‘මම සහ තවත් ගැහැනුන්කිහිප දෙනෙක්’

 ඡායාරූපය:

‘මම සහ තවත් ගැහැනුන්කිහිප දෙනෙක්’

- උද්‍යෝගි පලිහක්කාර -

බොහෝ තරුණ කවීහු ස්ත්‍රිය කේන්ද්‍ර කොට ගත් කවි පබඳිති. ඒ බොහෝ විට ස්ත්‍රී ශරීරය සිය ආශා වස්තුව ලෙසට වූ තේමාත්මක රූපකාර්ථයෙනි. බොහෝ විට එහි ඇත්තේ හුදු ශෘංගාරාත්මක ශරීර වර්ණනයකි. ස්ත්‍රියගේ විඳවීම, ඇය පෙළන පීඩනය ගැන ඇරුණු මනසින් දකින නිර්මාණ ඉඳහිට නිර්මාණකරුවන් වෙතින් බිහි වෙතත් ඒ පීඩනය සැබෑ ලෙස විවරණය කළ හැක්කේ ස්ත්‍රියකටම පමණකැයි හඟිමි. උද්‍යෝගි පලිහක්කාර විසින් රචිත ‘මම සහ තවත් ගැහැනුන් කිහිප දෙනෙක්’ එවැනි කෘතියකි. කෘතිය පුරා ඇත්තේ ඇය ඇයවත් ඈ අවට සිටිනා අනෙක් ස්ත්‍රීන්වත් කියැවීමට ගත් තැතකි.

කවිය තුළින් ඈ විවරණය කරන්නේ ප්‍රධාන වශයෙන් ලාංකේය ස්ත්‍රියගේ ඛේදවාචකයය. වඩා රමණීය ජීවිතයක් අපේක්ෂාවෙන් සේරිවාණිජ සමාජය තුළ දෝලනය වන ජීවිත සැබවින්ම බේදනීයය. ඒ තුළ ඇති අවශ්‍යතාව ඉක්මවා යන ආශාව වෙත ඉලක්ක වන්නේ ස්ත්‍රියයි. එය දැදුරු කරන්නේ ස්ත්‍රී හදවතය. ‘කදබැ කිරිල්ලී’ ඊට කදිම නිදසුනකි.

පච්ච වඩම් බැනර් පිපුණු

සේල් වීදියේ දිගට ම

කදබැ කිරිල්ලී හෙමිහිට පියා සලන්නී

ආස හිතුණු සේලයකට හෙට්ටු කරන්නී

කුටුම්භ වැඩ බරින්ද උපයන්නියක ලෙස රැකියා වෙහෙසින්ද ඈ පරිපීඩිතය. ජීවත් වීමට අවැසි මූලික වුවමනාවේ සිට අවශේෂ අවශ්‍යතා දක්වා පිඹුර සැකසිය යුත්තේ ඈ විසිනි. නිවසක් යනු අව් වැසි ආදියෙන් ගැලවී වසන්නට හැකි තැනකි. එනිසාම ඒ මූලික උවමනාව හිසටද හිතටද නිවනකි. ණය මතින් ගොඩ නැඟෙන්නකින් පරිපූර්ණ නිවනක් ලැබිය හැකිද?

යතුරු පැදියද ණය බරකි. ඒ අතර සමාජ සත්ත්වයකු ලෙස ඉටු කළ යුතු යුතුකම් වගකීම්ද මිලකි. ජීවිතය ගලා යන්නේ වැටුප ණය හා සීට්ටු මතිනි. ඒ තුළ ඇත්තේ තාවකාලික සහනයක් මිස පූර්ණ කාලීන නිදහසක් නොවේ. ණය සහ සීට්ටු අතර බර ඈ මතය. ඒ සියල්ල ඈ පද හතරකට කැටි කරන අකාරය මනරම්ය.

හිසට සෙවණ ණය නිවනකි

රෝද දෙකත් ණය පැදියකි

ඒ අතරේ යුතුකම් වැසි කඩා හැලෙන්නේ

සීට්ටු අතමාරුවලින් හිස නොතෙමෙන්නේ

කුටුම්භවාසී පුරුෂ බහුතරය නිදහස්කාමීන්ය. වෙර යොදා කුටුම්භ බර ඇදගෙන යාමේ වගකීම භාර්යාවන් ගන්නේ නම් ඒ ඇසිල්ලෙන් ඔවුහු ලිස්සා යති. ඔවුන්ගේ පැවැත්මද අපේක්ෂාවද තම තෘප්තියය. ඔවුහු ස්ත්‍රිය ගැන සිතනුයේ, උදෑසන තේ කෝප්පය සකසා ළඟට ගෙන ගොස් දීමේ සිට ලිංගික තෘප්තිය ලබා දීම දක්වා වූ සිය අවශ්‍යතාවන් සහ ආශාවන් ප්‍රමුදිත කිරීම අරබයා ප්‍රාදුර්භූත වූවකු ලෙසය. සිය ආශාව ප්‍රමුදිත කරගන්නා තෙක් ඔවුහු ළතෙත් හදවත් ඇත්තෝය.

‘සහෘද සාක්ෂිය’ කෘතියේ තැනෙක ලියනගේ අමරකීර්තිහු මෙසේ කියති.

‘...ලිංගික ආවේගයෙන් පසුවන විට ගැහැනියගේ ආදරයද රූප සෞන්දර්යයද උත්කර්ෂයෙන් වනන පිරිමියා ශුක්‍රාණු පහ වූ පසු නැවතත් සමාජය වෙත ඇදී යයි. එමඟින් පිමියාගේ ආදරයද දේශපාලනයද එක්තරා ආවේණික කුහකකමකින් යුක්ත ය...’

උද්‍යෝගි මේ කියන්නේ එයම නොවේද?

උණුහුම දැනුණට පස්සේ

සුපුරුදු ගෙරවිලි සද්දේ

අඳුරේ නෙතු දල්වාගෙන සිහින මසන්නී

ඉඳිකටු තුඩ ඇනෙන හිතම පිරිමැද ගන්නී

ආශාව විඳ නින්දේ කිමිදෙන්නට පුරුෂයාට හැකිය. එහෙත් ස්ත්‍රියට එසේ කළ නොහැකිය. සියලු මනස්තාපය මැද රිදුම් දෙන හදවත ඈ තනිව පිරිමැද ගත යුතුය. තැවුල බෙදා ගැනීම පුරුෂයා මත යැපීමකැයි අරුත් ගන්වා ඇඟ බේරා ගැනීමට ඔහුට හැකිද? අනෙකා හා ජීවිතය කොතෙක් බෙදා ගනිතත් ඈ පෙළන්නේ බරපතළ හුදෙකලාවකිනි.

ආර්ථික බර, ඒකාකාරි දිවිය, නොතිත් ආශාවන් සහ සිහින, විඳවුම සියල්ල කැටිකොට ළගන්නා රිද්මයකින්ද බසකින්ද පබැඳුණු ‘කදබැ කිරිල්ලී’ අපූරු කවකි.

ඇසට හසුවන ස්ත්‍රිය පමණක් නොව විශ්ව සාහිත්‍ය කෘති අතර හමුවන ස්ත්‍රියගේ ජීවිතයද ඇය විනිවිදියි. සංස්කෘතික හා භූ විෂමතා කලාප ලෙස වෙන් වුවද ස්ත්‍රියගේ පොදු ඛේදවාචකය ඇය සියුම්ව අල්ලා ගනියි. ඇගේ සමහර කවි තුළ ඇත්තේ නැවුම් එළැඹුම්ය. අම්මා ගැන ලියැවුණු ‘ඇය රම්‍යා’ කවිය එවැන්නකි.

කේන්ද්‍රය ස්ත්‍රී වුවත් ඉන් පිටත ක්ෂේත්‍ර ගැනද ඈ සිය අවධානය යොමු කරයි. පිනි අහුර, මගේ පත්තරකාරයා, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල දී ය, ඌන පූරණය, මඟුල්පොළ, ගෝත්‍රිකයෝ ඉන් කිහිපයකි. ඒ තුළ ඇත්තේ අගතිගාමි නොවූ විශ්ව සාධාරණ දෘෂ්ටියකි. විශ්ව සාහිත්‍යයෙන් උකහා ගන්නා ලද ආලෝක ධාරාවන්ද ඈ සිය නිර්මාණ වෙත එල්ල කරයි.

තමා සතු සියලු අත්දැකීම් කවිය තුළට බහාලන්නට තැත් කිරීම ඇගේ බොහෝ කවි තුළ දක්නට ඇත. ඒ තුළින් ඈ කවිය වුවමනාවටත් වඩා සංකීර්ණද දීර්ඝද කර ගනී. එය කවියේ රසයට හානියකි. සමහර දිගු කවි තුළ ඇත්තේ වාර්තා ස්වරූපයකි. එවන් කවි භාවික ගුණයෙන් පොහොසත් නැත. කවිබසද කවියේ ආකෘතියද කාව්‍යාලංකාරද කෙරෙහි ඇගේ වෙසෙස් අවධානය යොමු වන්නේ නම් වඩා පිරිපුන් කිවිඳියක ලෙස ඉදිරි දිනෙක අපට ඈ මුණ ගැසෙනු ඇත.

 

[හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ]

මාතෘකා