ලේඛන වහර

 ඡායාරූපය:

ලේඛන වහර

ලේඛන වහර පිළිබඳව විමසීමේදී මට එක් සම්මුඛ සාකච්ඡාවකදී සිරිල් සී. පෙරේරා මහතා පැවසූ කරුණක් සිහි වේ. ඔහු කීවේ මෙයයි:     

“ලේඛනය කලාවක් මිස නිකන් ලියවිල්ලක් නෙවෙයි. ලේඛනයේදි අපට අමුවෙන් වචන පාවිච්චි කරන්න බෑ. කලාත්මක වචනයි එහිදී පාවිච්චි කරන්න ඕන.” 

ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ පරිවර්තන බස‍ කටවහරට වඩා ලේඛන වහරට සමීපවීම පිළිබඳව විමසීමේදීය. 

කෙසේ වුව කටවහරේ කලාත්මක වචන නැද්ද යන්න එවේලේ ඔහුගේ පිළිතුරෙන් මට නිබඳව නැඟුණු පැනය විය. එහෙත් සිරිල් සී. මහතා පැවසූ දේහි යටි අර්ථය ‐ කටවහර ලේඛනයට එද්දී එය කටවහරින් වෙනස් වන බව ‐ මට පසක් වූයේ ඉන් කලකට පසුය. එය මට වඩාත් තහවුරු වූයේ මෑත කාලීනව අංකුර පුවත්පත් කලාවේදීන් හා එකට වැඩ කිරීමට ගත් විටය. සැබැවින්ම අද පුවත්පත් කලාවේදීන්ගේ බස එකම අමු වහරකි. ‘දෙන්නෑ’, ‘දන්නෑ’, ‘වටින්නෑ’, ‘එයා කිව්වා’, ‘මෙයා කිව්වා’, ‘එහෙම දෙයක් තිබ්බා’, ‘කතාවක් පැවැත්තුවා’, ‘පට්ට සීන් එක’, ‘සිද්ධ වුණා’, ‘මිනිස්සුන්ට’.... ආදී වශයෙනි. අමු නිසා ඒවා ග්‍රාම්‍යද වේ. එහෙත් ඒ ග්‍රාම්‍ය වහර නිවැරදි යැයි පිළිගැනෙන තරමට දැන් එය පුනරුච්චාරණය වේ.   

අමු කටවහර යනු මීට පෙරද කියා ඇති පරිදි ප්‍රාදේශීය (Provincial) වහරකි. ප්‍රාදේශීය වහරේ ගැටලුව එය ඉඳහිට උසුරුවූ විට අලංකාරයක් ගෙන ආවත් සුලබව උසුරුවන විට වියමන නීරස වීමය. කෙළවර ඉදිරිපත් කරන දේ දුරවබෝධ වන තරමට ව්‍යාකූල වීමය. අනෙක ප්‍රාදේශීය වහර උපසංස්කෘතිකමය බසකි. උපසංස්කෘතික බස එම සංස්කෘතියට විනා පරිබාහිර පොදු සංස්කෘතියට අනුගත නොවේ.   

ලිවීමේ වහර දෙකක් - ලේඛන වහර හා කටවහර - පැවතියද ඒ දෙකෙහිම පොදු වහරක් තිබේ. පොදු රීතියක් තිබේ. කටවහර ඒ ඒ ප්‍රදේශයට ආවේණික වුවද පොදු කටවහරක් තිබේ. කටවහරින් ලිවීමේදී අප අනුගමනය කළ යුත්තේ ඒ පොදු කටවහරයි. ජනශ්‍රැති කෘතියක් වුව ලිවිය යුත්තේ ඒ වහරිනි. ලේඛන බසට මෙය වෙසෙසින් අනුකූලය. රිද්මය, ශෛලිය, බස (වචන) අතින් ලේඛන වහරේ යම් යම් වෙනස්කම් පැවතියද එහි ඇත්තේ එකම ලිඛිත වහරකි. නිදසුනකට ලේඛකයින් කිහිප දෙනෙකුගේ බස විමසීමෙන් මේ බව පැහැදිලි වේ.   

මේ අනුව ලේඛනය සෑම ලේඛකයකුටම පොදු බවත්, එය කෙනෙකු උගෙන භාවිත කළ යුතු බවත්, ආධුනික වුවත්, ප්‍රවීණ වුවත් ඒ සම්මතය කඩ කළ නොහැකි බවත් පැහැදිලි වේ. එහෙත් දැන් සිදු වන්නේ කුමක්ද? මේ පොදු රීතිය පිළිබඳ අවබෝධයක් නැතිව සිතුමනාපේ ලේඛන වහරවල්, භාෂාවල් ඉදිරිපත් කිරීමය. පැරණි එක්ස් කණ්ඩායමේ සාමාජිකයින්ගේ ලේඛනවල සිට අද දවසේ අංකුර පුවත්පත් කලාවේදීන්ගේ, ප්‍රබන්ධකරුවන්ගේ ලේඛන දක්වා ඊට නිදසුන් සපයයි. වැරදි වියරණයකින් ලියූ විට වැරදි චින්තනයක් ඇති වන බව කියනුයේ කුමාරතුංග මුනිදාසය. එලෙසටම වැරදි, ව්‍යාකූල වහරකින් ලියන විට ඒවා කියවන පාඨකයා ලබන්නේ වැරදි සංකල්පයන්ය. එසේ බැලූ විට මේ යුගය වැරදි සංකල්ප පිරි යුගයකි.   

බස අලුත් විය යුතුය. එහෙත් අලුත් වීම යනු වැරදි වහර ඇති වීම නොවේ. සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’, ‘සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා’, ‘සංසාරාරණ්‍යයේ අසබඩ’ වැනි නවකතාවලදී අලුත් බසක් නිර්මාණය වේ. එහෙත් ඔහු අනුකරණය කර ලියූ කේ.කේ. සමන් කුමාරට අලුත් බසක් නිමවිය නොහැකි විය. බසක් තබා නවකතාවක්වත් බිහි කළ නොහැකි විය. අමරසේකරගේ මෑත කාලීන නවකතා, නවකතා නොවේ නම් සමන් කුමාරගේ නවකතාද නවකතා ලෙස සැලකිය නොහැකිය. 

බසක ලේඛන වහර එම බසේ සාහිත්‍ය සම්ප්‍රදායේ විකාශයකි. නිදසුනකට නූතන සිංහල කවිය සිංහල කාව්‍ය සම්ප්‍රදායේ ප්‍රතිඵලයකි. මේ චිරන්තන කාව්‍ය බස නොතකන රැඩිකල්වාදියකුට උසස් කවියකු විය නොහැකිය. දිළිඳුකම හෝ බොහීමියානු ජීවිතය කවියට සුදුසුකමක් ලෙස පසුගිය සමයේ හාහෝවක් නැඟිණි. එහෙත් එය එසේ විය නොහැකිය. ගද්‍යය සම්බන්ධයෙන්ද තත්ත්වය එයය. අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත ආදිය නොකියවා ධ්වනිපූර්ණ ගද්‍යයක් බිහි කළ නොහැකිය. උපතින් ක්‍රිස්තියානු භක්තිකයකු වූ සරච්චන්ද්‍ර සිංහල සාහිත්‍යය හැදෑරීමේදී මූලිකාංගයක් ලෙස සැලකූයේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරීමය. ඒ අනුව ඔහුගේ නාට්‍ය ගීත සියල්ල සන්දේශ කාව්‍යවල ඍජු ආභාසයන්ය. ඒ ආභාසය කෙතෙක්දැයි ඔහුගේ ‘සාහිත්‍ය විද්‍යාව’ ශාස්ත්‍රීය කෘතිය කියවන විට පැහැදිලි වේ. මේ ආකාරයටම උසස් පුවත්පත් කලාවේදියකු යනුද මේ සාහිත්‍ය සම්ප්‍රදාය හදාරා ආභාසය ලද්දෙකි. දයාසේන ගුණසිංහ මහා පුවත්පත් කලාවේදියකු වන්නේ ඒ තුළය. ඔහුගේ කෙටිකතා හා තීරු ලිපි ඒ අභාසය විශද කරයි. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද මහා පුවත්පත් කලාවේදියකු වීමට ඇති සුදුසුකම දේශපාලනය ලිවීමය. වෙසෙසින් දේශපාලනඥයින්ගේ ඕපාදූප රැගත් ‘සතියේ දේශපාලනය’ ලිවීමය.  

සම්මතය බිඳීම වුව සිදු විය යුත්තේ සම්ප්‍රදායේ සිටගෙනය. මීට දිය හැකි හොඳම නිදසුන මහගම සේකරගේ කාව්‍යය. ඔහුගේ ‘ප්‍රබද්ධ’ කාව්‍යය ඊට හොඳින්ම දෙස් දේ. සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යය…’ නවකතාවලද පෙනෙන්නේ පැරණි සිංහල සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයේ ඡායාවය. සැබැවින්ම සමස්ත ලේඛන බසම සම්ප්‍රදායේ විකාශයක්ය. සම්ප්‍රදාය නොහදාරා කිසිවකුට ලිවීමට නොහැකිය.   

ලිඛිත සන්නිවේදන‍ෙය්ත්, වාචික සන්නිවේදනයේත් වෙනස මෙයය. වාචික සන්නිවේදනය සම්ප්‍රදාය මත රඳා පවතින්නක් නොවේ. එහිදී කෙනෙකුට ඒ මොහොතේ සිතෙන දේ ප්‍රකාශ කළ හැකිය. එහෙත් ලිඛිත සන්නිවේදනය එසේ නොවේ. එහිදී කෙනෙකුට ලේඛන රීතිය - සම්ප්‍රදාය - හදාරා මිස අදහස් ප්‍රකාශ කළ නොහැකිය. වෙබ් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයේ ලිවීමට අවතීර්ණ වූ පිරිසට ඇති ගැටලුවද මෙයය. ඔවුනට භාවිතයට පෙර මාධ්‍යය හැදූරීම නුහුරු නිසාය. ලිවීම යැයි ඔවුන් සිතන්නේ අකුරු ලිවීමකි. වචන ලිවීමකි. වචනවල වාච්‍යාර්ථයක් හා ධ්වනිථාර්ථයක් ඇති බව ඔවුනට නොපෙනේ. එනිසා ඔවුන්ගේ ලියවිලිවලත්, වෙදමහතකු ලියන වට්ටෝරුවලත් වෙනසක් නැත. දෙකම ලිවීම්ය.   

දැන් අපි සිරිල් සී. පෙරේරා මහතා පැවසූ කරුණ වෙත නැවත පැමිණෙමු. සැබැවින්ම ලේඛනය කලාවක්ද? අද පුවත්පත් බස සහ ප්‍රබන්ධ බස සලකන විට ඒ එසේ නොවන බව පෙනෙනු ඇත. එහෙත් මා නිරතුරු සිතන්නේ ලේඛනය කලාවක් බවය. පුවත්පත කලා මාධ්‍යයක් නොවේ. එහෙත් පුවත්පතට ඇතුළු වන බස කලා මාධ්‍යයක් ලෙස පරිහරණය කළ හැකිය. පුවත්පතේ කෙටිකතා පිටුව, කවි පිටුව, තීරු ලිපිය ආදිය කලා මාධ්‍ය වන්නේ එනිසාය. අද අපේ බොහෝ පුවත්පත්වලින් කලා පිටු, සාහිත්‍ය පිටු ඉවත් කර ඇත්තේ ලේඛනය කලාවක් බව ඇතැම් පුවත්පත් කතුවරුන් අවබෝධ කර නොගැනීම තුළය. එ‍හෙත් ලේඛන මාධ්‍යය භාවිත කරන කවරෙකු වුව එම බස කලා මාධ්‍යයක අංගයක් බව අවබෝධ කරගතහොත් අපේ පුවත්පත් කලාවෙනුත්, ප්‍රබන්ධ කලාවෙනුත් මීට වඩා උසස් දේ බිහි වනු ඇත. 

මාතෘකා