බදු පනත සහ පොත් ප්‍රකාශනය!

 ඡායාරූපය:

බදු පනත සහ පොත් ප්‍රකාශනය!

නව බදු පනත ලේඛකයින්ගේ කර්තෘභාගයට කරන බලපෑම පිළිබඳව පසුගිය සතියේ විශාල කතාබහක් ඇති විය. එ් කතාබහේ නියමුවන් වූයේ ලංකා ලේඛක සංවිධානයයි. ‘භාව’ අතිරේකයේද පසුගිය සතියේ (අප්‍රේල් 27 වෙනිදා) 

ඒ ගැන මත විමසුමක් ඇති වූ අතර එය තරමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබිණි. එහිදී ඇතැම් ලේඛකයනට - වෙසෙසින් ලංකා ලේඛක සංවිධානයේ ලේඛකයනට - නව බදු පනත මහා විපත්තියක් වෙද්දී තවත් ලේඛක පිරිසකට එය අවඥාවට කරුණක් විය.

බදු පනත හා ලංකා ලේඛකයින් ගැන අවඥාවෙන් කථා කළ පිරිස පවසන්නේ එවැනි බදු පනතක් ප්‍රායෝගික නොවන බවය. හේතුව ලේඛකයනට කර්තෘභාගය වශයෙන් ලැබෙන්නේ ඉතා ස්වල්ප මුදලක් (පොතේ මිලෙන් සියයට දහයක්) වීමය. එවිට ඒ අල්ප ගෙවීමෙන් සියයට 14ක් බදු ලෙස අය කරගැනීම ප්‍රායෝගික නැත. දයා දිසානායක මහතා එහිදී සඳහන් කර තිබුණේ ලංකා ලේඛක සංවිධානය ඔයිට වඩා ලේඛකයින්ගේ ප්‍රායෝගික ගැටලු ගැන මැදිහත් විය යුතු බවය. දැනට ලේඛකයනට ගෙවන සියයට 10 යේ කර්තෘභාගයද ප්‍රමාණවත් නොවන බවත්, එය ඉහළ නංවාගැනීමට ලංකා ලේඛකයින් පසුගිය කාලයේම ක්‍රියාත්මක නොවූ බවත් ඔහු දක්වා තිබුණි. වෙසෙසින් පොතක දෙවන, තෙවන, සිව්වන ආදී වූ මුද්‍රණවලදී ප්‍රකාශකයනට වැය වන්නේ තීන්ත හා කඩදාසි මිල පමණක් නිසා එවිට ලේඛකයනට පළමු මුද්‍රණයේදී කරන ගෙවීමට වඩා වැඩි කර්තෘභාගයක් ගෙවිය හැකි බව ඔහු කියා තිබුණි. අනෙක් අතට ලංකා ලේඛක සංවිධානයේ සභාපති ටෙනිසන් පෙරේරා හා ලේකම් කමල් පෙරේරා සඳහන් කර තිබුණේ නව බදු පනත දැනටමත් ගැසට් කර අවසන්  නිසා එය හෑල්ලුවට නොගත යුතු බවය.  

එහිදී අදහස් දැක්වූ එක් ප්‍රකාශකයකු කියූ කරුණක් මා තුළ විස්මයක් ජනිත කළේය. ඔහු කියා තිබුණේ නව බදු පනත නිසා තමන් පසුගිය කාලයේම ලේඛකයනට ගෙවීම් කළේ කර්තෘභාගයෙන් සියයට 14ක් අඩු කර බවය. එහිදී ඔහු තවත් කරුණක් දක්වා තිබුණි. ඇත්ත වශයෙන් එය කරුණු දෙකකි. පළමුවැන්න පනත අනුව කර්තෘභාගයෙන් බදු අය කිරීම නිශ්චිතව පැහැදිලි නොවන බවත්, තමා ඒ ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ විටද තහවුරු වූයේ එය බවත්ය. දෙවැන්න තමන් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමඟ මේ පිළිබඳව සාකච්ඡා නොකළ බවත්, ඉදිරියේදී ඔවුන් හා සාකච්ඡා කර ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන බවත්ය. මෙහිදී මට පැනනඟින ගැටලුව එම ප්‍රකාශකයා ලේඛකයින්ගේ කර්තෘභාගයෙන් සියයට 14ක් කපමින් පසුගිය කාලයේ ගෙවීම් කළේ පනත ගැන ඔහු කී ආකාර සැකමුසු තත්ත්වයක් පවතිද්දීද යන්නය. වෙසෙසින් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ස්වර්ණ පුස්තක සම්මානාදියද පුද කරන්නේ නවකතාවේ උන්නතිය හා ලේඛකයින්ගේ අභිවෘද්ධිය සඳහා නම් ඔවුනට මේ ආකාර අත්තනෝමතික දේ නෑසූ කන්ව බලා සිටිය හැකිද යන්නය. ඇත්ත වශයෙන් ලංකා ලේඛක සංවිධානය දයා දිසානායක වැනි අයට පහර දෙනු වෙනුවට දැන් කළ යුතු වන්නේ එක් පසෙකින් නව බදු පනත ලේඛකයනට අදාළ නොවන තැනට වැඩ කටයුතු කිරීමය. අනෙක් පසින් ප්‍රකාශකයින් ලේඛකයින් සූරාකෑමෙන් ගලවා ගැනීමට පියවර ගැනීමය. එහෙත් ඒ දෙවන කරුණ වෙනුවෙන් ලංකා ලේඛක සංවිධානය ක්‍රියාත්මක වේද යන්න සැක සහිත වන්නේ ඔවුනට එවිට අදාළ මහා ප්‍රකාශකයින් සමඟ (පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන ප්‍රකාශකයින් සමඟ) මුහුණට මුහුණ ලා ගැටීමට සිදු වන නිසාය. එසේ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ කෘති එම ප්‍රකාශකයින් හරහා ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි වීමය.  

නිසැකවම ලේඛකයින් වැනි පිරිසකට බදු අය කිරීම අමන පියවරකි. ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා දැක්වූ පරිදිම රුපියල් සියයක පොතකට අපේ කර්තෘභාගය වශයෙන් ලැබෙන්නේ රුපියල් දහයකි. එවිට ඉන් සියයට 14ක් බදු අය කිරීම යනු කතුවර ගෙවීම රුපියල් අටයි ශත හැටට බැසීමකි. අනෙක් අතට ප්‍රකාශකයාට (මුද්‍රණ ශිල්පීන්ද ඔවුන්ම නම්) එහිදී ලැබෙන මුදල රුපියල් 90කි. එනිසා ලේඛකයින්ගෙන් බදු අය කිරීමේ නිර්ලජ්ජිත තැත පැරදවිය යුතුමය. ඊට කිසිදු ලේඛකයකු පැකිළෙතැයි නොසිතමි.

අනෙක් අතට කර්තෘභාගය ගැන මතු වූ මේ නව පිබිදීම හරහා එහි යථාර්ථය පිළිබඳවද අප දැනුවත් විය යුතුය. සැබැවින්ම දයා දිසානායක ලේඛකයා පැවසූ පරිදිම මෙරට සියයට දහයේ හෝ කර්තෘභාගය නොලැබෙන ලේඛක පිරිස අතිමහත්ය. මා සිතන ලෙස ඒ පිරිස කර්තෘභාගය ලබන පිරිසට වඩා වැඩිය. එම ලේඛකයනට - බොහෝ විට ලේඛක සංගම්වල හෝ මාධ්‍යවල අනුග්‍රහය නොලබන ලේඛකයනට - මුදල් ගෙවීමේ බලය හිමි ප්‍රකාශකයින් හා හෙට්ටු කිරීමේ ශක්තියක් නැත. මෙහි අනෙක් ඛේදනීය පැත්ත බොහෝ ප්‍රකාශකයින් එසේ කර්තෘභාගය වංචා කිරීමෙන් නොනැවතී එම පොත්, ඒවායේ පළමු මුද්‍රණ වර්ෂයෙන්ම දෙවන, තෙවන වරටද මුද්‍රණය කිරීමය. එවිට ප්‍රකාශකයනට පළමු මුද්‍රණය සඳහා ලේඛකයනට කර්තෘභාගය ගෙවීමට සිදු වුවත් අනෙක් මුද්‍රණවලදී විශාල ලාභයක් ලැබිය හැකි නිසාය.  

ඒ අනුව මෙරට පොත් ප්‍රකාශනයේ ඇත්තේ ජාවාරමක් බව පැහැදිලි වනු ඇත. එය මහබැංකු කොල්ලය මෙන් මහත්වරුන් ලෙස පෙනී සිටිමින් කරන ජාවාරමකි. ඒ ජාවාරමේ රැකවලුන් වන්නේ කවුරුන්ද? මා දකින ලෙස ඒ, ඔවුන් වෙනුවෙන් පෙනීසිටින පිරිසය. එ් කවුරුන්ද? ඒ, සැප්තැම්බරයට මෙරට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පවත්වන, සිංහල නවකතාවේ උන්නතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානාදියද පුදන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයය. ඔවුන් එහිලා කිසිදු පියවරක් නොගන්නේ ඇයි? ඒ, ඉන් ඔවුන්ට කිසිදු පාඩුවක් නොවන නිසාය. ඇත්තටම එය තම සංගමයේ සාමාජික පිරිසට ලාභයට කරුණක්ය. අනෙක් අතට පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට එරෙහිව ලේඛක සංවිධානද අවි නොඔසොවන්නේ එවිට ඔවුනට බී.එම්.අයි.සී.එච්. පොත් ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශන කුටි වෙන් කරගැනීම අපහසු වන නිසාය. මෙනිසා මේ තුළ එක් පසෙකින් ජාවාරම්කරුවන් පිරිසක් සිටිද්දී තවත් පසෙකින් සමාජයට වෙනත් මුහුණක් පෙන්වන ජාවාරම්කරුවන්ගේ  රැකවලුන් පිරිසක්ද වෙති.

