ඔළුගෙඩි ගණන!

 ඡායාරූපය:

ඔළුගෙඩි ගණන!

චන්දන අලුත්ගේ විසින් නිෂ්පාදනය කරන ලද සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍ය දෙකක් නැරඹීමට පසුගිය සතියේ මා හට අවස්ථාව ලැබිණි. එම නාට්‍ය දෙකම ‐ -‘රත්මලී’ සහ ‘තොප්පි වෙළෙන්දා’ ‐ ළමා ප්‍රේක්ෂකයාට අතිශය උචිත, වින්දනාත්මක හා කල්පනා ලෝකය පුබුදුවන නාට්‍ය වුවත් ඊට (මීට මාස හයකට පෙර දර්ශනවලට මෙන්) විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටියේ නැත. සිටියේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවෙන් අටෙන් එකකටත් අඩු පිරිසකි. එසේ තිබියදීත් නාට්‍යයෙන් අනතුරුව නිෂ්පාදක ආචාර්ය චන්දන අලුත්ගේ ඒ ගැන කථා නොකිරීම මා තුළ සතුටක් දැනවීය. (ඔහු මා හා කථා කළේ පවත්නා ව්‍යාකූල දේශපාලන වාතාවරණය හා නාට්‍යයකට අනුග්‍රාහකයන් සොයාගැනීමට ඇති දුෂ්කරතාව පිළිබඳවය.) වාර්තා තබමින් ප්‍රේක්ෂක ඔළු ගෙඩි ගණනට නාට්‍ය හා සාහිත්‍ය කෘති බිහි කරන පරිසරයක ඔවුන් ගැන නොසිතා උසස් කලා නිර්මාණයේ යෙදෙන අය අද විරලය. ඔවුන්ගේ නිර්මාණ සඳහා අනුග්‍රාහකයන් නොමැති අතර ඔවුනට මාධ්‍ය ප්‍රචාරයද අල්පය. ඒ තුළ ප්‍රේක්ෂකයාගේ පැමිණීම තවත් අඩුය. කලාව හා ප්‍රේක්ෂකයා අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද? මෙය අප විමසිය යුතුය.

සමාජයක කලාව පවතිනුයේ තෙපිරිසක් නිසාය. ඒ, කලාකරුවන්, රසිකයන් හා විචාරකයන් නිසාය. කලාකරුවන් කරනුයේ රස නිපයීමය. රසිකයන් කරනුයේ ඒ රස වින්දනයය. විචාරකයන් කරනුයේ කලාකරුවන් හා රසිකයන් අතර ඇති දුරස්ථභාවය අඩු කර කෘතිය රසිකයාට සමීප කිරීමය. කලාවේ සුවිශේෂභාවය එය සිතාමතා බිහි කළ නොහැකි වීමයි. එහි නිරත පිරිසටද එය එසේමය. කලාකරුවන්, රසිකයන්, විචාරකයන් කෘත්‍රිමව බිහි කළ නොහැකිය. කලාව පවතින යමක් නම් එහි නිරත අයද පවතින අයය. ඒ එසේ අවබෝධ කරගතහොත් කලාව ආශ්‍රිත බොහෝ ගැටලු විසඳේ. එනම් කලාව ඉගෙනගෙන, පූර්වාපර සන්ධි ගළපා නිපදවිය නොහැකි බවද, කලාවෙන් රසිකයා හෝ පාඨකයා සමාජ මෙහෙයුමකට

‐ විප්ලවයකට ‐ ගෙන යා නොහැකි බවද අවබෝධ වේ. කලාව නම් කියන දෙයක් නොවේ. එය දැනෙන දෙයකි. ඒ තුළ කලා රසිකයාද දැනෙන අය මිස බුද්ධියෙන් දේවල් අවබෝධ කරගන්නා අය නොවේ. මට හැඟෙන ලෙස ඔළුගෙඩි ගණනට කලා නිර්මාණ කරන්නන් කරන්නේ නොදැනෙන පිරිසකට කලාව ඉදිරිපත් කිරීමය.

කලාකරුවෝද, රසිකයෝද කිසියම් දුරකට අලස පිරිසකි. ඔවුන් අලස බවින් බැහැර වන්නේ කලා නිර්මාණයේදී පමණි. බාහිර සමාජ දේශපාලනයේ වලංගු කිසිවක් ඔවුනට අලස බව දුරලීමට කාරණ නොවේ. මේ දිනවල පවතින දේශපාලන වියවුල කිසියම් බරපතල තැනකට පැමිණ තිබේ. එහෙත් එය නිර්මාණයකට කෙතරම් වටනේද යන්න ගැටලුසහගතය. ඇතැම්හු ඒ පාදක කර කලා නිර්මාණ කරන්නැයි හඬ නඟති. ඇතැම් විට ඉදිරියේදී ඔළුගෙඩි ගණනට ඉන් ‘නිර්මාණ’ බිහි විය හැකිය. මට අනුව නම් සමාජ දේශපාලන වියවුලක් අභ්‍යන්තර කඩාවැටීමක් වන්නේ ජනතාවාදී කලාකරුවකුටය. සැබෑ කලාකරුවකුට දේශපාලනයට වඩා වද වීමට කාරණා ඇත. දේශපාලන වියවුලක් කලාකරුවකු අවදි කරවීමට එය ඔහුගේ අභ්‍යන්තරය සසල කරන තරමට මෝරා වැඩිය යුතුය. එවිට ඔහුගෙන් ලියවෙන්නේ දේශපාලන කතාන්තරයක් නොවීමටත් පුළුවන. උසස් දේශපාලන කතාන්තරය දේශපාලනයම ප්‍රස්තුත කරගත්තක් නොව දේශපාලනය පාර්ශ්වික වශයෙන් ස්පර්ෂ කරමින් ලියැවුණු කතාවක් නිසාය. වික්ටර් මාරි හියුගෝගේ ‘ලේ මිසරාබ්ල’ (‘මනුතාපය’) ප්‍රබල දේශපාලන නවකතාවක් වුව එහි මුඛ්‍ය කතාව අනෙකකි.

සැබැවින්ම උසස් කලාකරුවා ස්පර්ෂ කරන්නේ හීන රසිකයකු අල්ලන දේශපාලන කතාව නොවේ. සාමාන්‍ය පුද්ගලයකුට සමාජ දේශපාලනයේ දැනෙන දේ ඔහුට දැනෙන්නේ නැත. ඔහු ඊට උදාසීනය. ප්‍රේක්ෂක සංඛ්‍යාව හෝ පාඨක ජනකාය හීන රසිකයකුට වැදගත්ය. එහෙත් කලාකරුවාට නොවැදගත්ය. වැඩිපුර නාට්‍ය ප්‍රවේශපත් විකිණීම වටින්නේ නාට්‍ය සංවිධායකයාට මිස නාට්‍යකරුවාට නොවේ. ප්‍රේක්ෂකාගාරයේ දෙතුන් දෙනෙකු සිටියද, දෙතුන් සියයක් සිටියද නාට්‍යකරුවාට අදාළ නැත. 1956 නොවැම්බර් 3 වෙනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ‘මනමේ’ මංගල දර්ශනය රංගගත වෙද්දී ඊට සිටි ප්‍රේක්ෂක පිරිස විසි තිස් දෙනෙකුට වැඩි වූයේ නැත. සරච්චන්ද්‍ර ඉන් උදාසීන වී පසුදා ‘මනමේ’ ප්‍රදර්ශනය අත්හිටුවූයේ නම් ‘මනමේ’ මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් වන්නේ නැත. ‘මනමේ’ මනමේනියාවක් වන්නේ නැත.

කලාකරුවකුට සිටිනුයේ භෞතික ප්‍රේක්ෂකයෙක් නොවේ, කාල්පනික ප්‍රේක්ෂකයෙකි. ඔහු අදිසිය. පාඨකයා නැතිව කිසිවක් ලිවිය නොහැකි යැයි කිව හැක්කේ ව්‍යාජ සාහිත්‍යකරුවකුටය. ලේඛකයෙක් පාඨක ඉල්ලීම් අනුව ලිවීම වෙනස් කරයි නම් ඔහුගෙන් බිහි වන දේ වැඩිකල් රඳා පවතින්නේ නැත. තුර්ගිනිෆ්ගේ ‘පියවරු සහ පුත්තු’ (Fathers and Sons) නවකතාව එදා රුසියානු සමකාලීන සමාජය පිළිගත්තේ නැත. විචාරකයෝ පවා ඔහු නස්තිකවාදියකැයි හංවඩු ගැසූහ. එහෙත් විසිවසරකට පසු පාඨකයා එය මහත් ඉහළින් පිළිගත්තේය. තුර්ගිනිෆ් පාඨක ප්‍රතිචාර අනුව ලීවේ නම් ඔහුගෙන් ‘පියවරු සහ පුත්තු’ ලියවෙන්නේ නැත. විසිවෙනි සියවසේ මහා නවකතා වූ කෆ්කාගේ ‘නඩු විභාගය’, ‘බළකොටුව’, බුල්ගකොව්ගේ ‘මාස්ටර් සහ මගරිටා’, මාර්කේස්ගේ ‘සියක් වසක හුදකලාව’ යන කිසිවක් පාඨකයා අනුව ලියූ කෘති නොවේ.

පාඨකයා ඇත්ත වශයෙන් ලේඛකයාට බාධාවකි. එදාට වඩා අද ලේඛකයාට පාඨක ප්‍රතිචාර ලැබීමේ මං තිබේ. ප්‍රකාශකයාද අද තමා පළ කරන පොත්වලට ෆේස්බුක් ‘ලයික්’ ඉල්ලයි. අප කුඩා රටක් බැවින් ලේඛකයනට පාඨකයන් නිතර දෙවේලේ හමු වේ. මෙය ලිවීමට බාධාවක් මිස සුභ ලකුණක් නොවේ. මෙවැනි පරිසරයක මා සිතන්නේ ලේඛකයාට වැදගත් වන්නේ ඔහුගේ සැබෑ පාඨකයා වෙන් කර ගැනීමයි. එනම් කාල්පනික පාඨකයා හඳුනාගැනීමයි. ලේඛකයා ප්‍රතිභාන්විත නම් ඔහුට එය කළ හැකිය. ප්‍රතිභා හීන නම් ඔහුට ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලාගේ ‘ලයික්’ මිස අනිකක් නොපෙනේ.

කලා කෘතියක් වැඩි පිරිසක් අතරට යෑම නරක දෙයක් නොවේ. ඇත්ත වශයෙන් කෘතිය උසස් නම් ඊට සිටින ප්‍රේක්ෂක පිරිස වැඩි වේ. එහෙත් ඒ වැඩි වන්නේ ජනප්‍රිය කෘතියක් මෙන් එකවර නොවේ. ජනප්‍රිය කෘතියට එකවර විශාල පිරිසක් ඇති වී නිහඬ වේ. එම කාලය ඉකුත් වූ පසු එය ප්‍රේක්ෂකයා නැති තැනට වැටේ. උසස් කෘතිය එසේ නොවේ. ඊට ඇති ප්‍රේක්ෂක පිරිස දිගටම එකාකාරව පවතින්නකි. නිදසුනකට ‘මනමේ’, ‘සිංහබාහු’ ප්‍රේක්ෂකයා හැමදාමත් එකය. දොස්තොයෙවුස්කිගේ, තෝල්ස්තෝයිගේ කෘති හැමදාමත් අලෙවි වන්නේ එක පමණටය. ‘ඇනා කැරනිනා’ හෝ ‘අපරාධය හා දඬුවම’ යන නවකතාවල පාඨක පිරිස කිසි විට වෙනස් වන්නේ නැත. එසේ බැලූ විට සම්භාව්‍ය කෘතියකට සිටින පාඨක සමාජය අලෙවි වාර්තා තබන කෘතියකට (Best selling Book) සිටින පාඨක සමාජයට වඩා වැඩිය.

ලේඛකයා හැම විටම පාඨකයා නිවැරදිව ගත යුතුය. එනම් වැඩි පාඨක පිරිසක් ග්‍රහණය කර ගැනීමට කියා ඔවුන් ඉල්ලන දේ දීම ඔහු සිතාමතා වළේ වැටීමකි. නාට්‍ය කෘතියකට, සිනමා කෘතියකට වුව ඒ එසේය. ලේඛකයා දිය යුත්තේ පාඨකයා ඉල්ලන දේ නොව තමාගේ ඇතුළත

- අවිඥානය හෝ චරිත - ඉල්ලන දේය. ලිවීමේදී කොහොමටත් කතුවරයාට බලයක් නැත. එනිසා ඔහුට පාඨක සිතැඟි ඉටු කළ නොහැකිය. ලේඛකයකු අනුන්ගේ කතා ලිවීමත් මේ ආකාරමය. ලේඛකයකු කවරක් ලීවත් ඔහු ලියන්නේ තමාගේ කතාවකි. අනුන්ගේ කතාව තමන්ගේ වන්නේ එය තමන්ගේ වූ විටය. එතෙක් ඔහුට අන් කතා ලිවිය නොහැකිය.

කලාව වූකලී මුලින්ද කී සේ පවතින දේකි. කලාකරුවකු කළ යුත්තේ ඒ පවතින දේ අල්ලා ගැනීමය. බලහත්කාරයෙන් ඒ අල්ලා ගැනීමට ගියහොත් එය කලාව වන්නේ නැත. ඔළුගෙඩි ගණන ගැන සිතා නිර්මාණ කරන්නන් කරන්නේ කලාවේ නාමයෙන් ‘විකලාවක්’ ගොඩනැඟීමය. එවිට එය පවතින දෙයක් නොවන අතර රසිකයාට ඉන් ගත හැකි දෙයක්ද නැත. එය බිහි කරන්නේ අනෙකක් නොව තවත් ගොරහැඩි සමාජයකි.

මාතෘකා