නිර්මාණය හා වින්දනය

 ඡායාරූපය:

නිර්මාණය හා වින්දනය

සාහිත්‍යකරණයත්, සාහිත්‍යයෙන් පරිබාහිර රචනයත් (Non Fiction) අතර මූලික වෙනසක් තිබේ: සාහිත්‍යකරණයේදී ලේඛකයා ලියන දේ තෙමේම වින්දනය කරන අතර සාහිත්‍යයෙන් තොර දේ ලිවීමේදී ලේඛකයා ඒ වින්දනය නොකරයි. මේ වින්දන සාධකය තුළ සාහිත්‍යකරුවකු බොහෝ විට ලියන දේ අවසන් නොකර එය ලියමින්ම සතුටු වීමට පුළුවන. අනෙක් අතට පරිබාහිර රචනා ලියන්නන් ලියන දේ අවසන් කිරීමෙන් සතුටු වීමට පුළුවන - සාහිත්‍යකරුවකුට ලියන දේ අවසන් වූ විට වින්දනය අහෝසි වේ. මේ කරුණ අනුව සාහිත්‍යයත්, සාහිත්‍යයෙන් පරිබාහිර දේත් අතර වෙනසක් සටහන් වේ. එනම් සාහිත්‍යය තුළ හැඟීම් ඇතුළත් වීමත්, සාහිත්‍යයෙන් තොර දේහි හැඟීම් ඇතුළත් නොවීමත්ය. වින්දනය කරන්නේ හැඟීම් නිසාය.

ලේඛකයකු ලබන වින්දනය සෙසු අයකු ලබන වින්දනයෙන් වෙනස් වේ. සෙස්සන් ඇත්තටම වින්දනයක් නොවේ, ලබන්නේ. ඔවුන් ලබන්නේ විනෝදයකි - අජිත් තිලකසේනගේ ‘වින්දනය හා විනෝදය’ කෘතිය මේ කරුණ විග්‍රහ කරයි. වින්දනය රසඥතාව හා යන්නකි. සාහිත්‍යකරුවාට ලෝකය විනෝදයට තෝතැන්නක් සේ නොපෙනේ. සෙස්සන් ලෝකය විනෝද කෙළිබිමක් කරගැනීමේදී සාහිත්‍යකරුවා ඒ දේ ආවර්ජනය කරයි. ආවර්ජනය කරන්නේ ජීවිතය ඇසුරිනි. එහෙත් එහිදී ඔහු යථාව ඒ ආකාරයෙන් පිළි නොගනී. ඔහුට යථාව රළු වැඩි නිසාය. බිහිසුනු නිසාය. එනයින් ඔහු ලියද්දී යථාව වෙනස් කරයි. වෙනස් කර තමාගේ රූපයක් ආදේශ කරයි. ඔහුට වින්දනය නම් එයය. ලේඛකයකුට ලිවීමේදී මේ වින්දනය ලැබිය නොහැකි නම් - තමාගේ රූපයක් එක් කර යථාව කල්පිතයක් කළ නොහැකි නම් - ඔහුගේ ලිවීම නීරස වේ. ප්‍රබන්ධ නොවන රචකයා ලියන දේ බොහෝ විට නීරස වන්නේ ඔහුට මේ ලෙස යථාවට තමාගේ රූපයක් එක් කළ නොහැකි නිසාය.

සාහිත්‍යකරුවකු ලිවීමට අවතීර්ණ වන ආකාරයේ වෙනසක් තිබේ. ඔහුට ලිවීමට ඕනෑ කරන්නේ හැඟීම්ය. ඔහුට කරුණු ඕනෑ නැත. කරුණු ඕනෑ වන්නේ ප්‍රබන්ධ නොවන රචකයාටය. ප්‍රබන්ධ නොවන රචකයාට ලිවීමට කෙතරම් කරුණු/ තොරතුරු ඕනෑද යත් තොරතුරු බැංකුවක් නැතිව ඔහුට ලිවීමට නොහැකි වේ. එහෙත් සාහිත්‍යකරුවාටද ලිවීමට බැංකුවක් ඕනෑ වේ. ගිනුමක් ඕනෑ වේ. එහෙත් ඒ ගිනුම ජංගම ගිනුමක් නොව ඉතිරි කිරීමේ ගිනුමකි. එය ඔහුගේ ජීවිත කාලය පුරා එකතු වූ හැඟීම්, අනුභූතීන් තැන්පතුවකි. සාහිත්‍යකරුවකු ලියද්දී ලියන දේ වින්දනය කරන්නේ ඔහු කරුණු හෝ තොරතුරුවලින් බැහැරව අර අනුභූතීන්ගෙන්, හැඟීම්වලින් ලියන නිසාය - හැඟීම් හා අනුභූති ඔස්සේ තමා කිමිදෙන නිසාය. තොරතුරු ඇති විට මේ වින්දනයට ඉඩක් නැත. තොරතුරු/කරුණු වෙනස් කළ නොහැකි දේකි. එය නිශ්චිතය. දෘඪය. හැඟීම්, අනුභූතීන් එසේ නිශ්චිත හෝ දෘඪ නැත. ඒවා කතාකරුවාගේ මනෝභාව අනුව වෙනස් වේ. ලියන මොහොතේත්, සංස්කරණය කෙරෙන මොහොතේත් වෙනස් වේ. එනිසා ඔහුට ඒ හැම විටම ලියන දේ වින්දනය කළ හැකිය. කරුණු ඒ වින්දනයට යටත් නොවේ.

ප්‍රබන්ධකරුවකු ලිවීමේදී කරන්නේ චාරිකාවක් යෑමය. එය හැඟීම් හා පරිකල්පනය සමඟ වූ ගමනකි. ගමනක් හැම විටම වින්දනාත්මකය. වින්දනාත්මක වන්නේ එහිදී නොසිතූ නොපැතූ තැන්වලට යෑමට, අමුතු අමුතු පුද්ගලයන් මුණගැසීමට ලැබෙන නිසාය. එය කල්පනා ලෝක සවාරියකි. තවෙකෙකුට එය ෆැන්ටසි සවාරියක් විය හැකිය. මේ ආකාර සවාරියක් ප්‍රබන්ධකරුවාට ඔසුවක්ද වේ. එය වින්දනය මතින් ලැබෙන ඔසුවකි. ඔර්හාන් පාමුක් ඔහුගේ Other Colours නම් ප්‍රබන්ධ නොවන කෘතියේ සිය අසනීප තත්ත්වයන් සඳහා දිනපතා බෙහෙත් පෙති ගන්නා මෙන් ලිවීමද දිනපතා කරන බව සඳහන් කරයි. එසේ නොකළහොත් ඔහුගේ ‘අසනීප’ උග්‍ර වන නිසාලු. ප්‍රබන්ධ නොවන දේ ලියන්නාට ලිවීමෙන් මේ ආකාර සුවයක් නොලැබේ. ඉන් අැතැම් විට නැති අසනීප මතු විය හැකිය.

ප්‍රබන්ධකරණයේ කිසිවක් අවසාන අර්ථයෙන් නැත. එක් පසෙකින් එය කාලය සමඟ නව අරුත් උපදවන අතර අනෙක් පසින් නව කල්පනා ලෝකද බිහි කරයි. ලේඛකයකුගේ ප්‍රබන්ධයක් මුලින් පාඨක සමාජය ප්‍රතික්ෂේප කර පසුව පිළිගත් අවස්ථා කොතෙකුත් තිබේ. එසේ වන්නේ ප්‍රබන්ධයක් පාඨකයාගේ රස භාව සමඟ අලුත් වන නිසාය. පරිබාහිර කෘතියක් (Non Fiction) එසේ වීමට ඉඩක් නැත. එය හැම විටම අවසාන විග්‍රහයකි. ගුණදාස අමරසේකරගේ ‘ගනඳුරු මැදියම නොදුටිමි අරුණලු’ කෘතිය කාලය සමඟ අලුත් අරුත් උපදවන්නේ නැත. එහි ඇත්තේ හැමදාමත් එකම අරුතකි. සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ ද එසේය. එය බිහි වූ 1980 දශකයේ ඊට හිමි වූයේ යම් වටිනාකමක්ද දැන් එහි වටිනාකම වෙනස් විය හැකිය. එහෙත් ඉන් ගෙන ආ නිශ්චිත අරුත වෙනස් නොවේ. ප්‍රබන්ධකරුවකු මේ ලක්ෂණය ලේඛකයකු නිවැරදිව අවබෝධ කරගත යුතුය. නොඑසේව ඔහු අතින් ප්‍රබන්ධ කියා ප්‍රබන්ධ නොවන දෑ ලිවිය හැකිය.

මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා පියදාස සිරිසේනගේ හා මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා සම්බන්ධයෙන් පැවසූ කරුණක් සිහි වේ. නලින් ද සිල්වා කීවේ නවකතාකරුවකු මවන චරිත හැම විටම සංයුක්ත විය යුුතු බවත්, ඒ චරිත පාඨකයාට හඳුනාගත හැකි විය යුතු බවත්ය. නිදසුන් ලෙස ඔහු ගෙනහැර පෑවේ පියදාස සිරිසේනගේ නවකතා චරිතය. ‘ජයතිස්ස හා රොස්ලින්’ හි ජයතිස්ස පාඨකයාට නිශ්චිතව හඳුනාගත හැකි බවත්, ඔහු අසවල් ගණයේ කෙනකු බව පැහැදිලිව පෙනෙන බවත් කියන ඔහු වික්‍රමසිංහගේ නවකතාවල ගැටලුව එහි චරිත ඒ ආකාරයෙන් හඳුනාගත නොහැකි වීම යැයි කියයි. මෙහිදී ඔහු කියන්නේ කුමක්ද? ප්‍රබන්ධ චරිත හැම විටම අවසාන අර්ථයෙන් ඉදිරිපත් කළ යුතු බවයි. චරිතයක් පාඨකයා අනුව නොව හැම දෙනාටම එක ලෙස ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් ගැටලුව එසේ ඉදිරිපත් කළහොත් පාඨකයාට ඒ චරිතය වින්දනය කළ හැකිද යන්නය. ඇත්ත වශයෙන් ප්‍රබන්ධයක් වින්දනය යනු එය පාඨකයා තමා අනුව ගැනීමය. ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’

පාඨකයා කියවන්නේ දෙවොන්දරා සං හා නොරිකො සං තමාට අනුගත කරගෙනය. ‘මළවුන්ගේ අවුරුදු දා’ හි කථකයා ඔවුනට නොරිකො සං නොවේ, තමන්ය. ‘මළගිය ඇත්තෝ’ හි කථකයා ඔවුනට දෙවොන්දරා සං නොව තමන්ය. මේ ආකාරයට පාඨකයාට චරිත හා අනන්‍ය වීමට නොහැකි නම්, ප්‍රබන්ධයේ කල්පනා ලෝකය තමාගේ ලෝකයක් ලෙස ගත නොහැකි නම් ඔහුට එය වින්දනය කළ නොහේ. ප්‍රබන්ධ නොවන කෘතිය (Non Fiction) මෙසේ නොවේ. එය සාර්ථක වන්නේ අවසාන අර්ථයෙන් ඉදිරිපත් කළ විටය. එහිදී චරිත හා පරිසරය සමඟ - චරිත සහ පරිසරයක් තිබුණහොත් - පාඨකයාට අනන්‍ය වීමට නොහැකි නිසාය. එසේ නම් නලින් ද සිල්වා මේ කියන්නේ ප්‍රබන්ධයත් එසේ කාලය සමඟ අරුත් නූපදන, අනම්‍ය, අවසාන අර්ථයෙන් ඉදිරිපත් කළ යුතු බවය.

ලිවීම සුන්දර ව්‍යාපාරයක් යැයි කියති. එහෙත් සුන්දර විය යුත්තේ ප්‍රබන්ධකරණයය. ප්‍රබන්ධකරණයේදී කතාකරුවාට අලුත් අලුත් දෑ තැනීමට හැකි වන නිසාය. පරිබාහිර ලිවීමකදීද ඕනෑ නම් අලුත් දේ නිපදවිය හැකිය. එහෙත් එය ප්‍රබන්ධකරණය මෙන් සජීවී නොවේ.

ප්‍රබන්ධය තුළ ඇත්තේ ජීවමාන ලෝකයකි. ප්‍රබන්ධයක් සාර්ථකත්වයට පත් කිරීම යනු එය කතාකරුවාගේ ශක්තියෙන් බැහැරව ජීවමාන ලෙස පවතින තැනට පත් කිරීමය. ප්‍රබන්ධයක් ලියද්දී සංස්කරණය ඕනෑ වන්නේ මේ සඳහාය. එහෙත් සිංහල ලේඛකයෝ සංස්කරණයට ප්‍රිය නොවෙති. ඔවුනට සංස්කරණය පෙනෙන්නේ කෘතියට කරන හානියක් ලෙසය. තම කෘතිය උසස් ලෙස දැකීමට බැරි ඊර්ෂ්‍යාවෙන් එසේ කරන බවය. එහෙත් ප්‍රබන්ධයක් ජීවමාන කිරීමට සංස්කරණයක් ඇවැසිය - ඒ සංස්කරණයෙන් කොටසක් කළ යුත්තේ කතුවරයාමය. අනෙක සංස්කාරකවරයෙකි. ඇත්ත වශයෙන් සංස්කරණය වින්දනයකි. කතුවරයා එය සංස්කරණයද වින්දනයකි. ලිවීමේ වින්දනය තුළ සංස්කරණයේ වින්දනයද තිබේ. ලියන දේ වින්දනය කළ නොහැකි නම් කෙනෙකුගෙන් සජීවී, ඕපපාතික කෘතියක් බිහි නොවේ. ප්‍රබන්ධයට පරිබාහිර ලිවීමක් වුව සංස්කරණයකට යටත් කළ යුතුය. ඒ සංස්කරණය ඕනෑ වන්නේ කතුවර ශක්ති‍යෙන් නැඟී සිටින, ඕපපාතිකත්වයෙන් බැහැර කෘතියක් බිහි කිරීමටය.

නිර්මාණය හා වින්දනය ගැන වඩාත් අවධානය යොමු විය යුත්තේ අද නියම නිර්මාණකරණයක්වත්, වින්දනයක්වත් සිදු නොවන නිසාය. නිර්මාණය හා වින්දනය ඉගැන්විය නොහේ. එය කෙනෙකුගේ ප්‍රතිභාව මත ගොඩනැඟෙන්නකි. ප්‍රතිභාව යනු හුදු ‘ටැලන්ට් එක’ නොවේ. ඒ තුළ හැදෑරීම, ඉවසීම, පරාරෝපණයේ ශක්‍යතාව, සංස්කරණයට විවෘත වීම ආදී බොහෝ දේ තිබේ. ලේඛකයකුගෙන් නියම නිර්මාණයක් ලියවෙන්නේ හා එය වින්දනය වන්නේ ඒ සියලු දේ ඇත්නම්ය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා