එම්.එන්. ශ්‍රීනිවාස්ගේ ‘මට මතක ගම’ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්

 ඡායාරූපය:

එම්.එන්. ශ්‍රීනිවාස්ගේ ‘මට මතක ගම’ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්

ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර

මගේ හද සසල කළ කෘතිය එම්.එන්. ශ්‍රීනිවාස්ගේ ‘මට මතක ගම’ (The Remembered Village) නම් පර්යේෂණ ග්‍රන්ථයයි. ඉන්දියාවේ ඉපදුණු, ඉන්දියාවේ ජීවත් වෙමින්, ඉන්දියාව තම පර්යේෂණාගාරය බවට පත් කරගත් මහාචාර්ය එම්.එන්. ශ්‍රීනිවාස් දකුණු ආසියාතික සමාජ විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නියෙමුවෙක් සහ විද්වතෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ඔහුගේ ‘මට මතක ගම’ ඉංග්‍රීසි කෘතිය මා කියවූයේ ඉන්දියාවේ හින්දු විද්‍යාලයේ පශ්චාත් උපාධියට ඉගෙන ගන්නා කාලයේ. ඒ වර්ෂ 1993-1997 කාලයේ. ඒ සමය මට අමතක නොවන්නේ ඒ කාලයේ මා ලබාගත් දැනුම හා අත්දැකීම් සමුදාය නිසා වෙන්න ඇති.

මෙම කෘතිය මේ වන විට ලේඛිකාවක අතින් සිංහලයටත් පරිවර්තනය වෙලා තියෙනවා. කෘතියේ අන්තර්ගතය හරහා සමාජ මානව විද්‍යාවේ හා සමාජ විද්‍යවේ නව මුහුණුවරත්, පර්යේෂණ විධික්‍රමත් ඉස්මතු වෙලා පෙනෙනවා.

ලංකාවට සමාජ විද්‍යාව අලුත්ම විෂයක්. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළිනුයි විශ්වවිද්‍යාල විෂය ධාරාවට ඇතුළත් වුණේ. සමාජ විද්‍යාව හදාරන්නෙකුට නම් මේ කෘතිය දැනුම් ආකරයක්. ඒ විතරක් නෙමෙයි, ඒ හරහා ලබාදෙන ආදර්ශය එහි ඇති දැනුම පසුකරනවා.

මේ කෘතිය ආරම්භයේ ශ්‍රී නිවාස්ගේ කෙටි සටහන මෙන්න මෙහෙමයි:

“වර්ෂ 1970 අප්‍රෙල් මස 24 වන දින ස්ටැන්ෆෝඩ්හි පිහිටි චර්යා විද්‍යාවන් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ හටගත් ගින්නෙන් මගේ සකස් කරන ලද සියලු සටහන් පොත් ගිනිබත් නොවන්නට, මුළුමනින්ම මාගේ ක්ෂේත්‍ර අත්දැකීම් පිළිබඳ මතකය පදනම් කරගෙන පොත ලිවීමට මා කල්පනා නොකරන්නට ඉඩ තිබිණ. ඒ බැවින් මේ පොතේ උප්පත්තියේලා ගිනි තබන්නන් විසින් රඟදැක්වූ භූමිකාව පිළිබඳව මාගේ කෘතඥතාව පළ කරනු කැමැත්තෙමි.”

ඉන්දියාවේ කර්ණාටක දිස්ත්‍රික්කයේ මයිසෝරයේ රාම්පුරය නම් ගම පිළිබඳවයි ඔහු පර්යේෂණ කරන්නේ. ඒ, වසර 18ක් තරම් දිගු කාලයක්. රාම්පුරය අතීත වටිනාකම් රාශියක් පිරි නගරයක්. කුල රාශියක ජනතාව එකට ජීවත් වන ප්‍රදේශයක්. අපේ දෛවය අපි හිතනවාට වඩා සැලසුම් සහගත පුද්ගලයන් කරන බවට රාම්පුරය හා සම්බන්ධ ශ්‍රීනිවාස්ගේ කතාව උදාහරණයක්.

ඒ මොකද තමන්ගේ වසර 18ක ක්ෂේත්‍ර සටහන් පිටපත් සියල්ල ඔහු තම අධ්‍යයනය සිදු කළ ස්ථානයේදී ගිනි ගන්නවා. ඔහුගේ කාමරය මුළුමනින්ම දැවී යනවා. ඔහුට දැනෙන්නේ තමාගේ වසර 18ක වෑයම ගඟේ ගහගෙන ගියා වගේ හැගීමක්. නමුත් වාසනාවට දිල්ලියේත් ඔහු එක් පිටපතක් තබා තිබුණා. කොහොම වුණත් අවසානයේ ඔහු ඒ ගින්නෙන් ලද ආශීර්වාදය ගැන ඔහුගේ කෘතිය ආරම්භයේ ඉහත දැක්වූ ලෙස කථා කරනවා.

මේ කෘතිය හරහා ඉදිරිපත් වන විවිධ ජන වර්ග, විවිධ ආගම් පසුබිම් හා ඒවායේ විවිධාකාර වූ රටා ලෝකය වැළඳගන්නා අකාරය මෙන්ම අනෙක් අයට දැනෙන ආකාරය ඉතාමත් ප්‍රබලයි. බහුආගමික රටක් වන ඉන්දියාවේ ඔවුන් සියල්ලන් සාමකාමීව සහ යෝගීතාවයෙන් ජීවත් ‍වෙන්න කටයුතු කරන ආකාරය මේ කෘතිය හරහා ඉස්මතු කරනවා. ඒවගේම ඉන්දියානු සමාජ‍යේ ඒ පැවැත්ම ලාංකීය සමාජයේ ඇති වී තිබෙන අර්බුදවලටත් කිසියම් උපදේශයක් ලබාදෙනවා. මෙය පර්යේෂණ ග්‍රන්ථයක් නිසා මෙහි සාහිත්‍ය ගුණය ඉක්මවා ගිය වාර්තාකථන ස්වරුපයකුයි දක්නට ලැබෙන්නේ. ඒත් ලේඛකයාගේ ඇති නිර්මාණශීලීත්වය නිසා කෘතිය වඩා හරවත් මෙන්ම රසවත් වෙනවා.

පුද්ගලයෙක් සමාජමය වශයෙන් ගොඩනගාගන්නා ස්ථාවරත්වයට ආගම, ජාතිය, කුලය බලපාන බව මේ කෘතිය හරහා තරමක් දුරට සනාථ වෙනවා. එසේ වන්නේ කතුවරයා වසර 18ක් තිස්සේ ලබාගත් අත්දැකීම් මෙහි සුසංයෝජනය කරන නිසයි. මෙය පාඨක මනස සාමාන්‍ය සමාජයෙන් ප්‍රඥාවන්ත සමාජයක් වෙත ගෙන යන කෘතියක්. ඒ නිසා ‘මට මතක ගම’ මගේ ජීවිතයේද සන්ධිස්ථානයක්.

මාතෘකා