පෙම්බරියගෙන් වෙන් වුණු ලූලෙක් හැරෙයි ඇළකට

පෙම්බරියගෙන් වෙන් වුණු ලූලෙක් හැරෙයි ඇළකට

සාදය සූදානම්ය, යන්නං චන්දරේ කාව්‍ය සංග්‍රහ රසිකයන් අතරට ගෙනා ටිම්රාන් කීර්තිගේ තෙවැනි කාව්‍ය සංග්‍රහයෙහි නම ඉහත දක්වන ලදි. මේ කෘතියෙහි "මට තේරෙන්නෙ නෑ" මැයෙන් ලියැවුණු කවියෙහි ලූලා පිළිබඳ ප්‍රස්තුතය අන්තර්ගත වෙයි. සයුරට ගලන ගඟ දිගේ පිහිනන ලූලෙකු ඇළකට හැරීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකැයි පෙනී යා හැකිය. පෙම්බරිය ලූලාගෙන් වෙන් වුණ පසු ලූලාගේ චර්යාව වෙනස් වීම අරුමයක් නොවේ. මේ කවියෙහි දෘශ්‍යමානයේ එක් පැතිකඩකි. එහෙත් කවියාගේ පරිකල්පනය ගොඩ නැගී ඇත්තේ මිනිස් දිවිය ඇසුරෙනි.

ගඟ, මුහුද, තෝරු මෝරු, ආඳෝ, හාල්මැස්යෝ පෙතියෝ ජීවත් වන කරදිය හා මිරිදිය නම් වූ මානව ශිෂ්ටාචාරය නමැති මහා ප්‍රවාහයේ මිනිසකුට මිනිසකු ලෙසම මිනිසකු හමු වීම දුර්ලභ අත්දැකීමකි. ටිම්රාන්ගේ කවි කල්පනාව බැලූ බැල්මට සරලය. එහෙත් එහි බහුවිධ අරුත් මතු වේ. ඒ කවිය ඒකමානීය කියවීමකට ලක් කළ නොහැක. මේ පොතෙහි ඇතැම් කවි ටිම්රාන්ගේ කවියෙහි එබඳු වර්ධනීය අවස්ථා පිළිබිඹු කරයි.

සඳකඩ පහණ ඒ සඳහා දැක් විය හැකි හොඳම නිදසුනකි.

අවසන

ඈ සමග පැමිණියෙමි

ඒ හුදකලා සෙනසුනට

සඳකඩ පහණ මත

දෙපා සුරතල් කර

වැඳ වැටුණාය ඈ

කැළෑ මල් මිට අතුරා

සෙල් පිළිමයක් පාමුල

"ඇයි වඳින්නේ නැද්ද

ආදරය මිස වෙන දෙයක්

වදින්නෙම නැද්ද?

ගල් හිතක

මගේ රුව සන්සුන්ව

කෙටෙන්නෙත් නැද්ද?"

ඉනික්බිති

සත වරුස කීපයක්

හකුළවා දෙපැයක

"යමු නේද?"

ඈ කෙඳිරුවා

හරි හිමිහිට

ඈ පිදූ කැළෑ මල් මිට

පුදසුනෙන් රැගෙන මා දෝතට

දන ගහං සඳකඩ පහණ පා මුල,

ඇත් අස් රූප අතරැ'ති

ඉසියුම් ජ්‍යාමිතික නෙරු මත

එමල් තැබුවෙමි

'මුල් අදීවා'යි පතමින...

"එමු නේද අපි ආයෙ දවසක"

පවසද්දි මා

ඇසෙන නෑසෙන ගානට

සන්සුන්ව

ගමන් ගත්තාය ඈ

සඳකඩ පහණ මඟ හැර

සුලබ තේමාවක් වන ප්‍රේමය ප්‍රස්තූත කර ගත්තද කවියා උචිත සංකේත භාවිත කරමින් රමණීය අරුත් ඉපදවීමට සමත් වෙයි. එහි බස අත්දැකීමට ගැළපෙන පරිදි සියුම්ව කැටපත් තර ඇත. යන්නං චන්දරේ ඔස්සේ ජනකවියකු පරිද්දෙන් ඔහු පාඨක ප්‍රසාදය දිනා ගත්තේ කාව්‍යමය ගුණය නොනසමින් බසෙහි අමු බව උපරිම ශක්‍යතාවකින් යොදා ගැනීම ඔස්සේය. මේ කෘතියෙහිදී ඔහු තම කවි බස වඩා හොඳින් පදම් කරගනී. එහෙත් ඒ බසට දිදුලන පැහැයක් ලැබී ඇත්තේ අත්දැකීමෙහි සාරය නව්‍ය පරිකල්පනයකට එසවීම අතිනි.

විමර්ශී

මාතෘකා