පිරිහීම!

 ඡායාරූපය:

පිරිහීම!

“නවකතාව තරම් කෙටිකතාව පිරිහිලා නැහැ” යි සාහිත්‍යවේදී රංජිත් ධර්මකීර්ති පසුගිය සතියේ භාව අතිරේකය හා පැවති සාකච්ඡාවේදී පවසා තිබිණි. කෘතියක් උසස් වීමට ප්‍රධාන නිර්ණායක දෙකක් ඔහු ඉදිරිපත් කරයි. ඒ, මෙලෙසය:

“එකක් තමයි එය පාඨකයාත් සමඟ කොච්චර කාලයක් ජීවත් වෙනවාද කියන එක. ඒවගේම තමයි ඒ අත්දැකීම කොච්චර පරණ වුණත් එහි විශ්වාන්තර, කාලය ඉක්මවන ප්‍රබල ශක්තියක් තියෙන්න ඕන.”

මේ නිර්ණායක මෙන්ම රංජිත් ධර්මකීර්ති දක්වන ‘පිරිහීම’ පිළිබඳ කරුණ ගැනද මට ඇත්තේ ගැටලුවකි. මා කල්පනා කරන්නේ මූලික ප්‍රශ්නය පිරිහීම නොව මුල පටන්ම අප නවකතාව හා කෙටිකතාව වරදවා ගැනීම බවය.

සැබැවින්ම සිංහල ප්‍රබන්ධකරුවන් ප්‍රබන්ධය ගෙන ඇත්තේ වචනවලින් අර්ථ සපයන මාධ්‍යයක් ලෙසය. වචන යනු සංකේත පද්ධතියක් බවත්, ඉන් යථාර්ථය ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවත්, ප්‍රබන්ධකරුවා වචන උපයෝගී කරගන්නේ භාව උද්දීපනය සඳහා (රස නිෂ්පත්තිය සඳහා) පමණක් බවත් ඔවුන් වටහාගෙන නැත. ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රබන්ධය ඔවුනතින් පුවත්පත් වාර්තාවක් ගණයට වැටීමය.

ඇත්ත වශයෙන් කිසිදු සාහිත්‍යාංගයක් තවත් සාහිත්‍යාංගයකට වඩා උසස් හෝ පහත් වන්නේ නැත. හැම සාහිත්‍යාංගයක්ම ගමන් කරන්නේ එකම ගමන් පථයකය. එක් සාහිත්‍යාංගයක් පහත වැටෙන්නේ අනෙක් සාහිත්‍යාංගය ‘පිරිහී’ ඇති නම්ය. එහෙත් මෙහිදී එවැනි ‘පිරිහීමක්’ නැත. ‘පිරිහීමේ’ වචනය සාහිත්‍යයට අදාළ වන්නක්ම නොවේ. ලියවෙන යමක් වන්නේ එක්කෝ සාහිත්‍යයය. නැත්නම් සාහිත්‍යයෙන් තොරය. ගුණදාස අමරසේකරගේ ‘ගමනක මුල’ සිට එන නවකතා මාලාවේ බොහෝ කෘති සාහිත්‍යය නොවේ. ඔහුගේ ‘මරණ මංචකයේ දුටු සිහිනය’ කෙටිකතා සංග්‍රහයේ සාහිත්‍යයක් ඇත්තේම නැත. එය පිරිහීමක් නොවේ. පිරිහීමක් ඇති වන්නේ සාහිත්යික ගුණයක් ඇති නම්ය. පුවත්පත් වාර්තාවක සාහිත්යික ගුණයක් නැත. දේශපාලන දර්ශනයක් සනාථ කරලීමට ලියන දේකද සාහිත්යික ගුණයක් නැත. ඊට පිරිහීමේ වචනය පාවිච්චි කළ නොහැකිය.

යමක් සාහිත්‍යය නම් එය අමතන්නේ උත්තර රසිකයාගේ රස භාවය. ඒ රසාස්වාදනය තුළින් ඔහු ලබන විශේෂ දෙයක් වේ. ඒ, ජීවිතාවබෝධයය. පුවත්පත් වාර්තාව හා දාර්ශනික ලියවිල්ලද ජීවිතාවබෝධයක් ලබා දේ. එහෙත් ඒ අවබෝධය ආනන්දය තුළින් දෙන්නක් නොවේ. තෝල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’, දොස්තොයෙවුස්කිගේ ‘අපරාධය හා දඬුවම’ පාඨකයා ඥානනය කරන්නේ ප්‍රථමයෙන් ඔහුගේ භාව ඇමතීමෙනි. ඒ අනුව ‘ඇනා කැරනිනා’ හා ‘අපරාදය හා දඬුවම’ කාලයට ස්වායත්තව මහා නවකතා මෙන් ඉතිරිව තවමත් පවතින්නේ හුදු පාඨකයා නිසා නොව රසඥතා ශක්තියෙන් හෙබි පාඨකයා නිසාය.

මෙහි පොදු පාඨකයාට විශ්වාන්තර ශක්තියක් නැත. සම්භාව්‍ය කෘතියක ඇත්තේ උසස් රසිකයා හා ගනුදෙනු කරන ශක්තිය පමණි. එය ආමන්ත්‍රණය කරන්නේ විශ්ව පාඨකයෙක් නොවේ, එක් පාඨකයෙකි. ඒ පාඨකයා උසස් රසඥතා ශක්තියෙන් හෙබි අයෙකි. කෘතියේ ඇත්තේ ඒ පාඨකයා කම්පනය කිරීමට සමත් දෑය. තවද ඒ කම්පනයද කෘතිය තනිව ඇති කරන්නක් නොවේ. එය පාඨකයා හා කෘතිය එක් වී කරන මෙහෙයුමකි. එය හවුල් මෙහෙයුමකි. සාහිත්‍ය කෘතියේ ඇත්තේ ඒ හවුල් මෙහෙයුම සඳහා ඇති බලශක්තිය පමණි. රසඥතා ශක්තියෙන් හීන පාඨකයකු කවර සම්භාව්‍ය කෘතියක් කියවුවද නියම ප්‍රතිඵල නොලබන්නේ ඒ කෘති ලියා ඇත්තේ එවැනි හවුල්කරුවන් සඳහා නොවන බැවිනි. ගුණදාස අමරසේකරගේ නවකතා, කෙටිකතා ආදිය ඇතැම් පාඨකයින් නොපැකිළව වණනු පෙනේ. කවුද ඒ ඇතැම් පාඨකයින්? බොහෝ විට පැරණි චින්තන පර්ෂද සාමාජිකයින් හා දේශ හිතෛෂිකයන්ය. ඒවා කතුවරයා ලියා ඇත්තේ එවැනි හවුල්කරුවන් සඳහාය. නොඑසේව රසිකත්වයෙන් හෙබි හවුල්කරුවන් සඳහා නොවේ.

පිරිහීම යන වචනයේ තවත් ගැටලුවක් තිබේ. එයින් සංඛ්‍යාව පිළිබඳ අරුතක් වහනය වේ. සාහිත්‍යයට සංඛ්‍යාව අදාළ වන්නක් නොවේ. සංඛ්‍යාව සඳහා ප්‍රබන්ධ ලියන්නේ ජනප්‍රිය කතාකරුවන්ය. උසස් නවකතාකරුවන් පාඨක සංඛ්‍යාව වැඩි කර ගැනීමට නවකතා ලියන්නේ නැත. පෙර කී පරිදි ඔහු ආමන්ත්‍රණය කරන්නේ එක් පාඨකයෙකි. ඔහු උසස් රසඥතා ශක්තියෙන් හෙබිය. එනිසා ඔහු කරන්නේ ඔහුද කැටුව ගමනක් යෑමය. ඒ ගමනේදී ඔහු තනිව තීරණ ගන්නේ නැත. මැජික් පොල්ල ඔහු සතුව නැත. මැජික් පොල්ල පාඨකයා සතුවද නැත. එය ඇත්තේ චරිත සතුවය. චරිත සතුව ඒ ඇති නිසා එවැනි කෘතියක් කියවද්දී පාඨකයාට කතුවරයා ගැන හැඟීමක් නැත. එහි කතුවරයා මැරිලාය! සැබැවින්ම උසස් කෘතියක හැම විටම

ජීවත් වන්නේ චරිතය. කතුවරයා නොවේ. එහෙත් ජනප්‍රිය කෘතියක මැරෙන්නේ චරිතය. කතුවරයා එහි ජීවත් වේ. ජීවත් වෙමින් නවකතාව ගමන් කරන ගමන් පථය පාඨකයාට තෝරා බේරා දේ. එහි ඔහු ආඥාදායකයෙකි. එනිසාම ඉන් පාඨකයා ජීවිතාවබෝධයක් ලබන්නේ නැත. ඉන් ලබන අවබෝධය කතුවරයා ලබාදෙන, අප දන්නා දැනුමක් බැවිනි.

උසස් ප්‍රබන්ධයේ ඇත්තේ චරිතවල ක්‍රියාකාරීත්වයෙන් පාඨකයා තනිව ලබන දැනුමකි. එය පාඨකයා අාත්ම ගවේෂණයෙන් තමා තුළ ඇති කිසිවක් සොයාගැනීම බඳුය. එහිදී කතුවරයා කරන්නේ පාඨකයාට ආත්ම ගවේෂණයට මඟ සකසා දීමය. තවද මෙහිදී පාඨකයා ලබන දැනුම බාහිරයේ පවතින ‘හොඳ’‐ ‘නරක’ පිළිබඳ දැනුම නොවේ ‐ මෙය හොඳය, මෙය නරකය යන්නක් එහි නැත. එය නරක හොඳ වන අසම්මත දැනුමකි. ‘අපරාදය හා දඬුවමේ’ රස්කොල්නිකොව්ගේ ක්‍රියාකාරීත්වයෙන් අප ලබන්නේ එවැනි දැනුමකි. අනෙක් අතින් ජනප්‍රිය ප්‍රබන්ධයක එවැනි අවබෝධයක් ලැබීමට ඉඩක් නැත. එහි චරිත මෙහෙයවන්නේ කතුවරයාය. කතුවරයා මෙහෙයවන කවර ප්‍රබන්ධයක් වුව අවසාන වශයෙන් සලකන්නේ පාඨක සංඛ්‍යාවය. අලෙවි වන පොත් සංඛ්‍යාවය.

සංඛ්‍යාව උසස් ප්‍රබන්ධයකට අදාළ නොවීමට හේතුවක් තිබේ. ඒ, විදග්ධ ප්‍රබන්ධකරුවා ලියන්නේ ජනප්‍රිය කතාකරුවා මෙන් සිහියෙන් නොවීමය. ඔහු ලියන්නේ අසිහියෙන්ය. අවිඥානයෙන්ය. අවිඥානිකව ලියන කතාකරුවකුට පාඨක සංඛ්‍යාව සිහි නැඟෙන්නේ නැත. අවිඥානයෙන් ලියද්දී බාහිරයේ පෙනෙන්නේ ඡායාවකි. බැවැහර ලෝකය ඔහුට බොඳ චිත්‍රයකි. ඒ

පෙනෙන - නොපෙනෙන ඡායාව වැදගත් වන්නේ කතාකරුවාට ලිවීම ඔස්සේ අයාලේ යෑමටය. දෙන ලද ලෝකයෙන් ගැලවීමටය. බාහිර ලෝකය බොඳ ලෝකයක් වශයෙන් නොව පැහැදිලි රූපයක් ලෙස දකිමින් දෙන ලද ලෝකය ලියද්දී කතාකරුවකු බිහි කරන්නේ යථාර්ථයේ ඇසට පෙනෙන දේය. එහි නොපෙනෙන යථාව ඔහු විවරණය කරන්නේ නැත.

මෙසේ බැලූ විට අප කථා කළ යුතු වන්නේ “නවකතාව තරම් කෙටිකතාව පිරිහිලා නෑ” යන්නක් නොව මේ නවකතාව හෝ කෙටිකතාව සැබැවින්ම නවකතාද, කෙටිකතාද යන්නය. මෙහිදීද වැදගත් වන්නේ ප්‍රබන්ධය සිංහල ප්‍රබන්ධය මත තබා සැසඳීම නොවේ, බටහිර ප්‍රබන්ධය මත තබා සැසඳීමය. මෙතෙක් කලක් බොහෝ සිංහල නවකතාකරුවන් කළේ ‘ගම්පෙරළිය’ පූර්වාදර්ශ කරගෙන නවකතා ලිවීමය. එහි ප්‍රතිඵල අපි දනිමු.

මෙහි විචාර කලාව පිළිබඳවද ගැටලුවක් ඇති බව අවබෝධ කටයුතුය. නිසැකවම ‘පිරිහීමේ’ කතාබහ අප අතරට පැමිණ ඇත්තේ වැරදියට ප්‍රබන්ධය විචාරය කිරීම නිසාය. අපේ විචාර කලාව තවමත් සදාචාර විනිශ්චය මත සිදු වන්නකි. පිරිහීම යන වචනයම ඒ සදාචාර කෝදුවේ එක් අන්තයකි. මාර්ටින් වික්‍රමසිංහ සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව විචාරය කරද්දී ඔහුට ගැටලුව දෙවොන්දරා සං කියොතෝහි ගණිකා මඩමක් වෙත යෑමය.

උත්තම ‐ අධම, අභිවෘද්ධිය ‐ පිරිහීම යන මේ සරල දෙබෙදුම විදහාපෙන්වන්නේ විචාරයේ මේ ගැටලුවය. සදාචාර ගැටලුවය. පේරාදෙණි සාහිත්‍ය විචාරය තුළ මෙරට විචාර කලාව කිසියම් දුරට නිවැරදි දිශාවක පැමිණියත් වර්තමානයේ ඊනියා පශ්චාත් නූතන විචාරකයින් නිසා එය නැවත ව්‍යකූල වී තිබේ. එය සාහිත්‍යය නව ජනතාවාදයකට මෙහෙයවන විචාර කලාවකි. එය නම් පිරිහීමක්මය. සිංහල සාහිත්‍යකරුවන් අද හඬ නඟනවා නම් හඬ නැඟිය යුත්තේ මේ පිරිහීමට එරෙහිවය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා