මම ලේඛිකාවක් බව දැනුණේ ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණාමයි

 ඡායාරූපය:

මම ලේඛිකාවක් බව දැනුණේ ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණාමයි

ශමෙල් ජයකොඩි

මෑත කාලයේදී සිංහල පාඨක ප්‍රජාව තුළ ඉහළ අවධානයට ලක් වූ නවකතා ගණනාවක රචිකාවකි, ශමෙල් ජයකොඩි. ඈ රචනා කළ ‘ප්‍රංශ පෙම්වතා’ නවකතාව පසුගිය වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ විය. මෙයට පෙර ඇගේ ‘පාරාදීසයක දරුවෝ’, ‘රෝසමාලී’, ‘පියාපත් ලත් දෝණිය’ සහ ‘ගැහැනු ළමයාගේ මරණය’ යන නවකතාද බොහෝ සම්මාන උළෙලවල දෙවන වටවලට නිර්දේශ විය. දැන් ඇගේ අලුත්ම නවකතාව ‘ඇමෙරිකා’ නමින් සුරස ප්‍රකාශනයක් ලෙස පළ වී තිබේ. මේ, ඇය සමඟ අප ඊමේල් මගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි. ශමෙල් ජයකොඩි වෙසෙන්නේ කැනඩාවේය.

‘ඇමෙරිකා’ නවකතාවත් සුපුරුදු ලෙස ඔබ යථාර්ථවාදී රීතිය තුළම ගොනු කරනවා?

මේ නවකතාව මගේ කතා කලාවේ තවත් එක් දිගුවක් ලෙස හැඳින්විය හැකියි. මගේ නවකතා ඔස්සේ මම කතා කරන්නේ පවතින යථාර්ථය ගැනයි. මගේ අරමුණ සාමාන්‍ය ජීවිතයේ අප නොදකින පැති කතාවකට නැගීමයි. ඒ වගේම පවතින තත්ත්වය ප්‍රබලව කතාවකට එබ්බවීමටත් මම කැමතියි. මා ජීවත් වුණු කාල පරාසය තුළ සිදුවීම් ප්‍රබන්ධයකට හැරවීම තුළින් එහි චරිත හරහා මට මගේ කාලයේ නැවත නැවත ජීවත් වීමට ලැබෙනවා. කුමන රීතියක් අනුගමනය කළත් අපට විස්තර කරන්නට ඇත්තේ අප ජීවත් වෙන ලෝකයයි. මගේ කතා සැබෑ අත්දැකීම් අනුසාරයෙන් ලියූ ඒවා. ඒවායේ චරිත සැබැවින්ම මට හමු වූ අය. අප දකින යථාර්ථය තුළම පුදුමාකාර ලෝකයක් අත්විඳින්න මම සූදානම්. කල්පිත ලෝකයකට නොයා සැබෑ ලොව තුළම මගේ නිර්මාණය ගොඩනගන්නට මම කැමතියි.

ශෛලිය මෙන්ම එකම ආකාරයේ තේමාවන් ඔබේ නවකතා සඳහා පාදක වී ඇති බවක් පෙනෙනවා?

ඒ තත්ත්වය විශේෂයෙන්ම මගේ මුල්කාලීන නවකතා සම්බන්ධයෙන් අදාළයි කියල මම හිතනවා. ඒ මුල් කෘති කිහිපය මා අතින් ලියැවුණේ කාන්තා චරිත කේන්ද්‍ර කරගෙනයි. මම ක්ෂේත්‍රයට ආවේ අලුතින්ම නිසා එකම ආකාරයේ තේමාවන් ඔස්සේ මා අතින් ඒ කෘති ලියැවෙන්න ඇති කියලා දැන් මට හිතෙනවා. අනෙක විදෙස් රටක ජීවත් වන නිසා මගේ පොත් ගැන කතා කරන්න කෙනෙක් මට හිටියෙත් නැහැ. එතකොට මම නවකතා ලිව්වේ ආරක්ෂක සීමාවක් තුළ ඉඳගෙනයි. මම දන්න සහ මට සමීප දේ ඒ කෘති ඔස්සේ ඉදිරිපත් වුණා. ඒ වුණාට දැන් නම් ඊට වඩා වෙනස් පැතිවලට යොමු වෙන්න මම උත්සාහ ගන්නවා.

