සුභාවිත ගීතය රැකගැනීමට මාධ්‍ය මැදිහත් විය යුතුයි | ඇස පාදන රැස


සුභාවිත ගීතය රැකගැනීමට මාධ්‍ය මැදිහත් විය යුතුයි

 ඡායාරූපය:

සුභාවිත ගීතය රැකගැනීමට මාධ්‍ය මැදිහත් විය යුතුයි

ගීත රචක සුගත් සෝමවීර

සුගත් සෝමවීරගේ ගේය පද රචනා ඇතුළත් ‘ජීවිත උයන‘ සංයුක්ත තැටිය මැයි 19 වැනිදා සවස 2.00ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී ජනගත කෙරේ. මේ සාකච්ඡාව ඒ නිමිත්තෙනි.

ඔබ ගීත රචනයට යොමු වුණේ ඇයි?

ගීයක් මගෙ අතින් මුලින්ම ලියවෙන්නෙ මම උසස් පෙළ පංතියෙ ඉන්න කාලෙ. ඒ කියන්නෙ 2000 විතර. මම උසස්පෙළ හදාරන්න, කලින් ඉගෙන ගත්ත කැලේවැව විජය කණිෂ්ඨ විද්‍යාලයෙ ඉඳල ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයට එනව. ප්‍රධාන විෂය විදියට හැදෑරුවෙ චිත්‍ර කලාව. අපි හිටියෙ කලා පංතියෙ. ඒ පංතියෙ සංගීත විෂය හදාරපු ටෙරී ගයාන් සුරේන්ද්‍ර කියන යාලුවා තමා මාව ඒ ගීය ලියන්න පොළඹවන්නෙ. ඒ එක්කම ඔහු මට ඒ පිළිබඳව හැදැරීමට අවශ්‍ය පොත පත ලබාදෙනව. මම දිගින් දිගටම එතැන ඉඳල ලොකු පිපාසෙකින් ගීත කලාව පිළිබඳ හොයන්න ඉගෙනගන්න පටන් ගන්නව. මම පුංචි කාලෙ ඉඳල කවිය ඇසුරේ හැඳුනෙ වැඩුනෙ. මගේ තාත්ත, තාත්තගෙ මලනුවන් එවකට යම් ප්‍රසිද්දියක් දැරූ කවියන්. ඒ අභාෂයෙන් මම පුවත්පත්වලට කවි ලියන්න ගන්නෙ හතර වසරෙ පංතියෙ ඉන්න කාලෙ ඉඳල. ඒ කවි ඇසුර ගීයක් ලියන්න මට ලොකු රුකුලක් වුණා.

ගීත රචනයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ප්‍රතිපලයක්ද?

ගීතය කියන්නෙ මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් කළ කලාංගයක්. මම විශ්වාස කරනව ගීතය කියන්නෙ මිනිස්සුන්ට වඩා ඉක්මනින් ප්‍රතිශක්තිය සපයන්න පුලුවන් කලාංගයක් කියල. ඒ කියන්නෙ මම හිතන්නෙ යහපත් ගීයක් හැම විටම ඖෂධීය ගුණයකින් යුතුයි කියල. ඒකට හේතුව කුඩා කාලෙ පටන් අප ඇසුරු කළ ගීතාවලිය හා ඒ නිර්මාණකරුවන් අතින් එවැනි වටිනාකමක් ගීතය හරහා සමාජ ගත කරන්නට මහන්සි ගත්ත. ගීය මිනිසුන් අතරට ගිය එකම වාහකය ගුවන් විදුලි සංස්ථාව විතරක් වුණ කාලෙ තමා අපි පුංචි උන් සංදියෙ ඉඳලම ගීත අහන්න පටන් ගත්තෙ. ඒ හරහා අපේ මනසට සිරුරට එකතු වුණ රිද්මය ඉතා සංයමයෙන් යුක්ත එකක්. ඒ සංයමය ඇතුෙළ තමා මම අර කිව්ව වටිනාකම හමුවෙන්නෙ. හැම නිර්මාණ කරුවෙකුටම තමන්ගෙ නිර්මාණය හරහා සමාජයට යහපත් යමක් කිරීමේ මහා උවමනාවක් තිබුණ බව ඒ නිර්මාණ හරහා අපට කුඩා කල පටන්ම දැනෙන්න ගත්ත. ඉතින් ඒ පරපුර කපාගෙන ආපු පාරෙම තැනකින් තමා අපි පටන් ගන්නෙ. මොන රැළි පෙරැළි ආවත් මොන වෙනස්කම් සිදුවුණත් අර වටිනාකම් ගීයෙන් ඈත් කරන වුවමනාවක් අපට දැනුණෙ නෑ. ඉතින් මගේ හෙට බලාපොරොත්තුවත් අද වගේම මගේ නිර්මාණ හරහා රසිකාගාරයට ජීවන වටිනාකම්, මානව වටිනාකම් සහිත ඖෂධීය ගුණ එන්නත් කරන එක.

ගිත රචනය අද පිරිහුණු කලාවක්. ඔබේ අදහස?

ගීතය පිළිබඳව විව්ධාකාර අදහස්, මතිමතාන්තර, නිර්වචන, කතිකාවන් විද්වතුන් හා ඒ සම්බන්ධ ප්‍රාමාණිකයින් ඉදිරිපත් කරල තියෙනව. සිංහල ගීතයට තියෙන්නෙ ඉතා කෙටි අතීතයක්. ඒ කාල පරාසය තුළ විවිධ මුහුණුවර ගනිමින්, විව්ධ පර්යේෂණයන්ට යටත් වෙමින් විවිධ යුග නිර්මාණය වෙමින් සිංහල ගීතය පැමිණෙනවා. අනුන්ගේ තනුවකට වචන පුරවපු තැනකින් පටන් ගත්ත සිංහල ගීතය, ඉන් පස්සෙ ඊට සාහිත වටිනාකමකුත් යම්කිසි අපේ කියන හැඩයකුත් එක් කරන්න උත්සාහ කරපු ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැන්නන්ගෙ අතින් වෙනසකට ලක්වෙනව. ඒ වෙනස තවත් වර්ණවත් කරන්න චන්ද්‍රරත්න මානවසිංහ වැන්නන්ගේ දායකත්වය ලැබෙනව. අදටත් යම්කිසි ස්ථාවරයක තිබෙන ගීතයේ අපට හුරු පුරුදු නිර්මාණශීලී ගී හැඩය නිර්මාණය වෙන්නෙ නිදහස් කවිය ඇරඹීමත් සමඟ කියල හිතනව. අචාරය අමරදේවයන්ගේ යුගය කියලත් ඒ යුගය සමහරු නම් කරනව. මඩවල එස්. රත්නායක, මහගම සේකර වැන්නෝ කවිය හා ගීතය අතර ඉතා විශිෂ්ට නැදෑකමක් ගොඩනගනව. ඒත් සමඟම සිංහල ගීතයේ සෞන්දර්‍යාත්මක හැඩය සාහිත්‍යයෙන් පෝෂණය වුණ පූර්ණ හැඩයක් බවට පත්වෙනව. එතැන් පටන් ඉතා නිර්මාණශීලී ගීත රචක, සංගීතඥ හා ගායක ගායිකා පරපුරක් ලංකාවේ සිංහල ගීතයේ ස්වර්ණමය අවධිය සලකුණු කරනවා. ඉන් පසුව අප ගීතය ස්පර්ෂ කරන කාලයේදී මහාචාර්ය, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල වැනි විශිෂ්ට පද රචකයින් ගීත රචක පරපුරේ කතා බහට ලංවෙන බුද්ධිවාදී මෙන්ම මානවවාදී ගීතයක් සමාජගත කරන්නට මහන්සි ගන්නවා. එකලම වෙනම රජරටින් වෙනම පිරිසක් එයට එක්වෙනව. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො වෙනම තැනකින් ගීතයට බෞද්ධ දර්ශනය එක් කරනව. එතකොට ගීතය කියන්නෙ ඔන්න ඔය ව්‍යාප්ත වුණ අංගයයි, ගීතයේ හැඩය ඒකයි කියන ස්ථාවරයක් ඒ අනුව සමාජගත වෙනව. ඒත් එක්ක තමා ගීතය නිර්වචනය වෙන්නෙ ලංකාව ඇතුළෙ. ඇත්තටම ඒ ගීතය සිංහල සමාජයට චින්තන ශක්තියත් වින්දන ශක්තියත් නගාහිටුවන්න ලොකු පරිශ්‍රමයක් දැරුව.

 ඔබ අගය කරන ගීත රචකයෝ ඉන්නවද?

ඒ ප්‍රශ්නයට උත්තර දීම යම් තරමක දුෂ්කර කටයුත්තක්. මොකද ඒ නාමාවලිය දිගු එකක්. කෙටියෙන් කිව්වොත් මම අර මුලින්ම කියපු සමාජ වගකීම වෙනුවෙන් පෙනී හිටින වටිනා නිර්මාණ බිහිකිරීමට දායක වුණ සියලු නිර්මාණ කරුවන් මම අගය කරනව.

ගීත කොපි පිටපත් වීදියේ විකිණීම ගැන මොකද හිතෙන්නෙ?

ගීත කොපි පිටපත් වීදියේ විකිණීම කොයි තරම් බරපතළ කාරණාවක්ද කියන එක වටහාගන්න වෙන්නෙ මේ මොහොත වන විට යහපත් අදහසින් නිර්මාණ කාර්යයේ නියැළුණ සියලුම නිර්මාණ කරුවන් පාහේ නැවත සංයුක්ත තැටියක් බිහිකිරීමට දක්වන අකමැත්ත සමඟ සංසන්දනාත්මකවයි. ඒ සඳහා කිසිම නිෂ්පාදකයකු තව දුරටත් ඉදිරිපත් නොවීමට ගෙන තියෙන තීරණය එක්කයි. ඉතින් ඒක සමස්ත සිංහල ගීතයේම අභිවෘද්ධිය පිණිස බලාපොරොත්තු දල්වන කාගේ හෝ කණගාටුවට මිස ප්‍රශංසාවට ලක්වන කාරණයක් නෙවෙයි. ඒකෙම තව අනික් පැත්තක් තියෙනව. එහෙම කොපි කරලවත් පාරෙ දාගෙන හරි අද දවසේ බිහිවන ඉතා යහපත් නිර්මාණ ටික මිනිස්සු ගාවට ගෙනියන වැඩපිළිවෙලක් නෑ ඒ අය ළඟ. ඒ කියන්නෙ ඒ අය කරන්නෙත් අර පොලේ බඩු විකුණනව වගේ අර ප්‍රසිද්ධ නිර්මාණ විකුණාගෙන කණ එකයි. ඒක නිර්මාණ කරුවන්ගෙ පාර්ශ්වයෙන් ගත්තම ඇත්තටම ඊළඟ නිර්මාණයක් කිරීමට තියෙන හිත ආපස්සට ඇදීමේ වැඩ පිළිවෙළක්.

අනුන්ගේ ගීත ගයා මුදල් හම්බු කරන අලුත් තරු ගැන ඔබේ අදහස.

මේ තරු රැල්ලත් අර අනූව දශකයෙ අග භාගෙදි ආව කැසට් රැල්ල වගේ එකක්. ඒකෙ නම් සමහර තැන්වල මොකක් හෝ සාධනීය ලකුණු හොයාගන්න තිබ්බ. මේ තරු රැල්ල ඉතා විනාශකාරීයි. ඒක තීරණය වෙන්නෙ ඔවුන්ගේ භාවිතාව අනුවයි. ඔවුන් හැකියාව භාවිතා කරන අරමුණ සාමාජීය වශයෙන් වැදගත් එකක් නොවෙයි තමන්ගේ පුද්ගලිකත්වය හා බද්ධ කරගත් එකක්. වෙළඳපොළ වුවමනාකම් වෙනුවෙන් හා ලාභ උපයාගැනීමේ තරඟයට හසුවුණ මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන් වේදිකා මත ප්‍රසිද්ධිය උපයා ගැනීමක් විතරයි වෙන්නෙ. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරන්න පෙළඹිල. එතනදි ඔවුන්ට නිර්මාණයක වටිනාකම කියන කාරණය තඹ දොයිතුවක වත් වටිනාකමක් නෑ. වින්දනය පිරිහුණ සමාජ කොටසක් පමණක් ලබාදෙන එස්.එම්.එස් මනාපයට ඔවුන් ඕනෑම දෙයක් කරනව. එතනදි ඒක තාත්තගෙ නිර්මාණයක්ද අමරදේවගෙ නිර්මාණයක් ද ඒ අය කවුද කියන එක අදාල නෑ ඔවුන්ට. මේ හින්දමයි මේ තරු ඉක්මනින් කඩා වැටෙන්නෙ. ඒත් ඒ කඩාවැටෙන ටික කාලෙකට සිංහල ගීතය පුලුවන් තරම් කාබාසිනිය කරලයි ඒ අය නිවෙන්නෙ.

අලුත් පරපුරේ ගිත රචකයන් ගැන මොකද හිතෙන්නෙ‍?

අලුත් පරපුරේ ගීත රචකයා කියන එක කොටස් දෙකකට වෙන් කරගන්න වෙනව. මොකද අලුත් පරපුරේ එක් කණ්ඩායමක් ඉන්නව මුදල, ප්‍රසිද්ධිය කියන පදනමේ ඉඳගෙන මොනා හෝ ලියා ඒවා ගීත යැයි තමන් විසින්ම හඳුන්වා ගනිමින් හා මුදල් දීල ඕන දෙයක් කරවගන්න පුලුවන් නාළිකා විශේෂයක් සමඟ එක්ව කටයුතු කරන. තවත් කණ්ඩායමක් ඉන්නව මුදල හෝ ප්‍රසිද්ධිය අරමුණු කරගන්නෙ නැතිව පෙර පරපුරේ ආශීර්වාදයත් ඇතිව සුභාවිත ගීතයේ හැඩහුරුකම් හඳුනාගෙන නිර්මාණ කරන එහෙත් වෙළඳපොළ අවශ්‍යතව වෙනුවෙන් පෙනී නොසිටින රසිකාගාරයේ සැබෑ අවශ්‍යතාව ඉටු කර්මින් නිර්මාණ කරනයේ මහත් වෑයමින් යෙදෙන පිරිස. හැබැයි ලංකාවෙ බොහෝ දෙනා අලුත් පරපුර හැටියට හඳුනාගන්නේ මම පළමු කොටස විදියට හැඳින්වූ මුදල හා ප්‍රසිද්ධිය අරමුණු කරගෙන මොනාහරි වචන ලියන ටික. මේ රටේ වැඩිම මාධ්‍ය ඉල්ලුමක් තියෙන්නෙ ඔවුන්ට. හැබැයි ඔවුන්ගේ රසිකාගාරය පොඩියි. එහෙත් විශාල මාධ්‍ය ව්‍යාපාරය විසින් ඒ පිරිස ලොකු කරල පෙන්නනව. ඉතින් අර මේ මොහොතේ සමාජ අවශ්‍යතාවය හඳුනාගෙන රසිකාගාරයට වගකීමෙන් යුතුව නිර්මාණ ගුණ නොනසා නිර්මාණ කරන නිර්මාණ කරුවන් මාධ්‍ය ආයතන හඳුනාගන්නේ අඟහරු ලෝකෙන් ආව අමුත් පිරිසක් වාගෙ. ඉඳල හිටල ඔවුන්ගේ නිර්මාණයක් මාධ්‍ය ආයතනකින් ප්‍රචාරය කරන්නෙ හිස් ආවරණ මූනු ආවරණ අත් ආවරණ ඔක්කෝම දාගෙන වාගෙ. ඉතින් මේ සුභාවිත නිර්මාණකරණයේ යෙදෙන පිරිස පිළිබඳව යම් අවධානයක් විනා ඉතා ප්‍රශශ්ත අවධානයක් ප්‍රවීණයින් විසින් ලබාදෙනවාද කියන එකත් කතා කළ යුත්තක්.

හොඳ ගීත අහන ශ්‍රාවක පිරිස වර්ධනය කරන්නෙ කොහොමද?

ඒ සඳහා ඇත්තටම ඉස්සර ගුවන් විදුලියෙම නිර්මාණාත්මක වැඩ පිළිවෙලක් තිබ්බ. ගීතයක් හැම විටම අහන්න සලස්වන්නෙ ඒ ගීය අහන්න අවශ්‍ය වින්දනීය මෙන්ම ඥනමය පසුබිම සකස් කරල. අද ඒ දෙකම වෙන්නෙ නෑ. පුලුවන් තරම් මිනිස් මනස හිරිවට්ටල දැනෙන්නෙම නැති තැනක් තමා ගීතය අත අරින්නෙ. ඒ නිසයි ගීතය කියන වටිනා කාරණයෙන් ඈත් වෙලා "චූන්" හෝ "ආතල්" වැනි පුංචි තැනකට රසිකයා ළංවෙන්නෙ. අන්න එතැනින් රසිකයා මුදවා ගන්න ඕනි. දැන් ඇත්තටම ගුවන් විදුලිය නැති වුණාට එකලට වඩා හැම කෙනෙකුට ඕන ගීයක් කැමති වෙලාවට අහන්න පුලුවන් ඉඩකඩ මේ තාක්ෂණික දියුණුව එක්ක ලැබිල තියෙනව. අවශ්‍ය වෙන්නෙ නිවැරදි අවශ්‍යතාවය හඳුනාගැනීමට රසිකයා පෙළඹවීමයි. එහෙම පිරිසක් ඉන්නව. ඒ පිරිස වැඩී. හැබැයි ඔවුන් නිහඬයි. තවමත් ඒ සුභාවිත ගීතය විඳින ඒ සමඟ ජීවත වන පිරිස අධිකයි. ඒ පිරිස වර්ධනය කරගන්න නැවත මාධ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. අද වෙනකොට සුභාවිත ගීතය එක්ක ජීවත් වෙන රසික පර්ශදය මැනගන්න කිසිම ක්‍රමවේදයක් නෑ.

සාකච්ඡා කළේ [සම්පත් වික්‍රමසිංහ]

මාතෘකා