පරිවර්තනය සහ අනුවර්තනය

 ඡායාරූපය:

පරිවර්තනය සහ අනුවර්තනය

දැනට දශක දෙක තුනක සිට මෙරට වඩාත්ම අලෙවි වන සාහිත්‍ය කෘති විශේෂය පරිවර්තනය. එනිසා වසරකට වඩාත්ම පළ වන ග්‍රන්ථ විශේෂයද පරිවර්තනය. එහෙත් අභාග්‍යයකට අපේ වඩාත්ම අවිධිමත් ලෙස නැතහොත් මුල් කෘතිවලට අතිශය හානිකර ලෙස පළ වන ග්‍රන්ථ විශේෂයද පරිවර්තනය. අද පරිවර්තනකරණයේ නියැලෙන අයගේ සේම ඒ පිළිබඳව විෂය කරුණු ලියන අයගේද ඇත්තේ ඒ ගැන ඉතා සාවද්‍ය අදහස්ය. ඒ බව වඩාත් තහවුරු වන ලිපියක් පසුගිය සතියේ (2018.05.11) භාව අතිරේකයේ පළ විය.‘පරිවර්තනයද කලාවකි’ මැයෙන් වූ එම ලිපිය ලියා තිබුණේ තිළිණි තරුෂි ද සිල්වා නම් කෙනෙකි. එමගින් ඈ පරිවර්තන සාහිත්‍යකරණය ගැන මෙසේද සඳහන් කරයි:

“පරිවර්තන ක්‍රියාවලියේ වැදගත්ම අංශය වනුයේ ඉලක්කගත පිරිසයි. ඒ අනුව පණිවිඩයේ ස්වභාවය, පරිවර්තකයාගේ අරමුණු හා ඉලක්කගත පිරිසගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි අවබෝධයක් පරිවර්තකයාට තිබිය යුතුය. ඇතැම් විට ඉලක්කගත පිරිස අනුව පරිවර්තනයේ ස්වභාවය වෙනස් විය හැකිය. පාඨක පිරිස අත්දැකීම් අඩු ළමා පිරිස, අලුතෙන් භාෂාව ඉගෙනගන්නා පිරිස, ප්‍රබුද්ධ උගත් පිරිස, විශේෂාංග දැනුම් ඇති පිරිස යනුවෙන් බෙදා දැක්විය හැකිය. මෙහිදී පරිවර්තකයාගේ අරමුණ හා ඉලක්කය වන්නේ ළමා පිරිස නම් ඔවුන්ගේ වයස, ආකල්ප, භාෂා ඥානය හා සමාජීය ඥානය වැනි කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත්ය. අලුතෙන්ම භාෂාව ඉගෙනගන්නා අය වෙනුවෙන් නම් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව සංවේදී විය යුතුය. ප්‍රබුද්ධ උගත් පිරිස වෙනුවෙන් ඔවුන්ට ගැළපෙන විදග්ධ භාෂාවක් උපයෝගී කරගත යුතුය....”

ලියුම්කාරිය මේ කරුණුවලින් කියාපාන්නේ පරිවර්තන සාහිත්‍යකරණය ගැන නම් නොවන බව පැහැදිලිය. සාහිත්‍යය තුළ ඇය කියන ආකාරයේ පණිවුඩ දීමක් නැති බැවිනි. ඇගේ ලිපියේ බරපතලම ගැටලුව අනෙකකි. එනම් “පරිවර්තන ක්‍රියාවලියේ වැදගත්ම අංශය වනුයේ ඉලක්කගත පිරිසයි” යනුවෙන් දක්වන කරුණයි. සැබැවින්ම පරිවර්තනයේ වැදගත්ම අංශය ඉලක්කගත පාඨක පිරිසද? එය එසේ නම් ඉලක්කගත පිරිස අනුව මුල් කෘතිය වෙනස්කම්වලට භාජන කළ යුතුය. ඇත්ත වශයෙන් ඇය යෝජනා කරන්නේ එයයි. මෙය විසිළුවක් වන්නේ පරිවර්තකයකුට කෙසේවත් මුල් කෘතිය කවරෙකු අනුව හෝ වෙනස් කළ නොහැකි බැවිනි.

පරිවර්තන කාර්යයේදී නොවැදගත්ම පිරිස පාඨකයාය. පරිවර්තකයා කළ යුත්තේ පාඨකයා ගැන කිසිදු අවධානයක් නොදක්වා මුල් කෘතියේ වාච්‍යාර්ථ හා ධ්වනිථාර්ථ හැකි තරම් පූර්ණ ලෙස දෙවන කෘතියට ගැනීමය. ධ්වනිථාර්ථ උකහාගැනීම පරිවර්තනයේදී ඉතා වැදගත් වේ. භාෂාවක ධ්වනිථාර්ථ වූකලී එය වහරන ජනයාගේ සංස්කෘතිය මත ගොඩනැඟුණු දේය. එනිසා වාච්‍යාර්ථ කෙසේ වෙතත් ධ්වනිථාර්ථ පරිවර්තනය පරිවර්තකයකුට මහත් අභියෝගයකි. එහෙත් පරිවර්තකයා නිසි භාෂා ප්‍රාගුණ්‍යයකින්, ව්‍යක්ත භාෂා හැසිරවීමකින් යුතු නම් ඔහුට මුල් බසේ එන ධ්වනිථාර්ථවලට ඔබින දෙවන බසේ ධ්වනිථාර්ථ සොයාගැනීම අපහසු නැත. එහිදී ඔහු පාඨකයා ගැන සිතුවොත් ඔහු ධ්වනිථාර්ථ තබා වාච්‍යාර්ථවත් පරිවර්තනය කරන්නේ නැත.

මෙහිදී ලියුම්කාරිය “ඉලක්කගත පිරිස අනුව පරිවර්තනයේ ස්වභාවය වෙනස් විය හැකිය” ලෙස කියන්නේ පරිවර්තනය නොව අනුවර්තනය සිහියේ තබාගෙන බවට සැකයක් නැත. එහෙත් අනුවාදයේදීවත් පාඨකයා අනුව මුල් කෘතියේ වචන ‐ අර්ථ වෙනස් කිරීමට හැකියාවක් නැත. අනුවර්තනය යනු මුල් කෘතියේ හරය දෙවන බසින් ඉදිරිපත් කිරීම වුවත් පාඨකයා අනුව මුල් කෘතිය වෙනස් කිරීමට හැකියාවක් නැත. එහෙත් අභාග්‍යයකට අපේ එසේ සිදු වූ අවස්ථා තිබේ. මීට හොඳ නිදසුනක් නම් අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් සිංහලට අනුවාදය කරන ලද වික්ටර් මාරි හියුගෝගේ පිටු 500ක් පමණ වන ‘ද ලේ මිසරාබ්ල’ නම් මහා නවකතාව පිටු 120කට පමණ අඩු කර කළ ‘මනුතාපය’ නම් කෘතියයි. මෙය අනුවාදයක් ලෙස හඳුන්වා ඇති අතර මුල් කෘතියේ චරිතවල නම්, ස්ථානවල නම්, ප්‍රදේශවල නම් මුළුමනින් ‘සිංහල’ කර තිබේ. නිදසුනකට මුල් කෘතියේ එන කතානායකයා ෂොන් වැල්ෂොන් වුවත් මෙහි ඔහුගේ නම ජනවර්ජනය. ඊළඟට මුල් කෘතියේ එන බොහෝ ප්‍රංශ නම් බීස්කූන් වහන්සේ, මංජුල පියා, ඡන්තු ලෙස ‘සිංහල’ කර තිබේ. නවකතාවක් යනු භාෂාත්මක ගොඩනැඟීමක් වුවත් මෙහිදී එය අර්ථ සාරංශගත කිරීමක් වී ඇත. එය අර්ථමය ඉදිකිරීමක් නම් නවකතාවේත්, වාර්තාමය නිබන්ධනයේත් අතර වෙනසක් තිබේද?

