මම සාහිත්‍යයට ආදරය කරන මිනිසෙක්

 ඡායාරූපය:

මම සාහිත්‍යයට ආදරය කරන මිනිසෙක්

ඊජිප්තු නවකතාකරු

නගීබ් මාෆූස්
(Naguib Mahfous)

මං කැමති විධියට මගේ දවස ගෙවෙන්නෙ නෑ

අද මම කාලසටහනකට වැඩ කරන තත්ත්වයකට පත් වෙලා ඉන්නෙ. මම උදේ අටේ ඉඳලා සවස දෙක වෙනකන් රාජකාරි වැඩ කරනවා. හවස හතරේ ඉඳලා හැන්දෑවේ හත වෙනකන් මම ලියනවා. හතේ ඉඳලා රෑ දහය වෙනකන් කියවනවා. සිකුරාදා හැරුණාම අනෙක් හැම දවසකම මගේ කාලසටහන ඒ විධියයි. ඇත්තටම මම කැමති විධියට දවස ගෙවන්න මට කවදාවත් ලැබිලා නැහැ.

මම ලියන්නෙ මගේ සිතට කාවැදුණු දේ

ඔබ ඔබේ මිතුරන් එක්ක කාලය ගෙවද්දී කථා කරන්නෙ මොනවාද? ඒ තමයි එදා දවසේ හෝ ඒ සතියේ.... සිතට කාවැදුණු දේ. මම කතා ලියන්නෙත් ඒ විධියට. ගෙදර දොරේ, වැඩපොළේ, පාසලේ, පාරතොටේ සිද්ධ වෙන දේවල් තමයි කතාවකට පදනම් වෙන්නෙ. මේ සමහර අත්දැකීම් සිතට කොච්චර කාවදිනවාද කියනවා නම්, ඒවා අවන්හලේ මිතුරන් එක්ක කථා කරන්න හිතෙන්නෙ නෑ. ඒ වෙනුවට මං කරන්නෙ ඒවා නවකතාවකට හරවන එක.

ළඟදී මෙහි අපරාධකාරයෙක් පුද්ගලයන් තුන් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය උදාහරණයකට ගනිමු. ඒ සිද්ධිය පදනමේ තියාගෙන කතාවක් ලියන්නෙ කොහොමද කියලා මම විවිධාකාරයෙන් සිතනවා. උදාහරණයකට කතාව මැරුම් කෑ ස්වාමි පුරුෂයාගේ දෘෂ්ටිකෝණයෙන් ලියනවාද, බිරිඳගේ දෘෂ්ටිකෝණයෙන් ලියනවාද, මෙහෙකරුවාගේදෘෂ්ටිකෝණයෙන් ලියනවාද, එසේ නැත්නම් අපරාධකාරයාගේ දෘෂ්ටිකෝණයෙන් ලියනවාද කියල සිතා බලලා මං කතාව කියන්න එක විධියක් තෝරාගන්නවා. සමහර විට එහිදී මගේ අනුකම්පාව අපරාධකාරයා වෙත හිමි වෙන්න පුළුවන්. කතාවක් තවත් කතාවකින් වෙනස් වෙන්නෙ මේ විධියට එය ලියන්න තෝරන විධි අනුවයි.

මම පර්යේෂණයක් නොකරන්නෙ කෙටිකතාවලට විතරයි

මගේ කෙටිකතා කෙළින්ම හදවතින් පැන නඟින ඒවා. හැබැයි අනෙක් කතාවලදී මම මුලින් පර්යේෂණයක් කරනවා. උදාහරණයකට The Cairo Trilogy (‘කයිරෝ තුන් ඈඳුතුව’) අරඹන්න කලින් මම පුළුල් පර්යේෂණයක් කළා. හැම චරිතයකටම මම ලිපිගොනුව බැගින් විවෘත කළා. එහෙම නොකළා නම් මං කතාවේ මංමුළා වෙලා කතාවේ මොනවා හරි මගෙන් ගිලිහෙන්න ඉඩ තිබුණා. කතාවක තේමාව ඇතැම් විට කතාවේ සිද්ධීන් තුළින්ම ඉබේ මතු වෙනවා. සමහර විට ලියන්න කලින්ම තේමාවක් ඔළුවේ තියෙනවා. තමන් අබියසට එන භයානක විපත් අභිභවනය කිරීමේ මිනිසා සතු ශක්තිය මට කතාවකින් පෙන්වන්න වුවමනා වුණා කියලා සිතමු. එතකොට ඒ අදහස මුදුන්පමුණුවන්න පුළුවන් වීරයෙක් මම නිර්මාණය කරනවා. ඒත් චරිතයේ හැසිරීම දිගින් දිගටම විස්තර කරමින් තේමාව ඒ ඔස්සේ මතු වෙන්න ඉඩ දෙමිනුත් මම කතා ලියනවා.

මම කැපීම්, කෙටීම් හුඟක් කරනවා

කතාවක් ලියද්දි මම හැම නිතරම එය හදනවා. කැපීම්, කෙටීම් හුඟක් කරනවා. පිටු පුරාම ලියනවා. පිටුවේ ඇතුල් පැත්තේ පවා සංශෝධන එකතු කරනවා. ඒ සංශෝධන පොඩි ඒවා නෙවෙයි, බරපතල ඒවා. සංශෝධන අවසානයේ මම නැවත මුල පටන් කතාව ලියලා ප්‍රකාශකයාට යවනවා. ඊට පස්සෙ කලින් ලියූ සටහන් සියල්ල ඉරා විසි කරලා දානවා.

මා ගත් අමාරුම තීරණය ජීවිතය ලිවීමට කැප කිරීමයි

මෙතෙක් මා ගත් අමාරුම තීරණය මගේ ජීවිතය ලිවීම වෙනුවෙන් කැප කරන්න මං ගත්තු තීරණයයි. ඒ ඔස්සේ මම මටත්, මගේ පවුලටත් යැපීම සඳහා අවම පහසුකම් පිළිගත්තා. ඒ තීරණය විශේෂයෙන් අමාරු වුණේ ජීවිතය සඳහා අවශ්‍ය මුදල් බලාපොරොත්තුව මගේ ඉස්සරහ දෙපැත්තට දෝලනය වෙන්න පටන්ගත් නිසයි..... 1947 විතර වෙද්දි මට තිරකතා රචකයෙකු ලෙස ක්ෂේත්‍රයේ හොඳම පිරිස එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව මම සාලා අබු සයිෆ් (ඊජිප්තු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්) සමඟ වැඩ කරන්නත් පටන්ගත්තා. ඒත් පස්සෙ ඒක මම අතහැරලා දැම්මා.

මගේ කතාවල වීරයො නෑ

මගේ කතා බොහොමයක වීරයො නෑ - ඉන්නෙ චරිත විතරයි. හේතුව මම අපේ සමාජය දිහා බලන්නෙ විවේචනාත්මක දෘෂ්ටියකින් සහ එහෙම බලද්දි මට සමාජයේ කාගෙන්වත් අසාමාන්‍ය සුවිශේෂභාවයක් (වීරත්වයක්) නොපෙනීමයි. මට කලින් පරම්පරාව, ඒ කියන්නෙ 1919 ඔක්තෝබර් විප්ලවයෙන් පිබිදුණු පරම්පරාව සමාජයේ වීර ක්‍රියා දුටුවා - කම්කරුවෙක් තමන් ඉදිරියේ ඇති අසාමාන්‍ය බාධක ජයගන්නවා. අන්න ඒ වගේ වීරයින්.

මට සාහිත්‍යය නැති වුණොත් ජීවිතය අසරණයි

මම මාව විස්තර කරන්නෙ සාහිත්‍යයට ආදරය කරන පුද්ගලයකු විධියට. තමන් කරන දේ ගැන විශ්වාසයක් තියෙන, ඊට අවංක පුද්ගලයකු විධියට. ඒවගේම මුදලට හෝ කීර්තියට වඩා තමන්ගේ කෘතියට ආදරය කරන කෙනෙක් විධියට. මුදල් හෝ කීර්තිය ආවොත් ආපුවාවේ! ආවොත් ඒවා මම සාදරයෙන් පිළිගන්නවා. ඒත් මගේ ඉලක්කය ඒ දේවල් නෙවෙයි. ඇයි ඒ? මම ලියන දේට වෙන කිසිවකට වඩා ආදරය කරන නිසයි. ඒකෙන් ප්‍රතිලාභ නොලැබෙන්න පුළුවන්. ඒත් සාහිත්‍යය නැතුව මගේ ජීවිතය අර්ථවිරහිතයි කියල මට හිතෙනවා. මට ඉතා හොඳ මිතුරො ඉන්න පුළුවන්. සැප සංචාර ලැබෙන්න පුළුවන්. සුඛෝපභෝගී දේවල් ලැබෙන්න පුළුවන්. ඒත් සාහිත්‍යය නැති වුණොත් මගේ ජීවිතය අසරණයි.

පරිවර්තනය [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා