අහම්බය අහිමි වීම!

 ඡායාරූපය:

අහම්බය අහිමි වීම!

අත්පිටපත දිග වැඩියි, අඩු කර දෙන්නැයි ප්‍රකාශකයකු පැවසුවහොත් ප්‍රබන්ධකරුවාට එය කළ හැකිද? ප්‍රබන්ධයක ඇත්තේ ජීවිතයකි. ඔහු අත්පිටපත අඩු කිරීමෙන් වන්නේ ඒ ජීවිතය කප්පාදු වීමය - එහි ජීවිතය මරා දැමීමය. ශාස්ත්‍රීය කෘතියක් දිග වැඩි නම් කොටස් වශයෙන් පළ කළ හැකිය. ප්‍රබන්ධයකදී එය කළ නොහැකිය. එහිදී කළ හැකි එකම දේ සංස්කරණයය. සංස්කරණය කොහොමටත් ප්‍රබන්ධයේ අනුශංගික අංගයකි. සංස්කරණය කළ අත්පිටපතය, කතුවරයා ප්‍රකාශකයකුට බාර දෙන්නේ. ප්‍රකාශකයාගේ මූල්‍ය පහසුකමට සරිලන සේ ඒ සැකසූ අත්පිටපත තව අඩු කළ නොහැකිය. එහිදී ඈඳුතු කතාවක් ලිවිය නොහැකිද? ඈඳුතු කතාව කතාවක දිග පිළිබඳ කරුණක් නොවේ. එය කතාවක තේමාව පිළිබඳ දේකි - ‘ගම්පෙරළිය’ එක් තේමාවක් ගනිද්දී ‘කලියුගය’ හා ‘යුගාන්තය’ ගන්නේ තවත් තේමාවන්ය. මෙනිසා ප්‍රබන්ධයක් බාහිර පාර්ශ්වයකගේ වුවමනාව මත කප්පාදු කිරීම ‘දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය යුතු’ වරදකි.

මේ තීරුවට නිමිති වූයේ මංජුල සේනාරත්නගේ ප්‍රබන්ධ කතාවක් ප්‍රකාශකයා හිතුමනාපයට කප්පාදු කර පළ කිරීමේ පුවතක් ඇස ගැටීමයි. මංජුල සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව දැක්වූ සටහන මෙබඳුය:

“ආත්මය දෙදරා ගිය මොහොත

අද මට පොත ලැබුණා. බොහොම ස්තූතියි. ඒත් මම දැඩි කනගාටුවට පත් වුණා මා ලියූ දෙයින් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම ගැන. මේ ගැන මට කිසිවෙක් දැනුම් දුන්නේ නැහැ. එසේ දැනුම් දුන්නා නම් මා කියා සිටිනවා පොත ප්‍රකාශනයට පත් නොකරන ලෙස. පොතේ ඉතා වැදගත්ම දේ ඉවත් කර තියෙනවා. මේ නිසා ඇතැම් තැන් තේරුම් ගත නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය මට දරාගත නොහැකි වේදනාවක් බව කිව යුතුයි.... ජීවිතයෙන් මාස හයක්.... පොතේ පිටු කපා දමා තිබෙනු දුටු මොහොතේ....”

මේ සටහන දුටු මතින් මට හැඟුණේ ලේඛකයන් තමන්ගේ කෘතිය උත්සවාකාරව දොරට වැඩීමට දක්වන උනන්දුවේ තරමටම තම පොතේ අන්තර්ගතය නිවැරදිව පළ කිරීමටද උනන්දු නොවන්නේ ඇයිද යන්නය. එසේ වූවා නම් මෙවැනි දෑ සිදු විය නොහැකි නිසාය. එහෙත් මෙවැනි විටෙක කතුවරයාට කළ හැකි දෙයක් නැද්ද? තිබේ. ඒ, ප්‍රකාශකයා මුද්‍රණය කළ සියලු පිටපත් වෙළෙඳපොළෙන් ආපසු ගැනීමය. ගෙන නිවැරදි කෘතිය යළි පළ කිරීමය. එහෙත් මංජුල සේනාරත්න එවැනි උත්සාහයක් ගෙන නැත. අඩු තරමින් ඔහු ඊට ෆේස්බුක් ලිපියකින් විරෝධය පාන්නේ සිද්ධිය වී මාස අටකුත් ගෙවුණු පසුය. මේ සියල්ලෙන් පැහැදිලි වන දෙයක් තිබේ. මංජුලද ඇතුළු සිංහල ලේඛකයා කැප වුණු - සාහිත්‍යයට කැප වුණු - ලේඛකයන් නොවන බවයි. ඔවුන් ප්‍රබන්ධකරණයේ හෝ සෙසු සාහිත්‍ය භූමිකාවක නියුතු වන්නේ තමාගේ වෙනත් ගමනකට ආධාරකයක් වශයෙන් පමණක් බවයි.

ප්‍රංශයේ වෙසෙන මගේ තවද හිතවත් ලේඛකයෙක් මේ දිනවල තවත් ‘අකරතැබ්බයකට’ වැටී සිටී. ඒ, ඔහුගේ පළ වීමට නියමිත පොත් හතරක් සැප්තැම්බරයට පෙර - බී.එම්.අයි.සී.එච්. පොත් ප්‍රදර්ශනයට දමා ගනු පිණිස - පළ කරගන්නේ කෙසේද කියාය. ප්‍රකාශකයා ඔහුගේ පොත් පළ කිරීමට බාරගෙන ඇත. එහෙත් ඔහුට ඉක්මනින් පොත්වල සෝදුපත් බලා මුද්‍රණකරුවා වෙත යැවීම දුෂ්කර වී ඇත. එම ලේඛකයා සාහිත්‍යකරණය යැයි සිතා සිටින බව පෙනෙන්නේ පළ වන පොත් ගණනය. ‘කර්තෘගේ වෙනත් පොත්’ ගණන වැඩි වන තරමට තමා ලේඛකයකු ලෙස ස්ථාවර වන්නේ යැයි ඔහු කල්පනා කරනවා විය හැකිය. ප්‍රංශයට නුදුරින් චෙකොස්ලොවැකියාවේ විසූ ෆ්‍රාන්ස් කෆ්කා විසිවෙනි සියවසේ මහා නවකතාකරුවකු බවට පත් වූයේ යන්තම් නවකතා තුනක් පමණක් ලියා බවත් මිහායිල් බුල්ගකොව් තමාගේ මහා ප්‍රබන්ධ (Masterpieces) සිය ජීවිත කාලය තුළම ප්‍රකාශනය නොකළ බවත් ඔහු දනීදැයි සිතිය නොහැකිය. මේ තුළ මට හැඟෙන්නේ පොදුවේ සිංහල ලේඛකයා සිටින්නේ එකම තැනක බවය. එම තැන නම් ලිවීම යනු පළ කිරීම බවය. ලේඛකයකුගේ ගමන තීරණය වන්නේ හැකි තරම් - කප්පාදු වී හෝ නොවී, සෝදුපත් බලා හෝ නොබලා - පොත් පළ වන තරමට බවය. ඇතැම් ලේඛකයන් පොත් සිය ගණනින් ලියන්නේද, එසේ ලියමින් තමා වෙනුවෙන් කෞතුකාගාර ගොඩනැඟීමට යන්නේද මෙනිසා විය හැකිය - බලයේ සිටින දේශපාලනඥයන් අල්ලාගෙන තමන් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන ලේඛකයකු වේ නම් ඔහු ලේඛකයකුට සුදුසු කෙනෙක් නොවේ. හැබැයි එවැන්නකු සිටී නම් ඔහු ලියන දෑ යැවිය යුතු තැනත් එතැනය. ඒවා සජීවී කිසිවක් නොව කෞතුක භාණ්ඩ පමණක් වන නිසාය.

ප්‍රබන්ධ කෘති වෙනුවෙන් දොරට වැඩුම් ගන්නා, ප්‍රකාශකයා හෝ අනෙකෙකු අත්පිටපතට කරන ඕනෑම අරියාදුවක් ඉවසා වදාරන්නා සෑම ලේඛකයකුටම ලොකුම වස්තුව පාඨකයාය. ප්‍රබන්ධකරුවා අන්තරාවර්තී අයෙකු බව ඔවුන් දන්නවා විය හැකිය. එහෙත් ඔවුන් එහිලා අන්තරාවර්තී වීමට කැමති නැති සේය. ප්‍රබන්ධයකට පාඨකයා අවශ්‍යද? අවශ්‍යය. පාඨක ‍- ලේඛක සබැඳියාව විද්‍යාව විෂයේදී එන්සයිම පාඩමේදී උගන්වන යතුරු - අගුලු යාන්ත්‍රණය වැන්නක්ය. යතුරකට හෝ අගුලකට වෙන වෙනම වටිනාකමක් නැත. එහෙත් ඒ දෙක එක් වූ විට ඉන් දොරක් ඇරිය හැකිය. එලෙසම කතාකරුවකු නිපයන රස පාඨකයා වින්දනය කළ විට ඔවුන්ගේ ජීවිතයට අරුතක් ලැබිය හැකිය. මෙතෙක් නොපෙනුණු යමක් - සැබෑව - දැකිය හැකිය. එහෙත් ප්‍රබන්ධයක් ලියනුයේ පාඨකයා ගැන පූර්වයෙන් සිතාගෙන නම් ඒ දේ වීමේ ඉඩක් නැත. එය පාඨකයාගෙන් ස්වායත්ත දෙයක් නිසාය.

ප්‍රබන්ධයක් සිතාමතා බිහි කළ නොහැකිය. ප්‍රබන්ධයක් පවතින දේකි. පොතක්ද සිතාමතා ප්‍රකාශනය කළ නොහැකි දෙයකි. ප්‍රකාශනයේ ඇත්තේ යාන්ත්‍රික කාර්යයක් බව සැබෑය. එහෙත් කතාකරුවකුට පොතක් පළ වීම අහම්බයකි - වරක් පාවුලෝ කොයියෝ මුළුමනින් ලියා අවසන් කළ නවකතාවක අත්පිටපත ඔහුගෙන් නැති වී තිබේ. චිනුවා අචිබේගේ මහා නවකතාව ලෙස සැලකෙන Things Fall Apart පළ වී ඇත්තේ ඉතා අහම්බයකිනි. ඔහු නයිජීරියාවේ සිට එංගලන්තයේ පොත් යතුරු ලියනය කරන ආයතනයකට සිය අත්පිටපත ටයිප් කිරීමට යවා ඇති අතර එම ආයතනය යතුරු ලියනයට අදාළ ගාස්තුව අචිබේගෙන් තැපැල් මගින් ලබාගෙන අත්පිටපත විසි කර දමා ඇත. එය නැවත ඔහු අතට පත් වී ඇත්තේ ඉතා අහම්බයකිනි. ප්‍රබන්ධයක් ලියවෙන මොහොතේ පටන් පොතක් ලෙස පළ වීම දක්වා ක්‍රියාදාමය මුළුමනින් ප්‍රබන්ධකරුවා විස්මපත් කරන දේකි. ප්‍රබන්ධකරුවා කොහොමටත් පවතින ලෝකයෙන් විස්මයට පත් වන කෙනෙකි. ප්‍රකාශනයද ඔහුට යාන්ත්‍රික ක්‍රියාවක් නොවේ. වස්තු බීජය ඔහුට එන තැන් සිට එය ලියවී පොතක් ලෙස ඒම දක්වා ක්‍රියාවලිය අපූර්ව යමක් බව පෙන්වීමට ඕනෑ තරම් නිදසුන් දිය හැකිය. පොතක් පළ වීම අහම්බයක් නොවන තාක් එය පත් වන්නේ යාන්ත්‍රික ක්‍රියාදාමයක් බවටය. එවිට කඩදාසි ඉතිරි විය හැකිය. ප්‍රබන්ධය නම් ඉතිරි විය නොහැකිය. කර්තෘ ප්‍රකාශන ලේඛකයකුට එතරම් සූකර නොවන්නේද මේ නිසා විය හැකිය.

ලේඛකයකුට ලිවීම වනාහි ආත්ම භාෂණයකි. එය ඔහු ඔහු සමඟ කරන සංවාදයකි. අරවින්ද ‘විරාගය’ ලියනුයේ (එසේ සිතමු) ඔහු වෙනුවෙනි. එය ඔහු පළ කිරීමට සිතුවේ නැත. එය පළ කළ හැකි පොතක් ලෙස දකිනුයේ සිරිදාසය. ලේඛකයාට ප්‍රබන්ධය විය යුත්තේ ඒ ආකාරය දෙයක්ය. ඇත්ත වශයෙන් ප්‍රබන්ධකරුවකුද ප්‍රබන්ධයක් වැනිය. ඔහු පවතින කෙනෙකු විනා බිහි කළ හැකි කෙනෙක් නොවේ. පේරාදෙණි සාහිත්‍යය බිහි වූ දෙයකි. පේරාදෙණි සාහිත්‍යය ගුරු කොටගත් රසවාදී විචාරය අද පේරාදෙණියේ නැත. එහි අද ඇදුරන් ඒ ගැන හාංකවිසියකුදු නොදන්නේ ප්‍රබන්ධ හා ‘විචාර ග්‍රන්ථ’ එළිදැක්වූවාට ඔවුනට යළි පේරාදෙණිය බිහි කළ නොහැකි නිසාය.

කෙසේ වුව සිය ප්‍රකාශකයාගෙන් මංජුල සේනාරත්නට සිදු වූ ගැහැට විමසීමේදී තවද දෙයක් පැහැදිලි වේ. අද ප්‍රකාශනය ගරිල්ලා මාර්කටින් වැඩක් වී ඇති බවය. ප්‍රබන්ධයක් පළ වීම කතුවරයාට අහම්බයක් වුව එය ගරිල්ලා මාර්කටින් විය යුතු දෙයක් නොවේ. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ස්වර්ණ පුස්තකය ඇරඹීමට ප්‍රථම වෙනස් කළ යුතුව තිබුණේ ඒ වන විට නැඟෙමින් තිබූ ප්‍රකාශක මාෆියාවය. ඔවුන් ඒ කළේ නැත. අද පොත් ප්‍රකාශනය ප්‍රකාශකයන්ගේ සංගමයේ නිල අනුග්‍රහය ලැබූ ගරිල්ලා මාර්කටින් ක්‍රමවේදයක් වී ඇත්තේ එහි ප්‍රතිඵල වශයෙනි. මේ තත්ත්වය අද වෙනස් කළ නොහැකි දේකි. එහෙත් ඒ දේ වන තාක් ප්‍රබන්ධය පත් වනු ඇත්තේ අහම්බයක් නොව අහම්බයකුත් නැති වඳ වුණු දෙයක් බවටය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා