හඬ, නාදය, රාවය හා දෝංකාරය

 ඡායාරූපය:

හඬ, නාදය, රාවය හා දෝංකාරය

'ශබ්ද' යන පදය සිංහලයට ආවේ සංස්කෘත භාෂාවෙනි. එය දෙයාකාරයකින් සිංහලයට එක් විණ. එ‍ය සිංහල කව් ලැකියට ආවේ 'සද' යනුවෙනි. ලෙව් ලැකියෙහි ආ 'ශබ්ද ප්‍රකෘති' යන සමාස පදය කව් ලැකියට ආවේ 'සද පියවි' යනුවෙනි.

'ශබ්ද' යන්න සිංහල කට වහරට ආවේ 'සද්ද' යනුවෙනි. 'සද්ද කරන්ට එපා' 'සද්ද බද්ද' වැනි වහර කට වහරෙහි හමු වෙයි. මීට අමතරව 'හඬ' 'නාදය' 'නද' 'රාවය' 'රැව්' 'දෝංකාරය' හා 'ධ්වනිය' යන පද ද ශබ්ද යන අර්ථයෙන් යෙදේ.

හඬ

විවිධාකාර හඬ අපට ඇසේ. මුලින් ම ඇසෙනු ඇත්තේ සතුන් නඟන හඬ යි. ඉන් සමහර සත්තු ගෙදර දොරේ ම

සිටින සත්තු වෙති. බළල්ලු බඩගිනි බව කීමට "ඤාව් ඤාව්" කියමින් හඬ නඟති. බල්ලෝ "බුහ් බුහ්" කියා බුරමින් සිය අදහස් පළ කරති. කුකුල්ලු "කුක්කු කූක් කූ" කියමින් ‍ගෙවැසියන් අවදි කරති. ගෙවත්තෙහි සිටින වසු පැටියෝ "උම්බෑ" ගාන හඬ නගමින් දුව පනිති.

ගෙමිදුලට එන කුරුල්ලෝ "කීච් බීච්" ගාමින් කෑ ගසති. කපුටා "කාක් කාක්" කියන්නේ ගෙදරට අමුත්තන් එන බව ද කීමට ය. වෙල් එළියෙහි සිටින ගෙම්බෝ "බක බක" ගාමින් හෝ "දෙක දෙක" ගාමින් කෑ ගසති. ලේනුන් හඬන්නේ "ටිං ටිං" ගාමිනි.

බළලා බඩ ගින්නට "ඤාව් ඤාව්" කියා ශබ්ද නැඟුවත් කුස ගිනි නිවා ගෙන සුව සේ සැතපෙන විට

"පුරු පුරු" ගාන හඬ හඳුන්වන්නේ "කපු කටිනවා" යන පදයෙකි. "බළලා කපු කටිතත් ඌ වියන රෙදි නැති" බව ද සිංහලයෝ දනිති. බල්ලෝ "බුරන්ට" ද ගවයෝ "තප්පුලන්ට" දනිති.

නාදය

ශබ්දය හැඳින්වීමට 'නාදය' යන පදයක් ද සංස්කෘතයෙහි එයි. එය සිංහලයට ආවේ 'නද' යනුවෙනි. 'වීණා නාදය' යන සංස්කෘත සමාසය 'වෙණ නද' යනුවෙන් සිංහලයට හැරේ. ගුත්තිල ඇදුරිඳුන්ගේ 'වෙණ නද' ඇසූ ගිජිඳුන් පවා නොසෙල්වී සිටි බව වෑත්තෑවේ හිමියෝ කියකි:

''ගිජිඳුන් තිමද ග ළ

වෙණ නද අසා ඔහු කළ" (157)

කුංච නාදය

අලි ඇතුන් නඟන නාදය 'කුංචනාදය' නම් වෙයි.

පඤ්ච තූර්ය නාදය

තූර්ය භාණ්ඩ පහක එකතුවෙන් බිහි කෙරෙන නාදය 'පඤ්ච තූර්ය නාදය' යනුවෙන් හැඳින්වෙයි. සිංහලයා භාවිත කරන සියලු තූර්ය භාණ්ඩ පස් වර්ගයකට අයත් වෙයි. එනම් 'ආතත' 'විතත' 'විතතාතත' 'ඝන' හා 'සුසිර' යන පස් වැදෑරුම් වාද්‍ය භාණ්ඩ යි.

ආතත භාණ්ඩ

'ආතත භාණ්ඩ' යනු අතින් හෝ දෑතින් හෝ වයනු ලබන බෙර වර්ග යි. 'මඟුල් බෙරය' මෙනි.

විතත භාණ්ඩ

'විතත භාණ්ඩ' යනු කිසියම් උපකරණයක ආධාරයෙන් වයනු ලබන භාණ්ඩ යි. තම්මැට්ටම මෙනි.

ආතත විතත භාණ්ඩ

'ආතත විතත' භාණ්ඩ යනු අතින් පමණක් නොව උපකරණයක ආධාරයෙන් ද වයනු ලබන භාණ්ඩ යි. දවුල මෙනි.

ගන භාණ්ඩ

'ගන භාණ්ඩ' යනු ලෝකඩ ආදිය වාත්තු කොට ගැනීමෙන් සදනු ලබන භාණ්ඩ යි. තාලම්පට මෙනි.

සුසිර භාණ්ඩ

'සුසිර භාණ්ඩ' යනු පිඹීමෙන් වාදනය කරනු ලබන භාණඩ යි. හොරණෑව මෙනි.

භේරී නාදය

බෙරයෙන් නැඟෙන්නේ 'බෙර හඬ' යි. එය සංස්කෘතයට නැඟෙන්නේ 'භේරී නාදය' යනුවෙනි.

වීණා නාදය

වීණාවෙන් නැඟෙන නාදය 'වීණා නාදය‘ යි.

සිංහ නාදය

සිංහයන් නඟන නාදය 'සිංහ නාදය' යි.

කේකා නාදය

මොනරා නඟන නාදය 'කේකා නාදය' හෝ 'කේකාරවය' යි.

 

රාවය

ශබ්දය හෝ නාදය හැඳින්වීමට සංස්කෘත 'රාවය' යන පදය ද යෙදේ. එය සිංහලයට බි‍ඳෙන්නේ 'රැව්' යනුවෙනි.

ප්‍රතිරාවය

කිසියම් රාවයකට විරුද්ධව නැඟෙන රාවය 'ප්‍රතිරාවය' යි. එය සිංහලයට නැඟෙන්නේ 'පිළිරැව්' යනුවෙනි.

හේෂාරවය

අශ්වයා නඟන නාදය 'හේෂාරවය' යි.

දෝංකාරය

ප්‍රතිරාවය හැඳින්වීමට 'දෝංකාරය' යන පදය ද යෙදේ.

සාදුකාරය

'සාදු සාදු' යන හඬ 'සාදුකාරය' යි. කැලණි රජ මහ වෙහෙර දුටු ජන කවි‍යෙකුට ද සාදුකාර හඬ මතක් විණ.

 

"ඔන්න මලේ ඔය නා මල නෙළා වරෙ න්

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙ න්

කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙ න්

සාදුකාර දී ඔරුවක නැඟී වරෙන්"

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

 

මාතෘකා