‘ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන 2018’ නිර්මාණ භාරගැනේ

 ඡායාරූපය:

‘ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන 2018’ නිර්මාණ භාරගැනේ

හොඳම නවකතාව සඳහා පිරිනැමෙන ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානයට මේ දිනවල නිර්මාණ භාර ගැනේ.

2017 වසරේ ජුනි 1 වෙනිදා සිට 2018 වසරේ මැයි 31 දක්වා වූ කාලය තුළ පළමු වරට ප්‍රකාශයට පත් වූ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලියැවුණු නවකතා මීට යොමු කළ හැකි අතර එම කෘති ජූලි 25 වෙනිදා සවස 5ට පෙර අදාළ ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය. කර්තෘ ප්‍රකාශනද මීට යොමු කළ හැකිය. අයදුම්පත් www.fnla.lk වෙබ් අඩවියට පිවිස ලබාගත යුතු අතර සම්පූර්ණ කළ අයදුම්පත් නවකතාවේ පිටපත් පහක් සමඟ ලේකම්, ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන’, ද ‍ෆෙයාර්වේ, නො. 100, බුත්ගමුව පාර, රාජගිරිය, රාජගිරිය 10107 යන ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනැවිත් හෝ බාරදිය යුතුය.

වැඩි විස්තර 077553121 හෝ 0774462285 යන දුරකථන අංකවලින් හෝ

[email protected] වෙබ් ලිපිනයෙන් ලබාගත හැකිය. ෆෙයාර් වේ නවකතා සම්මානය සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් හිමි වන අතර ඊට නිර්දේශ වන කෘති සඳහා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමේ.


කැලුම් වැලිගමගේ ‘ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද?’ නිකුත් වේ

කැලුම් වැලිගම ලියූ ‘ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද?’ කෘතිය පසුගියදා විශිෂ්ට ප්‍රකාශකයෝ මගින් එළිදැක්විණි. එම කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ආතර් කොනන් ඩොයිල් සිය ‘ෂර්ලොක් හෝම්ස්’ කතා මාලාවෙන් ඉදිරිපත් කළ රහස් පරීක්ෂක කතාවල තාක්ෂණයයි. එහි ඇතුළත් පරිච්ඡේද වන්නේ ‘කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතීමේ හැකියාව’, ‘ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව’, ‘අනෙකාට හිතෙන විදිය හිතාගැනීමේ සෙල්ලම’, ‘විස්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද’, ‘හැකියාවක් පුරුද්දක් වන තුරුම පුහුණු වීමේ වාසිය’, ‘සංකීර්ණ ප්‍රශ්න සරල කරගැනීමේ රහස’ ආදියය. මෙහි මිල රු. 450කි.


ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියට නිර්මාණ කැඳවේ

ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය මෙහෙයවන සාහිත්‍ය තරගාවලිය සඳහා දැන් නිර්මාණ බාර ගැනේ. මෙහිදී තරග තුනක් පැවැත්වෙන අතර පළමුවැන්න පළ වූ කෘති තරගයකි. ‍‍දෙවැන්න අ‍ත්පිටපත් තරගයකි. තෙවැන්න පාසල් ළමුන්ගේ නිර්මාණ තරගයකි. තරග තුනම ගම්පහ දිස්ත්‍රික් පදිංචිකරුවන්ට පමණක් වලංගුය. අත්පිටපත් තරගයට යොමු කළ යුත්තේ නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ හා ළමා කතා ආදියේ අත්පිටපත්ය. පළ වූ කෘති තරගයේදී 2016 හා 2017 යන වසර දෙකේ පළ වූ නවකතා, කෙටිකතා, කාව්‍ය හා ළමා කතා ආදිය යොමු කළ යුතුය. පාසල් තරගයට ඉදිරිපත් විය හැක්කේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට පමණි. ඔවුන් තම නිර්මාණ පංති භාර ගුරුවරයා හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ විදුහල්පති මගින් සහතික කර එවිය යුතුය. නිර්මාණ ජූලි 15 වෙනිදාට පෙර ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය, සංස්කෘතික අංශය, දිසාපති කාර්යාලය, ගම්පහ ලිපිනයට එවිය යුතුය. විමසීම් දේ. වී. ගාල්ලගේ - 0715766355

මාතෘකා