අන්තර්ඥානයෙන් ව්‍යවහාර ඥානයට

 ඡායාරූපය:

අන්තර්ඥානයෙන් ව්‍යවහාර ඥානයට

මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ඥානය ඇත. එහෙත් ඥානය පිහිටියේ කොතැන දැයි යන්න පිළිබඳව ඥානයක් අපට නැත. ඥානය පිහිටි තැන් නොදනිතත් ඥානය පිළිබඳ විවිධ අදහස් අප සතු ය. එවැනි අදහස් කීපයක් කෙරේ මෙහි අවධානය යොමු කෙරේ.

අන්තර්ඥානය

'අන්තර්ඥානය' යන්නේ වාච්‍යාර්ථය 'ඇතුළත පිහිටි නුවණ' යන්න යි. ඇතැම් පඬිවරුන් යම් යම් දේ දකින්නේ ඇසින් නොව අන්තර්ඥානයෙනි. ඊට ම 'පරිඥානය' යන පදයත් යෙදෙයි. මෙය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'insight' යන පදයෙනි.

දිව්‍ය ඥානය

දෙවියන් සතු ඥානය 'දිව්‍ය ඥානය' යි. සමහර හොරුන්ට ද දිව්‍ය ඥානය ඇතැයි සරදම් කෙරේ.

ව්‍යවහාර ඥානය

අත්දැකීමෙන් ම උකහා ගත් නුවණ 'ව්‍යවහාර ඥානය' යි. මෙය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'common sense' යන පදයෙනි. ඒ නුවණ කා තුළත් අනිවාර්යයෙන් ම පිහිටා තිබිය යුතු නුවණක් ය යන අර්ථයෙනි.

සාමාන්‍ය ඥානය

සැම දෙනා තුළ ම තිබිය යුතු ඥාන සම්භාරය 'සාමාන්‍ය ඥානය' යනුවෙන් අදහස් කෙරේ. මෙය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'general knowledge' යන පදයෙනි.

ස්වයම්භූ ඥානය

තමා විසින් ම උපදවා ගනු ලබන ඥානය 'ස්වයම්භූ ඥානය' නමි. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වුණේ වෙනත් ආචාර්යවරුන්ගේ ඥානය ඔස්සේ යෑමෙන් නොව තමා විසින් ම අවබෝධ කොට ගත් ඥානයෙනි. මේ ඥානය 'ස්වයම්භූ ඥානය' නම් වෙයි.

පණ්ඩිතයන්ට විවිධ විෂය ක්ෂේත්‍රවලින් ලබා ගත් විෂය ඥානයක් ඇතත් ව්‍යවහාර ඥානයක් නැතැයි කියනු ඇසේ. ඔහුට ඒදණ්ඩේ යා නොහැක්කේ ඒ ව්‍යවහාර ඥානය නැති නිසා යැයි කියනු ලැබේ.

ඥානය ඇත්තා හැදින්වීමට 'නාම ප්‍රකෘතියකට' පරව 'ඥ' යන තද්ධිත ප්‍රත්‍යය එක් කොට සංයුක්ත නාම පදයක් සදා ගැනීම සිංහල රීතිය යි. එවැන්නන් අතුරෙහි කීප දෙනෙක් මෙසේ ය.

ඉතිහාසඥයා

ඉතිහාසය පිළිබඳ ඥානයක් ඇත්තා 'ඉතිහාසඥයා' ය. මහාචාර්ය කිංස්ලි ද සිල්වා මහතා මේ රටේ පහළ වුණු විශිෂ්ටතම ඉතිහාසඥයා වශයෙන් ගරු බුහුමන් ලබයි.

තත්ත්වඥයා

එක් එක් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව හසළ දැනුමක් ඇත්තා 'තත්ත්වඥයක් ' ය. එවැනි පිරිස් සහිත මණ්ඩල 'තත්ත්වඥ මණ්ඩල' යනුවෙන් හැදින්වේ. 'තත්ත්වඥ' යන පදය 'තත්වඥ' යනුවෙන් එක් අල් ත-යන්නකින් ද ලිවිය හැකි ය. එක සමාන අකුරු දෙකක් එක සමීපයෙහි යෙදෙන විට ඉන් එකක් ලොප් කොට උච්චාරණය කිරීම සුඛෝච්චාරණයට හේතු වන බැවිනි.

දේශපාලනඥයා

රාජ්‍ය මන්ත්‍රණ සභාවට සම්බන්ධ වෙමින් දේශය පාලනය කරන්නා 'දේශපාලනඥයා' ය.

දෛවඥයා

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අනුසාරයෙන් කිසිවෙකුගේ දෛවය හෝ ඉරණම ගැන කියා දීමට ඥානය ඇත්තා 'දෛවඥයා' ය.

නීතිඥයා

උසාවියට අදාළ නීති පිළිබඳ ඥානයක් ඇත්තා 'නීතිඥයා' ය. කලකට පෙර නීතිඥ‍ෙයෝ දෙ පිරිසක් මෙරටෙහි වූහ. 'පෙරකදෝරු' (proctor) හා 'අද්වකාත්' (advocate) යනු විසිනි. මේ පද දෙක ම සිංහලයට ආවේ ලන්දේසි භාෂාව ඔස්සේ ය. මෙරට අධිකරණයට පාදක වූයේ රෝම-ලන්දේසි නීතිය බැවිනි. 'පෙරකදෝරු' යන පදය 'procurador' යන පදයෙනුත් 'අද්වකාත්' යන පදය 'advokaat' යන පදයෙනුත් සිංහලයට එක් විණ.

රසඥයා

'රසඥයා' යන පදයෙන් අදහස් කෙරෙන්නේ 'රස' පිළිබඳ ඥානයක් ඇත්තා ය. මෙහි ලා 'රස' යන්නෙන් කරුණු දෙකක් අදහස් කෙරේ. එකක් කවියන් හා කලාකරුවන් දන්නා 'රස' යි. එවැනි 'රසඥයන්' හැඳින්වීමට 'රසිකයන්' යන පදය ද යෙදේ. ඖෂධවේදීන් හඳුන්වනු පිණිස ද 'රසඥ' යන පදය යෙදේ.

සංගීතඥයා

සංගීතය පිළිබඳ ඥානය ඇත්තා 'සංගීතඥයා' ය. දෙවියන් අතර නමක් දිනා ගත් සංගීතඥයා 'පංචසිඛ' හෙවත් 'පන්සිළු' නම් වෙයි. ඔහු වීණා වාදනයෙහි නිපුණයෙකි. දිව්‍ය ලෝකයෙහි සිටින සංගීතඥයෝ 'ගාන්ධර්ව' යන නමින් හැදින්වෙති. අමරදේවයෝ අපේ අග්‍රගණ්‍ය ගාන්ධර්වයාණෝ වූහ.

සර්වඥ

බුදුන් වහන්සේ හැඳින්වීම පිණිස යෙදෙන 'සර්වඥ' යන පදයේ අර්ථය 'දත යුතු සියල්ල දත්' යන්න යි. මෙහි 'සර්ව' යනු 'සියල්ල යි. 'සර්වඥ' යන සංස්කෘත පදය සිංහලයට එන්නේ 'සවන්' යනුවෙනි. බුදුන් වහන්සේ 'සර්වඥයන් වහන්සේ' ය.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා