හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් අල්ලස් චෝදනාවට වසර 10ක සිරගෙට නියම වෙයි

 ඡායාරූපය:

හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් අල්ලස් චෝදනාවට වසර 10ක සිරගෙට නියම වෙයි

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කළේය.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කරන බවද තීන්දුවේ සඳහන් කළේය.

එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයන්ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වී තිබේ.

2016 වසරේ ජුනි මස 01 වැනිදා සහ එම වසරේ ජූලි මස 01 වැනිදා අතර කාලසීමාව තුළ නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කරන අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා විත්තිකාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. පසුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විත්තිකාරියට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා හතරම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

News Order: 
15
මාතෘකා