නියෝගය විනිශ්චය කිරීමට ඔවුන් පුහුණු කර නැත | ඇස පාදන රැස


නියෝගය විනිශ්චය කිරීමට ඔවුන් පුහුණු කර නැත

 ඡායාරූපය:

නියෝගය විනිශ්චය කිරීමට ඔවුන් පුහුණු කර නැත

ඉතාලි ජාතික නවකතාකරු ප්‍රීමෝ

මීට මාස දෙකකට පෙර මගේ ප්‍රකාශකයා මගෙන් ඇහුවා රුඩොල්ෆ් හෙස් ලියූ පොතකට පෙරවදන ලියා දෙන්න පුළුවන්ද කියල. දන්නවාද ඔබ ඔහු කවුද කියල? ඔහු තමයි අවුෂ්විට්ස් කඳවුරේ කොමාන්ඩර්වරයා. අණ දෙන නිලධාරියා. මගේ අදහසේ හැටියට ඒක ඉහළ පන්නයේ පොතක්. මම එහි අඩු වැඩි වශයෙන් මෙහෙම ලිව්වා: “සාමාන්‍යයෙන් නම් පොතකට පෙරවදන සැපයීමට ලේඛකයකුට ආරාධනා කරන්නේ ඔහු පොතට ඇලුම් කරන නිසාය. මේ පොත ලස්සනයි කියා ඔහු සිතන නිසාය. එහෙත් දයාබර පාඨකයිනි, මේ පොත ලස්සන නැත. මම එයට ඇලුම් නොකරමි.

මම එය පිළිකුල් කරමි. එහෙත් එය ඉතා වැදගත්ය. මක් නිසාද සාමාන්‍ය මිනිසකු මිලියන ගණන් ජීවිත වැනසූ මිනීමරුවකු වීම දක්වා රෙජීමයක් විසින් ඔහු විකෘති කළ හැකි ආකාරය ඉන් ඔබට උගන්වන නිසාය.” හෙස්ට ඇත්ත වශයෙන් තිබුණේ දුෂ්කර තරුණ කාලයක්.... පළමු ලෝක යුද සමයේ ඔහු අරාබි ගරිල්ලන් එක්ක සටන් කරන්න ඉරාකයට දාලා තිබුණා. කොහොම වුණත් ඔබත්, මාත් හැදුණු ලේ, මස් වලට වෙනස් දේකින් ඔහු හැදිලා නෑ. ඔහුට තිබුණෙ මනුෂ්‍ය මස්, ලේ. ඔහු උපතින් අපරාධකාරයෙක් නෙවෙයි. ඔහු විකෘතියක් නෙවෙයි. ඔහු හැදිලා තියෙන්න ඕන සම්මත මනුෂ්‍ය පදාර්ථයන්ගෙන්.

ඒත් ඔවුන්ගේ ජාතිකවාදී ප්‍රවාහයට ඇතුල් වෙලා, ඉන් පස්සෙ නට්සි අධ්‍යාපනයකට නතු වෙලා ඔහුගේ පුහුණුව ඔහු එහෙයියෙක් කළා - හැම දේකටම “ඔව්!” කියන්නෙක් කළා. ඔහු නීතියට ඈඳුණු කෙනෙක් වුණා. හයින්රිච් බොල් නිවැරදියි. හෙස් නියම ජර්මානුවෙක්. ඒ යුගයේ නීතිය හිට්ලර්ගේ සහ හිම්ලර්ගේ වචන එක්ක සමපාත වුණාද කියල ඔහු සිතුවෙ නෑ. ඔහු ඉතා සුහදශීලීව ප්‍රකාශ කළා හිම්ලර් විසින් නිකුත් කරන ලද නියෝගයක් නොසලකා හරින්න ඔහුටවත්, ඔහුගේ සගයින්ටවත් පුළුවන්කමක් තිබුණෙ නෑ කියල. ඒත් ඒක නෙවෙයි කාරණය. ඕනෑම ආකාරයේ නියෝගයක් අප්‍රමාදව පිළිපදින්න ඔවුන් පුහුණු කරලා තිබුණා - නියෝගයෙන් කියන දේ විනිශ්චය කරන්න ඔවුන් පුහුණු කරලා නැහැ. කියන දේට කීකරු වෙන්න විතරයි පුහුණුව තියෙන්නෙ.

මාතෘකා