‘ඇමෙරිකා’ ඔබේ සෙසු නවකතාවලට වඩා වෙනස් වන්නේ කෙසේද?

මේ නවකතාවට පාදක වන අත්දැකීම් සහ අදාළ පරිසරය වැනි බොහෝ දේ වෙනස් කියලා මම හිතනවා. මේ නවකතාවෙන් කියැවෙන්නේ ග්‍රීන් කාඞ් අරගෙන ඇමෙරිකාවට යන ලංකාවේ පවුලක් ඒ ජීවිතයට හැඩෙගැහෙන විදිය ගැනයි. ලංකාවේ බොහෝ අය තුළ ඇමෙරිකාව ගැන තියෙන හැඟීම ගැන කිසියම් අදහසක් මා තුළ තියෙනවා. හැබැයි මේ බොහෝ අය හිතන විදියට වඩා වෙනස් පැත්තකුත් ඇමෙරිකාවේ තියෙනවා. ඒ නිසා ඇමෙරිකාව ගැන වෙනස් ආකාරයකට හිතන්න ඕන කියන කාරණය මේ නවකතාවෙන් මතු කරන්න මට වුවමනා වුණා. ලංකාවේ වැඩි දෙනෙක් අතරෙ තියෙන සාමාන්‍ය හැඟීම ඇමෙරිකාව කියන්නේ හරි කරදරකාරී රටක් කියන එකයි. ඇමෙරිකාව කියන්නෙ හැමදේටම අත දාන, ලෝකයම පාලනය කරන්න උත්සාහ ගන්න රටක් කියලයි බොහෝ අය හිතන්නෙ. ඒ වුණාට ඇමෙරිකාවට යන අයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ වෙනස්ම අත්දැකීමකටයි. ඒක වෙනම අරගලයක්.

‘ප්‍රංශ පෙම්වතා’ නවකතාවට පාදක වන්නේත් සංක්‍රමණික ජීවිතය පිළිබඳ කතාවක්?

සංක්‍රමණික චරිතයක් ගැන ලියන්න වුවමනාවක් කාලයක් තිස්සේම මා තුළ තිබුණා. එවැනි චරිතයක් පාදක කරගනිමින් මම ලියපු මුල්ම කෘතිය වුණේ ‘ප්‍රංශ පෙම්වතා’ නවකතාවයි. එහි සිදුවීම් සඳහා අදාළ පසුබිම හැටියට ප්‍රංශය තෝරගත්තේ හේතු දෙකක් මතයි. එකක් එය මම දන්න තැනක් වීම. අනිත් එක එය වෙනස් අත්දැකීමක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම. මේ නවකතාවේ සංක්‍රමණික චරිතය වන්නේ ශ්‍රී ලාංකික තරුණයෙක්. මෙයට පෙර පළ වූ මගේ අනෙක් නවකතා සඳහාත් මම වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ තරුණ චරිත. ‘ප්‍රංශ පෙම්වතා’නවකතාවෙන් කියැවෙන්නේ ශිෂ්‍ය වීසා අරගෙන පැරීසියට යන තරුණයෙක් ගැනයි. ඒ රටේදී ඔහු මුහුණ දෙන අත්දැකීම් ඔස්සේ කතාව ඉදිරිපත් වෙනවා. ඒ වගේ විදෙස් රටකදී තමන්ට වියදම් කරන්න කෙනෙක් නැතුව ජීවිතේ අතරමං වුණොත් එහෙම මේ වගේ තරුණයෙක් කොහොමද ජීවිතේ ගැට ගහගන්නෙ කියන එක බරපතළ ප්‍රශ්නයක්. ඇත්තටම බටහිර රටකදී බොහෝ අයට ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම, අපේ රටේ සංස්කෘතිය තුළ හැදී වැඩුණු තරුණයෙක් ප්‍රංශය වගේ රටකට ගියාම මොකද වෙන්නෙ කියන එකත් අවධානයට ලක් විය යුතුයි කියලා මට හිතුණා. එවැනි අදහස් ඔස්සේ තමයි මම මේ නවකතාව ලියන්න පටන් ගත්තේ. හැබැයි නවකතාව ලියන්න පටන් ගන්න අවස්ථාවේදී හිතුවාට වඩා දිග කතාවක් බවට එය පත් වුණා. එය කාත් කවුරුවත් නැතුව විදෙස් රටක අතරමං වෙන චරිතයක ගැඹුරු අරගලයක් ගැන කියැවෙන කතාවක්. ලියන්න පටන් ගත්තට පස්සේ ඒ අරගලය ගැන ඉබේම වගේ කියැවෙන්න ගත්තා.

එය ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ විට ඔබට දැනුණු හැඟීම කුමක්ද?

කිසියම් සතුටක් දැනුණා. ඒවගේම, ඒ නිර්දේශයත් එක්කම මට ලියන්න පුළුවන්ය කියන හැඟීමක් මා තුළ ඇති වුණා. මෙයට කලින් මගේ නවකතා ස්වර්ණ පුස්තක පූර්ව වටයට නිර්දේශ වූ අවස්ථාවලදිත් මට පොඩි ගැම්මක් ආවා. ලියන්න හැකි පිරිසක් අතරෙ මමත් ඉන්නවා කියලා මට හිතුණා. ඒ නිර්දේශ වීම් ගැන මට ඊට වඩා දැනිලා තිබුණෙ නැහැ. හැබැයි මට හිතුණා මේ ලිවිල්ල ගැන තවත් බරපතළ විදියට හිතන්න ඕන කියලා.

විදෙස්ගතව ජීවත් වීම තුළ ඔබට ලිවීම සඳහා කිසියම් උත්තේජනයක් ලැබෙනවාද?

නැහැ. ඒ ජීවිතය තුළ එවැනි උත්තේජන කිසිවක් මට ලැබෙන්නේ නැහැ. මම ලියන්නේ මගේ සතුට සඳහායි. මම ලංකාවෙන් යනකොට මොකක් හරි හේතුවක් නිසා මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබුණා. මම ලංකාවේ ජීවත් වූ කාලය තුළදී රජයේ සේවයේත් හිටියා. විවිධ ප්‍රදේශවල පාසල් ගියා. ඒ හැම දෙයක්ම හරහා ලැබුණු අත්දැකීම්වලට අමතරව විවිධ රටවලට ගියාම තව තව අත්දැකීම් රොත්තක් එකතු වුණා. ඒ අත්දැකීම් ඔස්සේ යම්කිසි දෙයක් ලියන්න මට ආසාවක් ඇති වුණා. අත්දැකීම් වැඩි වුණු තරමට නිර්මාණකරණය ලේසි වෙනවා කියලා මම හිතනවා. මුලින්ම මට අවශ්‍ය වුණේ පොතක් ලියලා සතුටක් ලැබීමටයි. නවකතාවක් ලියනකොට, ඒ නවකතාවේ චරිත ගොඩනැගෙනකොට මට හරි සතුටක් දැනෙනවා. ‘ප්‍රංශ පෙම්වතා’ නවකතාව ලියනකොට වුණත් ඒ චරිත ටික ගොඩනැගෙනකොට මට ඒ වගේ සතුටක් දැනුණා. ඊට පස්සේ ඒ සතුට අපෙන් ගැලවිලා යන්නෙත් නැතුව කාලාන්තරයක් තියෙනවා. ඒ සතුට තමයි මාව තව තවත් ලිවීමට පොළඹවන්නේ.

ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය ඔබට ලියන්න උත්තේජනයක්ද?

පොතක් ලියද්දි මම හැම තිස්සෙම හිතනවා පාඨකයාට සාධාරණයක් ඉටු කළ යුතුයි කියලා. පාඨකයා යම්කිසි මුදලක් දීලනෙ පොතක් ගන්නෙ. ඒ මුදලට සාධාරණයක් ඉටු කළ හැකි යම් වින්දනයක් මගේ පොතකින් ලැබෙනවාද කියන එක හැම තිස්සෙම මම කල්පනා කරනවා. ඒක එහෙම වෙන්නෙ නැත්නම් පොතක් පළ කරන්න මම කැමති නැහැ. සියයට සියයක්ම එහෙම හිතෙනවා නම් තමයි මම පොතක් පළ කරන්න භාරදෙන්නෙ. මගේ ඒ අරමුණ ඉටු වී ඇති බව පෙන්වන කිසියම් ආකාරයක සහතිකයක් විදියට ස්වර්ණ පුස්තක නිර්දේශය මම සලකනවා. මගේ පළවෙනි පොත, දෙවැනි පොත සහ ඊළඟ පොත ස්වර්ණ පුස්තක පූර්ව අවසන් වටයට නිර්දේශ වීමත් එවැනි සහතික විදියට මට දැනුණා. ඒ සමඟම ලේඛිකාවක් හැටියට මම යම්කිසි මට්ටමක ඉන්නවා කියලත් මට හිතුණා.

ඔබේ ලිවීමේ ක්‍රියාවලිය කෙබඳුද?

සාමාන්‍යයෙන් මම හුඟක් අවිඥානිකව හෝ නිරුත්සාහිකව ලියනවා කියලා මම හිතනවා. හුඟක් වෙලාවට කතාවක මුල සහ අවසානය ගැන අවබෝධයක් මට තියෙනවා. ඒ අවබෝධය ඇතිව මම කතාවට අවශ්‍ය චරිත හදාගන්නවා. මේ චරිත ටික හැදුණට පස්සේ කතාව හුඟක් වෙලාවට මම නොහිතන පැතිවලට විහිදෙනවා. එතැනින් එහාට කතාව ඒ චරිත විසින්ම ඇදගෙන යනවා. බොහෝ වෙලාවට මම ලියන්න වාඩි වුණාම චරිත හැසිරෙන්නෙ මෙන්න මෙහෙමයි කියලා මම තීරණය කරන්නෙ නැහැ. එය ඒ චරිතවලින්ම එන දෙයක්. ඇතැම් විට මම කිසියම් වෙලාවක ලියපු දෙයක් නැවත කියවද්දි මේ ටික මමද ලිව්වේ කියලා මටම හිතාගන්න බැරි අවස්ථා තියෙනවා.

සම්මාන ලේඛක ලේඛිකාවන්ට වැදගත්ද?

සම්මානයක් කියන්නෙ වැදගත් දෙයක්. සම්මානය සමඟ පොත පාඨකයා අතරට යෑමත් අවශ්‍යයි. මම මුලින්ම ලියූ ‘රෝසමාලී’ නවකතාවේ අත්පිටපත ප්‍රකාශකයා ළඟට අරගෙන යන කාලය වන විට මම සාමාන්‍ය අයෙක් පමණයි. එක් ප්‍රකාශකයෙක් ඒ අත්පිටපත නොකියවා මාස ගාණක් ළඟා තියාගත්තා. පසුව තවත් ප්‍රකාශකයෙක් අත්තිකාරම් මුදලක් ගෙන එය මුද්‍රණය කළා. ඒ පොත ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රථම වටයට නිර්දේශ වුණාට පසුව එයට ලැබුණු ප්‍රචාරය නිසා පොත අලෙවි වුණා. එයින් පසුව ප්‍රකාශන සමාගම් මගේ පොත් කෙරෙහි විශේෂත්වයක් ලබාදීම නිසා තවදුරටත් නිර්මාණකරණයේ යෙදෙන්න මා පෙළැඹුණා. පොතක් ලියන්නට හැකි නමුත් අලෙවිය සඳහා පොතකට ප්‍රචාරයක් ලබාදීම තවමත් මට ආගන්තුක දෙයක්. මගේ පොත් ස්වර්ණ පුස්තකයට නිර්දේශ වීම නිසා ඒවාට ලැබුණු ප්‍රසිද්ධිය මට වැදගත්.

ඇතැමුන් සම්මාන බලාගෙනම නවකතා ලියනවා?

සම්මානයක් හෝ වෙනත් අරමුණක් ඇතිව ලිවීම නැවැත්විය හැකි දෙයක් නොවෙයි. සම්මාන දීමේදී අවශ්‍ය වන්නේ නිර්මාණවල ගුණාත්මකභාවය සියුම්ව ඇගයීමකට ලක් කිරීමයි. සම්මානයක් සඳහා පොතක් තේරීමේදී සැබෑ ප්‍රමිතියක් ඇති කිරීමයි අවශ්‍ය. එවිට ලේඛකයා තව තවත් හොඳින් ලියන්න පෙළැඹවීමත්, පාඨකයාට වඩාත් හොඳ පොතක් කියවන්න ඉඩලැබීමත් සිදු වෙනවා. අනෙක් අතට පාඨකයා සම්මාන ලැබුණු නිසාම ලේඛකයෙකුගේ පොත් කියවන්නෙ නැහැ. පාඨකයා ලේඛකයාටත්, සම්මානයටත් වඩා ඉදිරියෙන් සිටින කෙනෙක්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?