පුවත්පත් කලාවේ පෙරළි කළ ටොම් වොල්ෆ් මියයයි

 ඡායාරූපය:

පුවත්පත් කලාවේ පෙරළි කළ ටොම් වොල්ෆ් මියයයි

ඇමෙරිකානු ජන සමාජය තුළ පැවැති අපූරු උපසංස්කෘතීන් මනාව අධ්‍යයනය කරමින් මෑතකාලීන පුවත්පත් කලා ක්ෂේත්‍රය තුළ විශේෂ අනන්‍යතාවක් ගොඩනගාගත් පෙරළිකාර මාධ්‍යවේදියකු මෙන්ම නවකතාකරුවකුද වූ ටොම් වොල්ෆ් පසුගියදා මියගියා. තමන්ට ලැබෙන අතිශයින් සාමාන්‍ය, නීරස තොරතුරු පවා ඉතා රසවත් සහ ආකර්ෂණීය ශෛලියකින් ඉදිරිපත් කිරීමේ අපූරු හැකියාවක් දැක්වූ ඔහු මියයන විට 88 හැවිරිදි වියේ පසු වුණා. වාර්තාකරුවකු ලෙස 1950 ගණන්වල අග භාගයේ පුවත්පත් කලාවට පිවිසුණු ඔහු සාහිත්‍ය පොතපත ඇසුරින් ගොඩනගාගත් සුවිශේෂ ලේඛන ශෛලිය ඔස්සේ නව පුවත්පත් කලාව ලෙස හැඳින්වුණු වෙනම සම්ප්‍රදායක් පවා ආරම්භ වුණා. ඔහු ජනප්‍රිය වූයේ ඔහුගේ භාෂාත්මක ශිල්ප ක්‍රම සහ යෙදුම් නිසාම යැයි කිව හැකියි. ඔහු සිය අපූරු භාෂා වික්‍රමයන් නවකතාවටද ගෙන ආවා. සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතු ලේඛකයකු වූ ඔහු රචනා කළ බොන්ෆයර් ඔෆ් ද වැනිටීස්’ (The Bonfire of the Vanities), ‘ද රයිට් ස්ටෆ්’ (The Right Stuff ) ඇතුළු කෘති ඉතා ජනප්‍රිය වූ අතර, ඒ අතරින් කිහිපයක් සිනමාවටද නැගුණා.

 

මුල්ම ජේම්ස් බොන්ඩ් නවකතාවේ පූර්විකා කෘතියක් එයි

ලොව පුරා විශාල පාඨක පිරිසක් අතර අතිශයින් ජනප්‍රිය වූ ජේම්ස් බොන්ඩ් නවකතා මාලාවේ ප්‍රථම කෘතිය වන ‘කැසිනෝ රෝයේල්’ (Casino Royale) කතා පුවතට පෙර පැවැති පසුබිම පාදක කරගනිමින් රචනා කරන ලද පූර්විකා කෘතියක් මැයි 31 වැනිදා පළ වුණා. බොන්ඞ් කතා මාලාවේ කතුවරයා වූ ඉයන් ෆ්ලෙමිං විසින් රචනා කරන ලද මුල් කෘතිය 1953 වසරේදී ප්‍රකාශයට පත් වීමෙන් වසර ගණනාවකට පසු ‘ෆෝඑවර් ඇන්ඞ් එ ඩේ’ (Forever and a Day) නමින් පළ වූ මේ අලුත්ම බොන්ඩ් නවකතාව රචනා කර ඇත්තේ මෑත කාලයේ ජේම්ස් බොන්ඩ් රචකයා ලෙස පිළිගැනීමට පාත්‍රවූ ඇන්තනි හොරොවිට්ස් නමැති ප්‍රකට ලේඛකයායි. මෙයට පෙර 2015 වසරේදී ‘ට්‍රිගර් මෝර්ටිස්’ (Trigger Mortis) නමින් බොන්ඩ් කෘතියක් රචනා කළ ඔහුගේ දෙවැනි බොන්ඩ් නවකතාව මෙයයි.

 

පිලිප් රොත් දිවිමඟට සමුදෙයි

විසිවෙනි සියවසේ ජීවත් වූ විශිෂ්ටතම ඇමෙරිකානු නවකතාකරුවකු ලෙස සැලකෙන පිලිප් රොත් පසුගියදා මියගියා. දශක හයකට අධික කාලයක් පුරා ඇමෙරිකානු දේශපාලනය, යුදෙව්භාවය සහ පුරුෂ ලිංගික ආශාව වැනි විවිධ විෂය ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි කෘතීන් ගණනාවක් රචනා කළ ඔහු මියයන විට 85 හැවිරිදි වියේ පසු වුණා. ඇමෙරිකානු සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ පෙරළිකාර චරිතයක් ලෙසද සැලකෙන රොත් විවිධ සාහිත්‍ය සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා තිබෙනවා. ඔහු රචනා කළ මුල්ම කෙටිකතා සංග්‍රහය ‘ගුඩ්බායි කොලම්බස්’ (Goodbye Columbus) නමින් 1959 වසරේදී පළ වීමත් සමඟම විශාල පාඨක විචාරක පිරිසකගේ අවධානය ඔහු වෙත යොමු වුණා.

