බදියුදීන්ගේ සහෝදරයා බන්ධනාගාරයට

 ඡායාරූපය:

බදියුදීන්ගේ සහෝදරයා බන්ධනාගාරයට

රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළාය.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24ක පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්කාන් බදියුදීන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ. සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් රහස් පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සැකකරු විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව සැකකරු ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

News Order: 
16
මාතෘකා