නන්දිමිත්‍ර කියන කතන්දරකරුවා කියල මාව හඳුන්වනවාට මම හරි කැමතියි : ඇරැව්වල නන්දිමිත්‍ර | ඇස පාදන රැස


නන්දිමිත්‍ර කියන කතන්දරකරුවා කියල මාව හඳුන්වනවාට මම හරි කැමතියි : ඇරැව්වල නන්දිමිත්‍ර

 ඡායාරූපය:

නන්දිමිත්‍ර කියන කතන්දරකරුවා කියල මාව හඳුන්වනවාට මම හරි කැමතියි : ඇරැව්වල නන්දිමිත්‍ර

ප්‍රවීණ ප්‍රබන්ධ කතා රචකයකු වන අැරැව්වල නන්දිමිත්‍ර පසුගියදා දිවිමඟින් සමුගති. මියයන විට ඔහු හැත්තෑනව වන වියේ පසු විය. මේ, මීට නව වසරකට පෙර ඔහු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි. ඔහුගේ ප්‍රබන්ධ කතා කලාව හෙළිදරව් කරන මෙය නැවත ඉදිරිපත්  කරනුයේ ඔහු පිළිබඳ ආවර්ජනය කරනු පිණිසය. මියයන විට නන්දිමිත්‍රයන් නවකතා පහළොවක්, කෙටිකතා සංග්‍රහ දොළහක් ලියා පළ කර තිබිණි. ඔහුගේ ප්‍රබන්ධ අතරින් ‘මිහිසරණ’, ‘ගිනි’, ‘දුෂ්කර දුර්ගය’, ‘ගංතෙර තෙරණිය’ යන නවකතාත්, ‘සුදු කොඩි’, ‘සුද්දෝ සහ කොයින් මැණිකේ’, ‘රත්තරන් නෙළුම් මල්’, ‘මා සොයා එනු මැනවි’, ‘නංගී’, ‘මම සමු නොගනිමි’ යන කෙටිකතා සංග්‍රහත් විවිධ සම්මාන මගින් ඇගයුමට ලක්ව තිබේ. 2009 වසරේ ප්‍රවීණ මාධ්‍යවේදී සුගත් වටගෙදර විසින් ඔහුගේ තෝරාගත් කෙටිකතා එකතුවක් ‘ඇරැව්වල නන්දිමිත්‍රගේ තෝරාගත් කෙටිකතා’ නමින් එළිදක්වනු ලැබිණි. මේ සම්මුඛ සාකච්ඡාව සිදු කෙරුණේ එම කෘතිය නිමිති කරගෙනය.

ඔබ මෙබඳු තෝරාගත් කෙටිකතා එකතුවක් කරන්න සිතුවේ ඇයි?  

ඇත්තටම ඔය යෝජනාව මම කළ එකක් නෙවෙයි. එය මගේ මිතුරකු වන සුගත් වටගෙදර මහතාගේ යෝජනාවක්. ඔහු ඔය යෝජනාව මුලින්ම ඉදිරිපත් කළ වෙලාවේ මං කිව්වෙ “මම බොහොම පොඩි ලේඛකයෙක්. තෝරාගත් එකතූන් කරන්න තරම් මම බරපතල ලේඛකයෙක් නෙවෙයි” කියල. තෝරාගත් කෙටිකතා එකතූන් කරන්නෙ තෝල්ස්තෝයි, දොස්තොයෙව්ස්කි, මෝපසාන් වගේ ලේඛකයින්ටනෙ. මගේ අකමැත්ත නිසා වටගෙදර මහතා සිය යෝජනාව පසෙක තැබුවත් ඔහු එය අත්හැර දැමුවේ නැහැ. මම දැනට කෙටිකතා පොත් දොළහක් කර ඇති බව මතක් කරමින් එහි කෙටිකතා 84 න් කිහිපයක් තෝරාගැනීම දුෂ්කර නොවන බව ඔහු ඊළඟට මට සඳහන් කළා. අවසානයේ මම ඔහුගේ යෝජනාව පිළිගත්තා.  

මේ කෘතියට ඔබ දොරට වැඩීමේ උත්සවයක් තබන්න බලාපොරොත්තු වෙන්නෙ නැද්ද?  

මගේ කිසිම පොතකට මම උත්සව පවත්වලා නැහැ. මොකද මගේ පොතකට මමම උත්සව පවත්වාගෙන වර්ණනා කරගන්න මට හරි ලැජ්ජාවක් දැනෙනවා. ඒත් මේ පොතට මොනවා හරි කළාට කමක් නෑ කියල මට සිතෙනවා.  

කෙටිකතාව ඔබ අර්ථ නිරූපණය කරන්නේ කෙසේද?  

කෙටිකතාව යනුවෙන් මා අදහස් කරන්නේ සිත් ඇදගන්නාසුලු ආරම්භයකුත්, හදවත සසල කරනසුලු අවසානයකුත් ඇති, මනුෂ්‍ය ජීවිතය ගැන කියවෙන, පාඨකයාට ජීවිතාවබෝධයකුත්, ආස්වාදයකුත් ලබාදෙන ගද්‍ය කාව්‍යයකටයි.  

ඔබට අනුව නවකතාව කෙටිකතාවෙන් වෙනස් වන්නේ කෙසේද?  

නවකතාව පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිර යනවා. කෙටිකතාව විශාල පරාසයක පැතිර යන්නේ නැහැ. කෙටිකතාව ගැන විග්‍රහයක් කරන මහාචාර්ය විමල් දිසානායක කියනවා නවකතාව කියන්නෙ තරංග විශාල සංඛ්‍යාවකින් යුත් මහමුහුදක් නම් කෙටිකතාව යනු එහි එක් රැල්ලක් පමණයි කියල. කොහොම වුණත් කෙටිකතාවෙන් චරිත විශාල සංඛ්‍යාවක් හා සිද්ධීන් විශාල ගණනක් ගැන කියන්න බැහැ. නවකතාවෙන් විතරයි එවැනි විශාල පරාසයක් කිව හැක්කේ.  

ඔබ නවකතාවක් හෝ කෙටිකතාවක් ලියා පළ කරන්න පෙර එය කෙතරම් කාලයක් පසෙකට කර තබනවාද?  

ඇත්ත වශයෙන් ලියූ සැටියේ මම පළ කරන්න දෙන්නෙ නැහැ. මම ඔය පාඩම ඉගෙන ගත්තේ සුගතපාල ද සිල්වා මහතාගෙන්. මම ඉස්සර සුගතපාල ද සිල්වා මහතා ගුවන්විදුලියට කළ නාට්‍ය හරියට රස වින්දා. එහෙම රස විඳිද්දි දවසක් මාත් නාට්‍යයක් ලියා ඔහුට යැව්වා. ඒත් ඒක හැරෙන තැපෑලෙන් මට ආපසු ආවා. ඒත් මම ලිව්වා. ඒවාත් ආපසු ආවා. එහෙම ආපසු එන පිටපත් අතරේ දවසක සුගතපාල ද සිල්වා මහතාගේ විශේෂ සඳහනක් තිබුණා. ඒ, මගේ පිටපත ප්‍රතික්ෂේප කර එවන ලිපියේයි. එයින් කියා තිබුණේ විවේකයක් ඇති වෙලාවක ගුවන්විදුලියට පැමිණ රාජකාරි වෙලාව තුළ ඔහු හමු වෙන්න කියලයි. ඉතින් පසු දවසක මම ඔහු හමු වුණා. එහිදී ඔහු කිව්වා “ඔයා හැමදාම අපට පිටපත් එවනවා. අපිත් ඒවා ඔයාට එවනවා. කාටවත් ඒකෙන් ඵලක් නෑ” කියල. “ඔයා ලියන්න උනන්දු නිසා මම මේ ටික කියන්නම්” කියල ඔහු ඊළඟට ගුවන්විදුලි නාට්‍යයක් ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණු රාශියක් මට කියා දුන්නා. අවසානයේ ඔහු මට කීව දේ තමයි “ලියූ ගමන් කිසි දෙයක් එවන්න එපා. ලියලා මාසයක් දෙකක් පැත්තකට දාලා තියල ඊළඟට කියවන්න. එතකොට ඔයාගේ කතාවේ වැරදි ඔයාටම අහු වේවි” කියන එක. ඉතින් ඒ පුරුද්ද එදා ඉඳලා මගේ තියෙනවා. ඒ නිසා ලියූ දෙයක් මම පළ කරන්න දෙන්නෙ මාසයක් හෝ මාස කිහිපයක් හෝ සමහර විට අවුරුද්දක් හමාරක් ගත වුණාට පසුවයි.

ලියූ දෙයක් ලියූ සැටියේ ඔබ නැවත කියවා හදනවාද?  