 

එලියට්ගේ ලිපියක් ප්‍රදර්ශනයට

විශ්ව සාහිත්‍යයේ ඉහළම සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ටතම ඉංග්‍රීසි කවියකු ලෙස සැලකෙන ටී. එස්. එලියට් ‘ද වේස්ට් ලෑන්ඩ්’ (The Waste Land) නමැති සිය කාව්‍ය නිර්මාණය රචනා කරමින් සිටි කාලයේදී සමකාලීන මිතුරු ලේඛකයකු වූ සිඞ්නි ස්ෂිෆ් වෙත යැවූ ලිපියක් පසුගියදා එංගලන්තයේ මාර්ගේට් ප්‍රදේශයේ පැවැත්වුණු ප්‍රදර්ශනයකට ඉදිරිපත් කර තිබුණා. ‘ද වේස්ට් ලෑන්ඩ්’ කෘතිය රචනා කරන කාලයේදී එලියට් ජීවත් වූ ප්‍රදේශය වන මාර්ගේට් ඔහුගේ මේ සුවිශේෂී නිර්මාණයට බලපෑ ආකාරය විදහා දැක්වෙන දෘශ්‍ය නිර්මාණ රැසක් මේ ප්‍රදර්ශනයට ඇතුළත් වුණා. එහිදී එලියට්ගේ මේ ලිපිය බොහෝ අයගේ විශේෂ අවධානය දිනාගත්තා. තමන් සිය නිර්මාණයේ තුන්වැනි කොටසේ දළ සැකිල්ලක් රචනා කර ඇති බවත්, එය සාර්ථකදැයි සිතාගත නොහැකි බවත් ඔහු ඒ ලිපියෙන් සිය මිතුරාට ලියා යවා තිබෙනවා. සිය බිරිඳ වූ විවියන් සමඟ 1921 වසරේදී මාර්ගේට් ප්‍රදේශයට පැමිණෙන විට අසනීප තත්ත්වයකට ලක්ව සිටි එලියට් මේ ලිපියේ ඒ ගැනත් සඳහන් කරමින් ලියා ඇත්තේ මාර්ගේට් ප්‍රදේශයේ සුවදායී පරිසරය සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට හෝ සමනය කරන්නට සමත් වූ බවයි.

 

‘ඈන් ෆ්‍රෑන්ක් දිනපොතේ’ රහස් පිටු දෙකක් ප්‍රකාශයට

ලොව පුරා කතාබහට ලක් වූ ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොතේ අසභ්‍ය විහිළු සහ ලිංගික කරුණු ගැන අදහස් ඇතුළත් රහස් පිටු දෙකක් පසුගියදා ප්‍රකාශයට පත් වුණා. සිය දිනපොතේ අතිශයින් පෞද්ගලික කරුණු ඇතුළත් ඒ පිටු දෙක පවුලේ සෙසු සාමාජිකයින්ට හසු නොවන පරිදි සඟවා තැබීමට ඈන් ෆ්‍රෑන්ක් කටයුතු කර ඇත්තේ කුඩා දැරියක ලෙස ඇයට තරම් නොවන යම් යම් කරුණු පවා ඒවායේ සටහන් කර තිබුණු නිසා යැයි හෙළි වී තිබෙනවා. ඇය විසින් බ්‍රවුන් පේපර් කඩදාසිවලින් ඔතා, ගම්වලින් අලවා, සඟවා තබා ඇති මේ රහස් පිටු දෙක මෑතකදී හමු වූ විට දියුණු රූප තාක්ෂණ ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් ඒවායේ සටහන්ව ඇති කරුණු කියවීමට පර්යේෂකයින් පිරිසක් සමත් වුණා. එහිදී අනාවරණය වී ඇති පරිදි ඇය මේ සටහන් තබා ඇත්තේ 1932 වසරේ සැප්තැම්බර් 28 වැනිදායි. ඒ වන විට 13 හැවිරිදි වියේ පසු වූ ඈන් ෆ්‍රෑන්ක් දැරිය රහසිගතව සැඟවී ජීවත් වීමට පටන් ගෙන වැඩි කලක් ගත වී නැහැ.

 

2018 මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය පෝලන්ත ලේඛිකාවකට

ලොව පුරා විවිධ රටවල වෙනත් භාෂාවලින් පළ වන ප්‍රබන්ධවල ඉංග්‍රීසි පරිවර්තන අතරින් විශිෂ්ටතම කෘතිය සඳහා වාර්ෂිකව පිරිනැමෙන මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය මේ වසරේ හිමි වී ඇත්තේ ඔල්ගා ටෝකාර්ක්සුක් නමැති පෝලන්ත ලේඛිකාවටයි. ඇය රචනා කළ අලුත්ම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වූ ‘ෆ්ලයිට්ස්’ (Flights) නමැති කෘතිය වෙනුවෙන් පිරිනමනු ලැබ ඇති මේ ත්‍යාගයට අදාළ ස්ටර්ලින් පවුම් 50,000ක ත්‍යාග මුදල ඇය සහ කෘතියේ පරිවර්තිකාව වන ජෙනිෆර් ක්‍රොෆ්ට් අතර සමසේ බෙදී යනවා. පෝලන්තයේ ඉතා ජනප්‍රිය ලේඛිකාවක වන ටෝකාර්ක්සුක් මෙයට පෙර පෝලන්තයේ ජාතික සාහිත්‍ය සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා තිබෙනවා. මේ ත්‍යාගය පෝලන්ත ලේඛිකාවකට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?