සාහිත්‍යය මගේ ළඟම නෑයාය

 ඡායාරූපය:

සාහිත්‍යය මගේ ළඟම නෑයාය

රත්න ශ්‍රී විජේසිංහ

ප්‍රමුඛ පෙළේ කවියකු හා ගීත රචකයකු වූ රත්න ශ්‍රී විජේසිංහගේ 65 වන ජන්ම දිනය නිමිති කරගෙන, ගාල්ල සංහිඳ පර්ෂදය සංවිධානය කළ ‘සුදු නෙළුම’ සාහිත්‍ය කලා මංගල්‍යය පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු කලබ වෙනුවෙන් ඔහුම ලියූ මේ ලිපිය, ඔහුගේ නිර්මාණ දිවියේ අක්-මුල් හෙළි කරයි.

 

සාහිත්‍යය කෙරෙහි මා ඇල්මක් ඇති කර ගත්තේ එය සාහිත්‍යය බැව් හැඳින ගෙන නොවේ. මා අස්වසන, මා හා සංවාදයේ යෙදෙන සමීප ඥාතියෙකු ලෙස සාහිත්‍යය මා අස්වැසීය. රුහුණේ ඈත දුෂ්කර, දුර්ගම ගම්මානයක හුදකලාවට කොටු වී ගෙවුණු මගේ ළමා විය පාළුවෙන්ද කාන්සියෙන්ද පිරුණකි. ඒ වන විටත් සියවසකට ආසන්න ජීවිත කාලයක් ගෙවා තිබූ අපේ මී ආත්තම්මා ඇගේ අතඟැලි මගේ හිසකෙස් අතර යවමින් නින්ද යන තුරු කියා දුන් කවි මගේ මුල් ම සාහිත්‍යයයි.

 

බුලත් නොකෑ කට මෙන්න බලන්නේ

බුලත් විටක් මට දීලා යන්නේ

කාපිරි කුමාරයාගේ කතාව කියා දෙමින්, විටෙක එහි සිද්ධි, අවස්ථා රූපණය කරමින් ඇය තාලේට ඇද පැද ගැයුවාය.

පොතපතට අපේ ගෙදර තිබුණේ, සිල්ගත් දවසක ඉඳහිට වැඩිහිටියන් කියවන පූජාවලිය සහ ජාතක පොත පමණි. ඒවායේ වූ කතා මට නො වැටහිණි. යක්කලමුල්ල ඉරිදා පොළෙන් ගෙනෙන කුඩා කවි කතා, කවි කොළ නම් අපේ ගෙදර වැරදුණේ නැත. රෑ කෑම සූදානම් වන තුරු ඉස්තෝප්පුවේ වැල් ඇඳ උඩට වන මාමා ඒවා ඔහුගේම තාලවලින් ගායනය කළේය. මදුරුවන් වළකන්නට ඇවිළුෑ ගිනි මැලය කජු ලෙලි සුවඳ විහිදුවමින් ඇවිළිණි. දෙණියේ ඉඳහිට හිවල් හඬ නැගිණි. බකමූණෝ ‘හ්ම්’ කීහ. මේ ගුප්ත පරිසරයේ මාමාගේ කවි හඬට කදිම තාලයක් ලැබිණ.

 

“කන්න පුතේ වැල වරකා නොකැර පෙරැත්තා

මේ යන්නෙ පුතේ රෑ වෙන කොට දකින්න මුත්තා

නුඹට පුතේ බතුත් දේවි එහේ ආත්තා

බැස පන්න පුතේ පයින් යමන් රිදෙයි ළපැත්තා”

වෙස්සන්තර රජ්ජුරුවෝ මද්‍රි දේවියත් දරුවනුත් කැටුව වංකගිරියට යති. ඔවුන් දෙන්නා යන්නේ දරුවන් උකුළෙහි තබා වඩා ගෙනය. එසේ වඩාගෙන යන විට ඔවුන්ගේ ළපැත්ත රිදෙයි. බැස පයින් යන ලෙස ඉල්ලා සිටින්නේ එබැවිනි.

මේ කවිය ඇසෙන විට මට මතක් වෙන්නේ සීයා අවුරුදු 10-11 වන තුරුම මා වඩාගෙන පාසලට, වෙද ගෙදරට කැඳවාගෙන ගිය අයුරුයි. ඔහුගේද ළපැත්ත රිදෙන්නට ඇත. ඒ නිසා ඒ කවිය මාගේද කවියක් වෙයි.

 

“බැද්ද හොඳයි අද අපටත් සැපයි තාත්තේ

සුදු රෙද්ද වගේ මල් පිපිලා පාර දෙපැත්තේ

මහ බැද්ද මැදින් මේ කොතැනද යන්නෙ තාත්තේ අවුරුද්ද වාගේ සන්තෝසයි ඉතින් තාත්තේ”

වන මැදින් යන ගමනේ දී ජාලිය, ක්‍රිෂ්ණජිනා කියති. මේ මා වට අවට පරිසරයම නොවේ දැයි මට සිතේ. අවුරුද්ද එදා අප වඩාත් සතුට අත් විඳි කාලයයි. ඉතින් ඒ සතුට යළිදු දැනීම අරුමයක් නොවේ.

මාතර යුගයේ අවසන් භාගයේද (1910-1930) ජීවත් වූ හිත්තැටියේ පී.ඒ.ජේ. රතනසාර නම් අපූරු

ජන කවියා ලියා තිබුණු මේ කුඩා කවි පොත් අපට මවා දුන්නේ අපූරු ලෝකයකි. ඒවා පිටු 20-25 තරම් වූ කුඩා පුස්තිකා (Booklets) ය. වෙස්සන්තර චරිතය, කාළගෝළ කතාව ආදී ජනප්‍රිය කතා පුවත් ඔහු සුගායනීය ලෙසද, රමණීය ලෙසද කවියට නගා තිබිණ. වෙසතුරු කතාව මෙන් කාළගෝළ කතාවද අපි නිතර අසා තිබුණෙමු. ගඟින් එතෙර වන්නට යන තැනදී දික්පිටියා දික්තලා රවටාගෙන චාටු බස් කියමින් යයි. වියරු වැටෙන කාළගෝළයා දික්පිටියාට බැණ වදී.

 

“කොයි වද තෝ මගෙ ළඳ ගෙනියන්නේ

මයි වග තවමත් තෝ නැත දන්නේ

ගොයි යො හිටින් නොකිවයි නොකියන්නේ

වෙයි තො ගෙ මරණය ඔය ගමනින්නේ ”

නාටකීය ලක්‍ෂණ ඉස්මතු වන පරිදි අතපයද දිගු කරමින්, ඇතැම් වචන බරකොට අවධාරණය කරමින්, වැල් ඇඳ උඩ සිට ගයන මාමා කාළගෝළ නාඩගම නුදුටු අපට ලබා දුන්නේ කදිම අවස්ථාවකි.

 

“මෙන්න ඉලන්දාරියකුගෙ හැටියා

පින්න ගොඩය වගෙ අංගුටු මිටියා

දන්නව නම් උඹෙ ලස්සන කැටියා

එන්නේ ගෑනු පසු පස්සේ වැටියා”

දික්පිටියද හාස්‍යොත්පාදක පිළිතුරකින් අභියෝග කරයි. සැබැවින්ම මේ කවි මා දැනුදු ලියන්නේ පොතක් පතක් බලාගෙන නොව, එදා අසා තබා ගත් මතකයෙනි. ඉඳින් සාභිත්‍යය දුප්පත් ළමා අපේ ජීවිත කොතරම් පොහොසත් කොට තිබේද?

පහළ බාලාංශයේදී කියවූ ‘විජය හෝඩියේ’ අග පිටුවේ තිබුණු,

 

“සිනා සිරිත් දිලේ

උදේම මල් පිපී

මමත් වහා ඇඳෙන්

නැගී මැලී නොවී

කටත් මුවත් දොවා

වඳිමි - දෙමාපියන් ”

යන ළමා කවිය පවා අපට අමතක නොවී තිබුණු වග දැනුණේ ඉන් වසර 25-30 කට පසුව මහගම සේකර කවියාගේ “මක්නිසාද යත්” කියවන විටය.

 

“බිඳෙන් බිඳේ ජලේ

පයිප්පයෙන් වැටේ

බෙලෙක්ක ටින් රැගත්

ළමෝ වටා සිටිත්”

පාසලේ පස්වන ශ්‍රේණිය දක්වාම අප පරිහරණය කළ පාඩම් පොත් සැරසී තිබුණේද අපූරු කවි කතන්දරවලිනි. ශික්ෂා මාර්ගය, කුමාරොදය හා පද්‍ය රසය ඒ පොත්ය. අප කුඩා කල ගෙදර සිටි බල්ලා වැළ-වරකා බුදින්නට රුසියෙකි. ඌ ‘පබිලා’ නමින් නම් කරන්නට යෙදුණේ පද්‍ය රසය පොතේ තිබුණු ‘වැළ කෑ පබිලා’ නිසාය. ඒ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්ගේ කුඩා කවි පෙළකි. එහි වූයේ පන්සලේ හිටි ‘පබිලා’ නම් ඇබිත්තයාට වැළ කෑම නිසා හටගත් උදරාබාධයක් ගැනය.

 

“තොසින් වසන හේනේ දැන් කාලේ

ඉසන් අප්පුගේ පුත් මම පබිලේ

ගසින් වැටුණ වැල කුණකට ආලේ

අසන්න මහතුනි මට වුණු අවුලේ

ලාබෙට ලැබුණට පුහුපොල් කෑවා

ඒ පිට වැළ කුණකුත් ඇද බෑවා

ඒවට බඩ පුම්බා ගෙන ආවා

කෑමට නරකයි කොයිවත් මේවා

අප පරිහරණය කළ නම් පොත සහ මඟුල් ලකුණේ පටන් ප්‍රත්‍ය ශතකය දක්වා වූ පොත් පෙළ අපේ භාෂා ඥානය, උච්චාරණ විධි වර්ධනය කළා පමණක් නොව, ශබ්ද මාධූර්යය කෙරෙහිද අප නැඹුරු කළේය.

 

‘සිඳ බිඳ මොහඳර පාප

දැල් වූ දහම් ප්‍රදීප’

යනුවෙන් ගයන අමරදේවයන්ගේ හඬ ඇසෙන විට නිතැතින් ම සිහිපත් වන සරල-සකු කවක් වෙයි.

 

‘ජය ජය ධර්ම රාජ

ජනකෘත ශර්ම පූජ

අසදෘශ බුද්ධ ලීල

අති පරිශුද්ධ ශීල’

අපට වන පොත් තිබූ බුද්ධ ගජ්ජයේ වූ එම කව සැසඳෙන්නේ හිතා මතාම නොවේ. එය ජීවිතාංගයක් වී භාවිතයේ තිබුණ බැවිනි.

සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි පුංචි අම්මා ඇගේ පෙළ පොත් බොහෝ විට හඬ නගා වනපොත් කළාය. ගුත්තිලය, සැළලිහිණිය හා නවීන පද්‍ය රචනා ආදී පොත්වල වූ කවි මා

මුල් වරට ඇසුවේ ඇගේ හඬිනි. දෙණිය පුරා නැගෙන පළගැටි හඬද රෑ ගන කළුවරද මැද, චිමිනි ලාම්පුවක් දල්වාගෙන ඇගේම තාලවලින් ගැයූ ඒ කවි කිසියම් ශෝකයක්ද සමඟ මසිත තැන්පත් විය. මට ඒවායේ අරුත් හෝ රස හෝ එකල නොවැටහුණද ඒ හඬ-තාල-වෘත්තවල මධුරතාව මා කවියට ඇද බැඳ තැබීය.

 

රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින

යන් මන් තොසින් මඟ තොරතුරු නියම දැන

යනුවෙන් ඇය ගයන විට ඒ කියන්නේ පහළ කුඹුරේ රොද-බැඳ හඬ නගන ගිරවුන් ගැන යයි මම සිතා ගතිමි.

පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු, ගමත් ගමේ පාසලත් හැර දමා නගරයට යන්නට මට සිදු විය. නන්නාඳුනන, ආගන්තුක පරිසරයක, නේවාසිකාගාරයට කොටු වී ගෙවන්නට සිදු වූ ඒ ජීවිතය මා වඩාත් අන්තරාවර්තී දරුවකු බවටද, පොතපත කෙරෙහිම නැඹුරු වූවකු බවටද පත් කළේය. නේවාසිකාගාරයට පැමිණි පසුදාම මා ඒ අප්‍රිය - අමනාප පරිසරයෙන් මුදවා යළි ගමට කැඳවාගෙන යන මෙන් ඉල්ලා මාමාට යැවූ ලියුම මා අවසන් කළේ ‘මීට ඔබේ කාලකන්නි පුතු’ යනුවෙනි. ඒ ‘පැහිච්ච වචන’ මා ඉගෙන ගෙන තිබුණේ දැනට මට අමතක වී ඇති මා කියවූ කුමක් හෝ නවකතාවකිනි.

අලුත් පාසලේ හයවන ශ්‍රේණියට, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘රෝහිණී’ නවකතාවද, හත්වැන්නට ‘මඩොල් දූව’ද නියමිතව තිබිණි. එම කෘති මගේ කියවීමේ රුචිය මතු නොව, පරිකල්පනයද රචනා ශක්තියද දියුණු කළේය. මම ඒ කුඩා පුස්තකාලයේ වූ අතට අසුවන සියලුම පොත් කියැවීමි. ඉන් වැඩි හරියක් ගුණසේන ප්‍රකාශන වූ ‘ලිහිණි පොත්’ ය. විශ්ව සාහිත්‍ය කෘතීන්ගේ සංක්‍ෂිප්ත පරිවර්තන රැසක්ම ‘ලිහිණි පොත්’ ලෙස පළ වී තිබිණි. ඒ කියැවීමෙහි ප්‍රතිඵලය වූයේ මා ලියන රචනා, සිංහල ගුරුතුමිය විසින් පන්තියේදී කියවනු ලැබීමයි, අගයනු ලැබීමයි.

කියවූවා මතු නොව ඒ වන විට මා ලිවීමද අරඹා තිබිණි. දිනපොත් ගන්නට මුදල් නොවූයෙන් කඩේ ණයට බඩු ගන්නා විට සටහන් කරන කුඩා පොත් පිංචක දවසකට කවියක් බැගින් මම ලිවීමි. එවකට ‘දවස’ නිවසින් සතිපතා නිකුත් වූ කවි පත්‍රයක් විය. ජෝන් රාජදාස කවියා සංස්කරණය කළ ගීතාංජලී නම් වූ එම පුවත්පත ශත 25කි. එහි මුල් පිටුවේ පළවන ඡායාරූපයකට සරිලන කවියක් ලියා යවන්නට කූපනයක්ද විය.

වරක් එහි පළ වූයේ කොල්ලෑවක් සහිත ඔරුවකට නැගී හබලක්ද අතින් ගෙන ඉන්නා කාන්තාවකි. චීත්තයක් සහ හැට්ටයක් ඇඳ සිටි ඇගේ ගෙලෙහි මුතුපටක්ද විය.

 

‘මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත

බොල් මුතුපට ගෙලෙහි හිල් කූඩයෙහි අත

කොල් ලෑවට නැගී පෑවත් සිනහ වත

කෙල් ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත’

ජයග්‍රාහී කවියා ලෙස තේරුණු එයට රුපියල් විසි පහක තෑග්ගක්ද ලැබිණ. චෙක්පත මාරු කර දුන් අපේ ගමේ හන්දියේ කඩේ මුදලාලි ඒ වෙනුවෙන් ශත 25ක වට්ටමක්ද ගත්තේය.

පාසලේ උදෑසන රැස්වීමේදී මා ඉදිරියට කැඳවූ විදුහල්පතිතුමා මා පාසලට හඳුන්වා දුන්නේය. “මේ හතේ පන්තියේ දරුවා වැඩිහිටියන් එක්ක තරග කරලත් දිනලා තියෙනවා” ඔහු කීය. ඉදින් එතැන් පටන් කවිය මාගේ ප්‍රධානතම භාෂා මාධ්‍යය විය. මම දිගටම ලිවීමි.

මා පොත්පත් කියවූවා පමණක් නොව කියවන පොතපතෙහි මා සිත් ගත් තැන් සටහන් කර ගැනීමේ පුරුද්දක්ද එකල පටන් විය. ගුරුළුලෝමීන් ලියූ,

සුළු කළිඟු කුමරුන් මුවට නංවන “කියග සොඳුර, මහ බඹු තෙමේහෙ සඳින් සොමි ගෙන....” ආදී වූ දිගු ගද්‍ය පාඨය මට පාඩම් වූයේ එසේ ලියා ගැනීමෙනි. ඒ ධර්මප්‍රදීපිකාව කියවීමෙන් නොවේ. හේමපාල මුනිදාසයන්ගේ කිසියම් කෘතියක එය උපුටා තිබෙනු දැකීමෙනි. සාමාන්‍ය පෙළ පන්තියේදී කියවන්නට ලැබුණ මහගමසේකර කවියාගේ ‘බෝඩිම’ කෘතියේ වූ ‘සොඳුර තෝ කවරෙහි, හිමි මම් කැත දුවක්මු’ යන පාඨ මට වැටහුණේ යට කී ඇසුර නිසාය.

වසර දෙකහමාරකට පසු ගාලු නගරයේ ප්‍රධාන පාසලකට එන්නට ලැබීම නිසා මගේ ලෝකය වඩාත් පුළුල් වීය. ජීවිතයේ පරිධිය විශාල කරගන්නට ඉඩ ලැබිණි. පාසලේ දැන්වීම් පුවරුවෙහි වූ බිත්ති පුවත්පතට නොකඩවාම මම කවි ලිවීමි. පාසලේ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාකාරකම්ද අපේ පරිකල්පනය පුළුල් කළේය. ආසන්නයේ වූ සහෝදර පිරිමි පාසලක මිතුරන් හා එක්ව අප එළි දැක්වූ පාසල් පුවත්පතක සංස්කරණයටද මම හවුල් වීමි.

 

“හිරුගේ මුහුණ අඳුරු ය දහඩියට පෙඟී

කුර ගෙවිලා දවස නැවතුණු තැන ම ලගී

වැහි පොද පතා අහසේ ඉහළට ම නැඟී

වැලපෙනු කුමට තෙපි වැහිලිහිණියනි දුගී ”

පළමුවෙන්ම, පාසල් බිත්ති පුවත්පතට ‘වැහිලිහිණි’ නමින් මා ලියු කවි පෙළක පළමු කවිය එයයි. අපේ සිංහල ගුරුතුමා වූ ඩබ්.එස්. බණ්ඩාරයෝ සිය පන්තිවලදී එය අගය කරමින් කතා කළහ.

එම කාලයේදීම මම විවිධ පුවත්පත් හා සඟරාවලටද කවි ලියන්නට පුරුදු විමි. බොහෝ ප්‍රකාශනවල ඒවා පළ විය. මහගම සේකර මහතාගේ සම්බන්ධීකරණය ඇතිව, කරුණාරත්න අමරසිංහ මහතා සැකසූ ගුවන් විදුලියේ ‘අද ලියැවෙන කවි’ වැඩසටහනින්ද මා ලියූ කවි ඉදිරිපත් කෙරිණි. ඊට පෙර මා සඳහන් කළ යුතුව තිබුණේ එකල අප ඉතා ප්‍රිය කළ හා ගරු කළ කලාකරුවකු වූ මහගම සේකරයන්ට මා ලියූ කවි යැවූ බවයි. එතුමා ඒවා කියවා අගමින්, උපදෙස් දෙමින් ලියුම් එවීය. මේ ක්‍රියාකාරකම් සියල්ල මා කියැවීමටත් ලිවීමටත් නොකඩවා ඇද බැඳ තැබූ වග කිව යුතු නොවේ. පාසල් සිසුවකුව සිටියදීම මා ලියූ පළමුවන ගුවන්විදුලි ගීතයද ගුණදාස කපුගේගේ හඬින් ගුවනින් අසන්නට තරම් මම වාසනාවන්ත වීමි.

කිවයුතුව ඇති වඩාත් වැදගත්ම කරුණක් වන්නේ සාභිත්‍ය කෙරෙහි මෙතරම් ළැදිව, ඇදී බැඳී කටයුතු කළ මා පාසලේ කිසි කලෙකත් භාෂාව හා සාභිත්‍යය විධිමත්ව නො හදාළ බවයි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළටද මා හැදැරුවේ විද්‍යා විෂයන්ය. ශිෂ්‍යත්වධාරීන් විද්‍යා විෂයන් හදාළ යුතුය යන සම්මතයෙහි පිහිටා කටයුතු කළා මිස, මගේ කුසලතා හා භව්‍යතා හැඳිනගෙන ඒවා ඉදිරියට මෙහෙයවන පවුල් පසුබිමක් මට නොවීය.

එහෙත් ඉන් අගතියක්ම වී යැයි මම නො සිතමි. විද්‍යාව, ලෝකය විශ්ලේෂණය කරන්නට හා අවබෝධ කරගන්නටත්, කලාව ලෝකය සංස්ලේෂණයට හා නිර්මාණයට යොදා ගන්නටත් භාවිත කළ හැකිය යන්න මම විශ්වාස කරමි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?