පොත් ප්‍රකාශනය සාහිත්යික කාර්යයක් මෙන්ම කර්මාන්තයක්ද වේ. එහෙත් අපේ එය ඒ එකකටවත් අයිති නැති දේකි. සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් අපේ කිසිදු ප්‍රකාශකයකු පොත් පළ කරන්නේ නැත. අප ප්‍රකාශකයින්ගේ අරමුණ හැකි තරම් අඩු නිෂ්පාදන පිරිවැයකින් පොතක් එළියට දැමීමය. එහිදී ඔවුන් එහි කඩදාසියේ තත්ත්වය (Quality), කෘතියේ නිමාව, එය කලාත්මක නිර්ණායකවලට අනුකූලද නැද්ද යනාදිය ගැන විමසන්නේ නැත. සාමාන්‍යයෙන් පොතකට මිල නියම කරන්නේ එහි නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කරය. එහෙත් අපේ එහි බොහෝ විට මිල නියම කරන්නේ නිපයුම් පිරිවැය මෙන් හතර ගුණයක් දමාය. ඒ අනුව කර්මාන්තයක් වශයෙන්ද අපේ ප්‍රකාශන නිර්ණායක පිළිපැදීමක් නැත. කොටින්ම පොතක් පළ වීමට පෙර කිසිදු ප්‍රකාශකයකු කතුවරයා හා ගිවිසුමකට එන්නේද නැත. ගිවිසුමකට ගියහොත් වැඩි අවාසිය වන්නේ ප්‍රකාශකයාට බැවිනි. ඒ තුළ ලෝකයේ පොත් ප්‍රකාශනය නීති පද්ධතියක් අනුව කෙරෙන නිල කටයුත්තක් වෙද්දී අපේ එය ප්‍රකාශකයා හා ලේඛකයා අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් කෙරෙන නොනිල කටයුත්තක් වී ඇත. 

පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මහත්වරුන් නැති බව මින් නොහැඟිය මනාය. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය තුළද මහත්වරු සිටිති. එහෙත් වර්තමානය වන විට අන් සියලු දේ කළු කඩයට ගොස් ඇත්තා සේ පොත් කර්මාන්තයද කළු කඩයට වැටී තිබේ. ඒ තුළ එය මහත්වරුන්ට වඩා ගොදුරු වී ඇත්තේ සොරසතුරුන්ටය.  

කෙසේ වුව පවත්නා තතු තුළ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රය කතුවරුනට සාධාරණය ඉටු වන වෘත්තීය තලයකට නැංවීමේ මූලික පියවර ලෙස මා දකින්නේ එය කතුවරුන් හා ප්‍රකාශකයින් අතර ගිවිසුම් අත්සන් වන නිල කටයුත්තක් බවට පත් කිරීමය. එවිට දෙපාර්ශ්වයටම අයුක්තියකදී කතා කිරීමේ ඉඩ පෑදෙනු ඇත. තවද ප්‍රකාශනයේ ජාත්‍යන්තර නිර්ණායක - මිල ලකුණු කිරීම, කෘතියේ නිමාව, කඩදාසිවල තත්ත්වය ආදිය - පිළිපැදීම ප්‍රකාශකයින් නොකරන්නේ නම් ඊට කිසියම් දුරකට රජයේ - සංස්කෘතික අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ - මැදිහත්වීමක්ද සිදු විය යුතුය. අවම වශයෙන් එවැනි වටපිටාවක ලේඛක සංවිධානවලටත්, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයටත් ආත්ම ලාභය තකාම පෙනී සිටිය නොහැකිය.  

ඉදින් නව බදු පනත ඔස්සේ පැනනැඟි කර්තෘභාග අර්බුදය තුළ මේ සමස්ත අර්බුදයද අවබෝධ කරගැනීමේ මහඟු අවස්ථාව අපට උදා වී තිබේ. එහිදී අප මහා පොදු සාධකය නොදැක ඉලක්කමක වැරැද්දක් නිවැරදි කිරීමට යෑමෙන් කතුවරුනට යුක්තිය පසිඳ නොවනු ඇත.

මාතෘකා