ඔව්. ලියූ සැටියේ කියවා හදනවා. එක පාරක් නම් කොහොමටත් කියවනවා. ඒත් එකපාර පළ කරන්නෙ නෑ.  

ඔබේ නිර්මාණ සඳහා සංස්කාරකවරයකු හෝ පළ කරන්න පෙර කියවා අදහස් දක්වන රසිකයකු සිටිනවාද?  

ඇත්තටම නෑ. ඒත් මම හරි කැමතියි එහෙම කෙනෙක් ඉන්නවා නම්. ඒත් එවැනි ඉහළ විචාරකයින්, රසිකයින් අපට කොයින්ද?  

ගෙදර දොරේ හෝ රැකියා ස්ථානයේ එබඳු රසිකයෙක් ඔබට තබාගත හැකියි?  

අනිවාර්යෙන් එහෙම අය මට ඉන්නවා. විශේෂයෙන් මම රැකියා කළ ස්ථානයේ මිතුරන්, සේවකයින් ඒවා කියෙව්වා. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ ඔවුන් කතාව ගැන ගැඹුරු අදහස් දෙන්න, කතාව වෙනස් විය යුතු ආකාරය කියන්න නොදැනීමයි. ඔවුන් කළේ කතාවෙන් රසයක් ලැබෙනවාද, නැද්ද කියල බැලූ එක විතරයි.  

ඔබ සම්මානනීය නවකතාකරුවෙක්. සම්මාන ගැන හිතන්නෙ කුමක්ද?  

මුල් කාලයේ ලියූ පොත්වලට මට සම්මාන ලැබුණෙ නෑ. පොත් දහයක් පහළොවක් විතර ලිව්වාට පස්සෙයි මට සම්මාන ලැබුණෙ. ඒත් සම්මානවලට මම පොත් ලියන්නෙ නෑ.  

ඔබ අවුරුදු පතා පොත් ලියූ කාලයකුත් තිබුණා.  

ඔව්. අවුරුද්දකට වරක් පොතක් එළිදැක්වූ කාලයක් තිබුණා. ඒත් ඒ ලිව්වෙ අවුරුදු පතා ඒ දේ කරන්න බලාගෙන නෙවෙයි. නිතිපතා පොත් පළ කරන අරමුණක් මට තිබුණෙ නෑ. අවුරුදු පතා පොත් ලියාපදිංචි කරන්න මම කවදාවත් උනන්දු වෙලාත් නෑ. සම්මාන ලැබිලා කියල පණිවිඩයක් ආවාම මම ගිහින් ගන්නවා. ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් කරලා නෑ.  

ඔබ අනුගමනය කළ විශේෂ ලේඛකයින් ඉන්නවාද?  

මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක යන ලේඛකයින් සියලු දෙනාගේ පොත් පාසල් කාලයේ සිටම මම ආසාවෙන් කියෙව්වා. විශේෂයෙන් මාව කියවන්න පෙළඹවූ පොත තමයි ගුණදාස අමරසේකර මහතාගේ ‘කරුමක්කාරයෝ’ නවකතාව. ඔහුගේ ‘යළි උපන්නෙමි’ හෝ ‘දෙපා නොලද්දෝ’ නවකතා දෙකටත් වඩා ‘කරුමක්කාරයෝ’ මට බලපෑවා. හැබැයි ලිවීමේදී මට වඩාත්ම බලපෑවේ කේ. ජයතිලක මහතායි කියල මම හිතන්නෙ. මොකද ඔහුගේ නිර්මාණවල එන පසුබිම් පරිසරය හා චරිත මගේ ජීවිතයට බොහෝ විට සම්බන්ධයි කියල මට හැඟුණා. හැබැයි මට ප්‍රධාන වශයෙන් ආභාසයක් ලැබුණේ රුසියානු නවකතාවලින් සහ ජපන් පොතපතිනුයි. ඒ සියල්ල මම කියෙව්වෙත් පරිවර්තන ආශ්‍රෙයන් බවත් කියන්න ඕන.  

සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන ඔබට කෙටිකතාවේදී බලපා නැද්ද?  

ඔවුන්ගේ පොත් මම ආසාවෙන් කියෙව්වා. ඒත් බලපෑමක් ලැබුණෙ නෑ. ඔවුන්ගේ අදීනත්වයට මම ගරු කරනවා. ඒත් මට ඔවුන් බලපෑවේ නෑ. අජිත් තිලකසේනගේ කෙටිකතා ලිඛිත බසින් අපි ලිව්වොත් ඒකෙන් කිසි දෙයක් අපට අරගන්න බෑ. ඒ නිසා ඔවුන් අනුගමනය කිරීමත් කාටවත් කරන්න බෑ. ඇත්තටම මට තවත් ලේඛකයෙක් අනුගමනය කරන්න වුවමනා වුණේ නෑ. මට තවත් සයිමන් නවගත්තේගම කෙනෙක් වෙන්න බෑ. මොකද එතුමා බිහි වෙන්නෙ එතුමාගේ පරිසරය තුළින්. මම බිහි වෙන්නේ මා ඇසුරු කරන ඇරැව්වල ගමේ පරිසරය තුළින්.  

ඔබගේ සම්පූර්ණ නම කුමක්ද?  

මම වැලිවත්තගේ දොන් නන්දිමිත්‍ර.  

ඇයි ඔබ නමේ මුලට ඇරැව්වල දාන්නෙ?  

අපි පොඩි කාලෙ අපේ ගම ප්‍රසිද්ධ හරක් හොරුන්ට, කසිප්පුකාරයින්ට සහ මංපහරන්නන්ට. ඈත පළාතකට ගිහිල්ලා ගම කොහේද කියල ඇහුවොත් අපේ ගමේ කවුරුවත් ඇරැව්වල කියල කියන්නෙ නෑ. ඉතින් මම කල්පනා කළා අපි ඉස්සර වෙලා උපන් රටට, උපන් ගමට ආදරය කරන්න ඕන කියල. ඒ නිසා ගමට ආදරේටයි මම ඇරැව්වල කොටස නමේ මුලට දැම්මෙ. මගේ මුල්ම පොත 1965 වසරේයි පළ කළේ. එය කෙටිකතා පොතක්. ඒ පොතේ ඉඳලාම මම මගේ නම විධියට පාවිච්චි කළේ ඇරැව්වල නන්දිමිත්‍රයි.  

ඔබේ නිර්මාණකරණය ගැන ඔබ තෘප්තිමත්ද?  

මම ඉහළ පෙළේ කෙටිකතා හෝ ඉහළ පෙළේ නවකතා හෝ ලියා තියෙනවා කියල මට කිසි විටෙක හිතෙන්නෙ නෑ. මගේ නිර්මාණ ගැන මට කිසි තෘප්තියක් නෑ. හැබැයි මගේ පසුබිම, මා හැදුණු වැඩුණු දිළිඳු පරිසරය දිහා බැලුවාම මට හිතෙනවා කොහොමද මේ තරම් දෙයක් මම ලියාගත්තෙ කියල.  

ලේඛන ජීවිතයේදී ඔබේ කිසියම් අඩුවක් තියෙනවා යැයි ඔබට හිතෙනවාද? නැත්නම් ඔබගේ දුර්වලතාවක් එහෙම?  

මම නිකන් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා පොත් ලියන්න පෙළඹුණු කෙනෙක්. ඉතින් මීට වඩා ලේඛන කලාව හදාරා පොත් ලියන්න තිබුණා නම් හොඳයි කියල මට නිතර හිතෙනවා.  

ඒ කියන්නෙ අද අලුතින් ලියන ලේඛකයින් සමඟ ඔබ පසුපසින් සිටිනවා යැයි කියන හැඟීමද?  

කිසිසේත්ම නෑ. අපිව පසු කරලා ඔවුන් ඉදිරියට යා යුතුයි. එහෙම යනවා නම් මම ඔවුන් දිහා සන්තෝෂයෙන් බලා ඉන්නවා.  

පශ්චාත් නූතනවාදී විචාර කලාවත් එක්ක ආ එක් විචාර සිද්ධාන්තයක් තමයි කතාකරුවකුට වාස්තවික යථාව ප්‍රබන්ධය හරහා නිරූපණය කළ නොහැකියි යන්න. මොකද භාෂාව කියන්නෙ සංකේත පද්ධතියක්. ඒ නිසා යම් ලේඛකයෙක් යථාව නිරූපණය කිරීමට වඩා වඩා උත්සාහ දැරීමේදී සිදු වන්නේ වඩ වඩා භාෂාවේ සිරවීමයි. ඉතින් ගැමි පරිසරය ඒ ආකාරයෙන්ම නිරූපණය කිරීම පිණිස ප්‍රබන්ධකරණයේ නියුතු වන ඔබ මේ සිද්ධාන්තයත් සමඟ නිශේධනය වන්නේ යැයි, ඔබ මෙතෙක් ලියූ පොත් වතුරේ ගොස් ඇතැයි ඔබට සිතෙනවාද?  

කොහෙත්ම එහෙම හිතෙන්නේ නෑ. මට හිතෙන විධියට ලේඛකයින් අධියථාර්ථවාදී රීතියෙන් කතා ලියන්නෙ යථාර්ථය වඩා ප්‍රබල ලෙස ඉදිරිපත් කරන්නයි. එහෙම නැතිව හුදෙක් ඉන්ද්‍රජාලයක් මැවීමට නෙවෙයි. මම ලියූ දේ වතුරේ ගිහින් කියල මම කොහොමටවත් හිතන්නෙ නෑ.  

ඔබ ‘කතන්දරකරුවකුගේ සටහන්’ කියල කෘතියක් ලියනවා. ඇයි ඔබ ඔබවම කතන්දරකාරයකු ලෙස හඳුනාගන්නෙ?  

මම මාව එහෙම හඳුනාගන්න කැමතියි. මම ඉහළ පෙළේ නවකතාකරුවෙක් නෙවෙයි. ඒත් මම නන්දිමිත්‍ර කියන කතන්දරකරුවා කියල යමෙකු හඳුන්වනවා නම් මම හරි කැමතියි. මොකද ඈත යුගයේ සිටම මනුෂ්‍ය ආධ්‍යාත්මය පෝෂණය කරන්න ආධාර වෙලා තියෙන්නෙ කතන්දර කලාවයි. පෙරදිග, අපරදිග කියල එහි වෙනසක් නෑ. ඊසොප්ගේ උපමා කතා, ජාතක කතා, කතාසරිත්සාගරය වැනි කතා බැලුවාම ඒ බව පෙනෙනවා.  

ඔබට පැරණි සිංහල සම්භාව්‍ය සාහිත්‍යය විශේෂයෙන් බලපා තියෙනවා?  

වර්තමාන කෙටිකතා බැලුවාම එහි පිළිගත් සම්මුතීන් රැසක් තිබෙනවා. ඇන්ටන් චෙකෝෆ්ගේ සම්මුතිය, මෝපසාන්ගේ සම්මුතිය ආදී වශයෙන් ඒ දේ දක්නට ලැබෙනවා. ඒත් මට හැඟුණු දේ තමයි අපටත් අපටම ආවේණික සම්මුතීන් තියෙනවා කියන එක. ජාතක කතා, ජන කතා, ගැමි කතා ආදියේ ඊටම ආවේණික සම්මුතීන් තිබෙන බව අපට පෙනෙනවා. ඒ නිසා අපගේ නව නිර්මාණයන්ට බටහිර කතන්දර කලාව අභිභවමින් අපේ කතා කලාව උපයෝගී කරගන්න පුළුවන් කියල මට හැඟුණා.  

තව දෙයක් තියෙනවා. අපි උගත්කම පෙන්වන්න කියල පාඨකයාට නොතේරෙන්න ලියලා වැඩක් නෑ. ඒ නිසා මේ කලා මාධ්‍යයන්ට අපේ පැරණි කතා කලාවත් උපයෝගී කරගත්තොත් වඩා හොඳ නිර්මාණයක් කළ හැකියි කියල මට හිතුණා. මම කියන්නෙ බටහිර කතා කලාව අත්හරින්න කියල නෙවෙයි, ඒ කලාවත්, අපේ කතා කලාවත් උපයෝගී කරගෙන හොඳ නිර්මාණ කළ හැකි බවයි.  

ඔබ එසේ කීවත් ඔබට ඇත්තේ වාර්තාමය බසක් කියා විචාරකයින් කියනවා?  

සමහර විචාරකයින් මට එහෙම කියනවා. ඒත් මම ලියන්නෙ මට හැකි පමණිනුයි. වාර්තාමය  විධියට ලියන්න මට කිසි වුවමනාවක් නෑ.  

ඔබ අලුත් භාෂාත්මක අත්හදාබැලීම් කරන්නෙ නෑ?  

මගේ කතාවල අඩංගු විෂය ක්ෂේත්‍රය ගත්තාම එය අපට හුරුපුරුදු ආකෘතිය තුළ ලියාගෙන යන්න පුළුවනි. ඒ නිසා මට, තියෙන ආකෘති කඩාබිඳගෙන යන්න ඕන කියල හැඟීමක් ඇති වෙලා නෑ.

මාතෘකා