සිංහල සාහිත්‍යයේ අභිවෘද්ධියට මහින්දාගමනයෙන් ඉටු වූ මෙහෙය

 ඡායාරූපය:

සිංහල සාහිත්‍යයේ අභිවෘද්ධියට මහින්දාගමනයෙන් ඉටු වූ මෙහෙය

“මහරජ, මේ ගස කුමක්ද?”

“ස්වාමීනී, මේ අඹ ගසකි.”

“මහරජ, මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද?”

“එසේය ස්වාමීනී... තවත් බොහෝ අඹ ගස් තිබේ.”

“මහරජ, මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?”

“එසේය ස්වාමීනී, තවත් බොහෝ ගස් තිබේ. එහෙත් ඒවා අඹ ගස් නොවේ.”

“අන් අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැර තවත් ගස් තබේද?”

“එසේය ස්වාමීනී. ඒ මේ අඹ ගසයි.”

මිහිඳු හිමියන් හා දේවානම්පියතිස්ස රජු අතර ඇති වූ ඉහත සංවාදයේදී රජු විසින් දෙනු ලබන පිළිතුරුවලින් පෙනෙන්නේ ඔහු මහින්දාගමනයට පෙරම කවර ආකාරයක හෝ සාහිත්‍ය කලා සම්ප්‍රදායකින් පෝෂණය ලබා ඇති බවය. සාහිත්‍ය කලා ඔස්සේ ලබන ශික්ෂණයකින් තොරව කිසිවෙකුට එවැනි බුද්ධි මට්ටමක් ළඟා කරගත නොහැකි නිසාය. එබැවින් සැබැවින්ම සිදු වන්නට ඇත්තේ මහින්දාගමනයෙන් පසුව මෙරට පැවැති සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තවදුරටත් වැඩී වර්ධනය වීමය

මිහිඳු හිමියන් බුදුදහම ලක්දිවට ගෙන ඒමෙන් පසුව එය හෙළ බසට පෙරළීමත් සමඟ සිංහල සාහිත්‍ය වංශ කතාවේ ස්වර්ණමය යුගය සනිටුහන් විය. එවක මෙරට සිටි සිංහල යති පරපුර මේ කටයුතු සඳහා සුවිසල් දායකත්වයක් ලබා දී ඇති අතර, එදා එසේ ඇරඹුණු හෙළ ගත් හෙවත් සිංහල පොත් ලිවීම ධර්ම විෂය මතු නොව සෙසු විෂය ක්ෂේත්‍ර වෙතද විහිදී ව්‍යාප්තව වැඩී ගියේය. එයින් අදහස් වන්නේ මෙරට ග්‍රන්ථකරණයේ ආරම්භය සිදුව ඇත්තේ ස්වතන්ත්‍ර කෘති රචනා කිරීමක් ඔස්සේ නොව, පරිවර්තන කාර්යයක් ඔස්සේ බවය. ඒ සඳහා මූලික දායකත්වය සැපයී ඇත්තේ පාලි සංස්කෘත භාෂාවලිනි.

ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිටම ලක්වැසියන් අකුරු කියවීම සහ ලිවීම කළ බවට සාක්ෂ්‍ය හමු වී ඇත. ඔවුන්ට ඒ දැනුම ලැබුණේ මහින්දාගමනයෙන් පසුව බව විද්වත් මතය වී ඇති නමුදු මහින්දාගමනයට පෙර සිටම මෙරට කිසියම් ආකාරයක අක්ෂර මාලාවක් පැවතී ඇතැයිද කියැවේ. ලංකාවේ මුල්ම ලේඛන ඉතා සරල සහ සෘජු සන්නිවේදන සඳහා කරන ලද කෙටි රචනා හෙවත් වැකි ලෙස විවිධ හසුන්, තල්පත් පණිවුඩ සහ ශිලා ලේඛන යනාදී ස්වරූපයෙන් සටහන්ව ඇත. භික්ෂුන් වහන්සේලාට ලෙන් පූජා කළ රජවරුන්, පාලකයින් සහ ප්‍රභූවරුන් වැනි පිරිස් පිළිබඳ විස්තර මෙකී ලේඛනවල සටහන්ව තිබේ. ලෙන්වල කටාරමට පහළින් ලියන ලද මෙවැනි ලේඛන මිහින්තලය, වෙස්සගිරිය, නාමල් පොකුණ, මහකණදරාව වැනි විවිධ ස්ථානයන්හි හමු වී ඇත. ඉතා සරල සහ සංක්ෂිප්ත සන්නිවේදන අරමුණක් ඉටු කරගැනීම සඳහා යොදාගන්නා ලද මේ ලේඛන ක්‍රමය අනුරාධපුර යුගයේ අවසාන කාලය වන විට වඩාත් විකාශනය වී කෙටි නිවේදන යනාදිය සටහන් වූ පූවරු ලිපිද නිර්මාණය විය. සිව්වැනි මිහිඳු රජුගේ මිහින්තලා පූවරු ලිපි ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙරට ඉපැරණි ඉතිහාසය පුරා නිර්මාණය වී ඇති එවැනි විශාල සෙල්ලිපි රැසක් පිළිබඳ සාක්ෂ්‍ය පසුකාලීනව හමු වී ඇතැයි කියැවේ. පොළොන්නරුවේ ගල් විහාරයේ පර්වත බිත්තියක කොටවා ඇති කතිකාවතද විශාල සෙල්ලිපියකි. නිශ්ශංක මල්ල රජුගේ හල්පොත ශිලා ලිපියද එවැනිම විශාල සෙල් පූවරුවකි. මෙවැනි සෙල්ලිපි නිර්මාණයට අමතර වශයෙන් පසු කාලීනව ක්‍රමයෙන් පුස්කොළ පොත් යොදාගනිමින් යම් යම් සටහන් තැබීමේ සම්ප්‍රදායක් ලංකාවේ ආරම්භ වී ඇත. ශාක යුෂ තීන්ත ලෙස යොදාගනිමින් පන්හිඳ උපයෝගී කරගනිමින් පුස්කොළවල අක්ෂර ලිවීමේ ශිල්ප ක්‍රමය ලක්දිව ලේඛකයෝ ඉගෙන ගත්හ.

කාර්මික විප්ලවය සහ නව තාක්ෂණ විප්ලවයේ මුල් අදියර සනිටුහන් කරමින් මුද්‍රණ යන්ත්‍රය නිපදවාගැනීමත් සමඟ කඩදාසියේ පොත් මුද්‍රණය ආරම්භ වන තුරුම මෙරට ලේඛනයට ප්‍රචලිත මාධ්‍යය වූයේ පුස්කොළයයි. එසේ බිහි වූ පුස්කොළ පොත් අතර ඇති සාහිත්‍ය ග්‍රන්ථ ඉතා අල්ප වන්නේ ලේඛකයන් සාහිත්‍ය කෘති රචනයට උනන්දු නොවූ නිසා පමණක් නොවේ. ඒ ඈත ඉතිහාසයේ පවා මෙරට සාහිත්‍ය කෘති රචනයට යොමු වූ ගිහි පැවිදි ලේඛක පරපුරක් සිටියහ. ඔව්හු විවිධ සාහිත්‍ය ශෛලීන් ඔස්සේ ගද්‍ය පද්‍ය රචනා නිර්මාණය කළහ. එහෙත් ඒ අතරින් ඇතැම් කෘති පසුකාලීන පරසතුරු ආක්‍රමණවලදී විනාශ විය. ඇතැම් කෘති ගිනිබත් කර විනාශ කර දමනු ලැබිණි. එසේ අකාලයේ විනාශ වී ගියේ මෙරට විසූ ජනතාව නියෝජනය කළ ලේඛක පිරිස් විසින් ග්‍රන්ථගත කරන ලද ඥාන හා නිර්මාණ සම්පත් සම්භාරයයි.

මුල් කාලීන බෞද්ධ ධර්ම දේශකයින් දඹදිව සිට ලංකාවට පැමිණ තෙවළා දහම ලේඛනාරූඪ කළ බව සඳහන්ය. ඔවුන් මුඛ පම්පරාගතව ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යෑමට කටයුතු කළ බවක්ද කියැවෙයි. එයින් පසුව ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරා රැසකටම දේශනා කරන ලද තෙවළාව (පෙළ) හා අටුවා පසුකාලීනව ලියා තැබූ බව සඳහන් වෙයි. පාළියෙන් හෙවත් මගද බසින් දේශනා කරන ලද මුල් දහම හෙළ බසට නගමින් මෙරට ලිවීමේ කලාව වර්ධනය වූයේ මිහිඳු හිමියන් ඇතුළු ධර්මදූත භික්ෂුන් මෙහි පැමිණීමෙන්ද, දෙවනපෑතිස් රජ සමයෙහි හෙළ දිව් වැසියන් බුදුසමය පිළිගැනීමෙන්ද පසුය.

මුල් කාලීනව බුදුදහම පදනම් කරගනිමින් වර්ධනය වූ චින්තන රටාවන් ඔස්සේ යතිවරුන් විසින් රචනා කරන ලද ආගමික සාහිත්‍යය මූලික වශයෙන්ම පාඨකයාගේ හෝ ශ්‍රාවකයාගේ මනෝ විශුද්ධිය අරමුණු කරගත් බවක් දැකගත හැකිය. ආගමික ශ්‍රද්ධා භක්තිය සහ බැති සිත් වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව රචනා කරන ලද ඒ සාහිත්‍යය බොහෝ විට විශ්වාස කළ නොහැකි තරම් දුරස්ථභාවයක් සහිත ඇදැහිලි, විශ්වාස සහ අතිශයෝක්තීන් බහුල මිථ්‍යාවන්ගෙන් පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි තරම් විස්මයජනක බොහෝ කරුණු ඇතුළත් ඒ සාහිත්‍යය ප්‍රශ්න කිරීමට වුවමනාවක් හෝ ඉඩ අවසරයක් ජනතාවට තිබුණේද නැත. එබැවින් ඒ සාහිත්‍යය හිස්මුදුනින් පිළිගැනීම හැර කළ හැකි අන් යමක් එවක සිටි බැතිමත් පාඨක රසික ප්‍රජාවට නොතිබිණි. ඒ වන විට සාහිත්‍යය යන වචනය පවා බුදුවදන ලෙස ගැනුණු බව කියැවෙයි.

‘සහිත’ සහ සාහිත්‍යය යන වචන දෙකම සමාන අර්ථ දනවයි. සහිත යන්නෙන් සම්පූර්ණ බුද්ධ වචනය යන්න අදහස් වන බවක් ධම්මපදයෙහි එන ‘බහු ධම්ම චෙ සහිතං භාසමානො’ යන්නෙන් දැක්වෙයි. නියම ලෙස සකස් වුණු හැම කලාවකින්ම අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන සිවුවග සැප ලබාදෙන බව විශ්වාස කරන ලදී. සාහිත්‍යයේ එදා පරමාර්ථය වූයේ එයමය. මේ අනුව එවකට පැවැති චිරන්තන සාහිත්‍යය කිසියම් ඒකායන පමාරථයක් ඉටු කරගැනීම පිණිස රචනා වූ බවක් දැකිය හැකිය.

පැරණි සිංහල සාහිත්‍යය බුදුදහම සමඟම ඇති වී, ඒ සමඟම වැඩී ආ සාහිත්‍යයකි. මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජ සමයේදී ඒ උතුම් සද්ධර්මය මෙරටට හඳුන්වා දුන්නේ එවකට මෙරට භාවිතයේ පැවැති භාෂාවෙනි. ඒ අවස්ථාව මහාවංශයේ සටහන්ව ඇත්තේ “ධම්මං භාසිත්වා දීප භාසාය එවං...” යනුවෙනි. ත්‍රිපිටකයේ අඩංගු බුද්ධ ධර්මයත්, දීප භාෂාව හෙවත් ඒ වන විට මේ ද්වීපයේ භාවිතයේ පැවැති සිංහල භාෂාවෙන් දේශනා කොට ඒ ධර්මය සිංහල බසින්ම ග්‍රන්ථගත කිරීම අපහසු කටයුත්තක් නොවීය. එයට හේතුව එවක පැවැති හෙළ බස, තත්කාලීන ඉන්දියානු භාෂාවන්ගේ පසුබිමට සමාන පසුබිමක් ඇති ප්‍රාකෘත භාෂාවක් වීමය. මිහිඳු හිමියන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයට පසු කලෙක සිංහල හෙවත් දීප භාෂාවෙන්ම අර්ථකථා පෙළක්ද ලියැවී ඇත. එය හෙළටුවා ලෙස හඳුන්වනු ලැබීය. අටුවා යන වචනය දහවන සියවසේ සිටම පොතපතේ සඳහන්ව ඇත. පාලි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ අට්ටධකථා යනුවෙන් වන අතර, සකු බසින් එය හැඳින්වෙන්නේ අර්ථකථා යනුවෙනි.

මහින්දාගමනයෙන් පසුව ක්‍රමයෙන් ඇරඹී, පසු කලෙක විවිධ අතට අතුපතර විහිදා වැඩී වර්ධනය වූ විසල් සිංහල සාහිත්‍යයට පසුකාලීනව විවිධ විශ්ව සාහිත්‍ය ප්‍රවණතාවන්ද මුසු විය. නව සාහිත්‍ය රීතීන් සහ ශෛලීන් ඔස්සේ තව තවත් පුළුල් වන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මේ වන විට විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් වඩාත් පොහොසත්ව ඇති බවක්ද දැකගත හැකිය. එහෙත් මේ සියල්ල පසුපස අදටත් එදා මහින්දාගමනයෙන් මෙරට සාහිත්‍ය කලාවන් වෙත පිරිනමන ලද බුදුදහමෙහි පෝෂණය සහ ශික්ෂණය ගැබ්ව ඇති බව අමතක කළ නොහැකිය.

මාතෘකා