ඇත්ත වශයෙන් අනුවාදය යන්න සාහිත්‍ය පරිවර්තනයේලා උචිත අංගයක් නොවේ. අනුවාදය ඇවැසි වෙතොත් ඇවැසි වන්නේ දුරවබෝධ ප්‍රබන්ධ නොවන කෘති (Non Fiction) සරල ලෙස දෙවන බසකට නැඟීමටය. නිදසුනකට හිට්ලර් ලියූ ‘මේන් කෑම්ප්ෆ්’ (‘මගේ අරගලය’) නම් සිය නට්සි න්‍යාය පැහැදිලි කරන කෘතිය පරිවර්තනයක් ලෙස දුනහොත් පාඨකයාට කියවීම අපහසු වේ. එහෙත් එහි සාරය පමණක් අනුවාදය කළහොත් එය පාඨකයාට අවබෝධය පිණිස හේතු වේ. සිතන්න, ‘ගම්පෙරළියේ’ සාරය අනුවාදයක් ලෙස ඉදිරිපත් කළහොත් කුමක් වේද? එවිට එහි පාඨකයාට කියවීමට (රස විඳීමට) දෙයක් නැති වනු ඇත. ‘විරාගය’, ‘මළගිය ඇත්තෝ’ වැනි නවකතාවක් අනුවාදය කළහොත් ඒ අනුවාදයට නිශ්චිත කතාවක් හෝ ඉදිරිපත් කළ හැකි වේද? ‘විරාගයේ’ නම් එවැනි කතාවක ඡායාවක් තිබේ. ‘මළගිය ඇත්තෝ’ හි, ‘මළවුන්ගේ අවුරුදු දා’ හි එවැන්නක් නැති තරම්ය. තිබුණත් පිටු හතර ‐ පහකින් විනා පිටු සියය හමාරකින් ඒ දිය හැකි නොවේ.

නවකතාව රස නිෂ්පත්තියේ ප්‍රකාශනයක් විනා අදහස් හෝ කතාන්දර ඉදිරිපත් කිරීමක් නොවේ. අනුවාදය කළ හැක්කේ අදහස් හා කතන්දරය. එවිට අදහස් හා කතා නැති ප්‍රබන්ධ අනුවාදය කළ නොහේ. මෙනිසා සාහිත්‍යයට අනුවාදය කෙසේවත් ගැළපෙන්නක් නොවේ. සැබැවින්ම අපේ වුව සාහිත්‍ය අනුවාදය සිදු වූයේ මීට දශක හත, අටකට පෙරාතුවය. එහෙත් අද කිසිවෙක් කිසිවක් අනුවාදය කරන්නේ නැත. මට හැඟෙන ලෙස අනුවාදය අපට අනුගත වූයේ රුසියානු සාහිත්‍යය හා සමඟය. 19 වෙනි සියවසේ බිහි වූ රුසියානු සාහිත්‍යය පිටු හත්අටසීයේ විසල් පොත් විය. එසේ වීම සාධාරණය. ඒවා එම කතුවරුන් ලීවේ බොහෝ විට එදා පුවත්පත් හා සඟරාවලට කොටස් වශයෙනි. ඒ තුළ එහි වූයේ හුදු කතාව පමණක් නොවේ. එහි තත් කාලීන සමාජ, දේශපාලන සිදුවීම්, කතිකා, කලබැගෑනිද සවිස්තරාත්මකව ඇතුළත් විය. මෙනිසා ඒ කෘති සාකල්‍යයෙන්ම විශාල විය. එහෙත් ඒවා සියවසක් ඉක්බිති පාඨකයාට ඉදිරිපත් කිරීමේදී ඒ මුල් සමාජ, දේශපාලන කථනය එක සේ පාඨකයාට වැදගත් නොවිය හැකිය. ඒ වැදගත් වෙතොත් වන්නේ සමාජ, දේශපාලන ඉතිහාසය හදාරන සරසවි විද්‍යාර්ථීනට පමණි. මෙනිසා ඒවා පොදු සාහිත්යික පාඨකයාට දීමේදී මුල් කෘතිවල එන එම කාලයට පමණක් වලංගු, නීරස, දීර්ඝ සමාජ, දේශපාලන අදහස් ඉවත් කර කතාව හා ඒ ආශ්‍රිත රස පමණක් දීම නිසගයෙන් සිදු විය. අනුවර්තනය අපට ආවේ මෙහි ප්‍රතිඵල වශයෙනි.

එහෙත් මා සිතන්නේ අනුවර්තනය නොවිය යුතු විශ්ව සාහිත්යික කෘතිද අපේ අනුවාදය වී ඇති බවයි. නිදසුනකට චාල්ස් ඩිකන්ස්ගේ ‘ඔලිවර් ට්විස්ට්’ කෘතිය

ඊ. ආර්. එරත්න විසින් ‘රොමාගෙ වාසනාව’ ලෙස සිංහලට අනුවාදය විය. මේ අනුවාදය ඉතා ආකර්ෂණීයය. ස්වතන්ත්‍ර නවකතාවක් වැනිය. එහෙත් එය මුල් කෘතිය විකෘති කිරීමකි. වෙනත් ලෙසකින් කිවහොත් එය මුල් කෘතියේ වස්තුව හා චරිත අනුවාදකයා සොරාගෙන තමාගේ නිර්මාණයක් ‍ලෙස ඉදිරිපත් කිරීමකි. ඒ.පී. ගුණරත්න ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle නම් නවකතාව ‘බැද්දේගම’ නමින් අපූරුවට සිංහලට නැඟූ බව අපි දනිමු. එහෙත් එයද අනුවාදයකි. නවකතා පරිවර්තනයක් එහි නැත. මා සිතන්නේ Village in the Jungle නවකතාව අද බිහි වූයේ නම් කිසිවෙකු එය අනුවාදය කරන්නේ නැත. කරනු ඇත්තේ එහි පරිවර්තනයය. මෙනයින් අනුවාදය දෙවන බසේ පාඨක සමාජයේ සාහිත්යික සංස්කෘතිය මත ගොඩනැඟෙන දේකැයි කිව හැකිය. අනෙක් අතට අනුවාදයක් තුළින් පාඨකයාට කතා රසයක් විනා මුල් ලේඛකයාගේ භාෂා ශූරත්වය, ඔහුගේ සාහිත්යික උපක්‍රම, තාක්ෂණයේ භාවිතය, භාෂා ප්‍රයෝග, ආකෘතික හරඹ යන කිසිවක් විනිශ්චය කළ නොහැකිය. ඒවා පරිවර්තනය වීමක් අනුවාදයේදී සිදු නොවන නිසාය. ඇත්ත වශයෙන් ඉන් විනිශ්චය කළ හැක්කේ අනුවාදකයාගේ භාෂා ශූරත්වය, භාෂා ප්‍රයෝග, සාහිත්යික උපක්‍රම ආදියය. මෙනිසා සාහිත්‍ය කෘති අනුවර්තනය මුල් කෘතියේ සාහිත්යික ව්‍යූහය කෙලෙසීමකි. මුල් ලේඛකයා සාහිත්යික වශයෙන් දැරූ අතිමහත් පරිශ්‍රමය සුන්නද්දූලි කිරීමකි.

අභාග්‍යයකට පරිවර්තනය ගැන මෙන්ම අනුවාදය ගැනද මේ දැනුම ගන්නා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකු මෙරට නැත. අද අපේ ඇතැම් විශ්වවිද්‍යාලවල පරිවර්තන ක්‍රමවේදය විෂයක් ලෙස උගන්වනු ලැබේ. එහෙත් එහිදී සිසුන් පුරුදු පුහුුණු කරන්නේ පරිවර්තනය ගැන සම්මත සාවද්‍ය දැනුමක් ලබාගැනීමට පමණි. අද ලොව පරිවර්තන විෂය විසල් අධ්‍යයන ක්‍ෂේත්‍රයකි. ලොව සෑම පිළිගත් විශ්වවිද්‍යාලයකම ඒ පිළිබඳව කළ උපාධි, පශ්චාත් උපාධි නිබන්ධන තිබේ. ඇතැම් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි නිබන්ධනම සිය ගණනක් තිබෙන බව අන්තර්ජාලය පිරික්සන විට පෙනී යයි. ඒවා සැබැවින්ම පර්යේෂණය. ලොව හමුවේ විදාරණය වූ දැනුමේ නිම්වළලු පුළුල් කළ පර්යේෂණය. එහෙත් අපි කාටවත් ඵලක් නැති, සාවද්‍ය අදහස් පරිවර්තනයේ නාමයෙන් ඉදිරිපත් කරමු. ඉහත ලියුම්කාරියගේද ලිපියෙන් තහවුරු වන්නේ එයයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?