඳවුර වටා විදුලි කම්බි ඇදලා තිබුණෙ නෑ. (ඒකයි පැනගන්න පුළුවන් වුණේ.)

ඔව්. තනිවමයි මං පැනගත්තෙ.... කොහොමද පැනගත්තෙ? .... මම කුඩා සතෙක් බවට පත් වුණා. ඒක එහෙම වුණේ ජීවිතය කෙරේ ඇති ආශාව නිසයි. දිවිගලවා ගැනීමට ඇති ආශාව නිසයි.

’පැරිස් රිවීව්’

පරිවර්තනය [රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා