මෙරට විශාලතම මිනිරන් පතලේ වැඩ ඇරඹේ

මෙරට විශාලතම මිනිරන් පතලේ වැඩ ඇරඹේ

 

 

කහටගහ සහ බෝගල පතල්වලින් පසු ඉතා උසස් තත්ත්වයේ මිනිරන් සහිත ලංකාවේ විශාලතම මිනිරන් පතලේ කැණීම් කටයුතු කරස්නාගලදී ආරම්භ කර ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

කරස්නාගල මිනිරන් පතලේ සංචාරයකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව පැවසීය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වරකාපොළ පන්දෙණිය සහ අළුකැටිය මීගහතැන්න මිනිරන් පතල් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති අතර ඉන් පසුව පළමුවරට මිනිරන් පතලක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇත්තේ කරස්නාගල මිනිරන් පතල සඳහා වේ.

මේ වන විට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවශ්‍ය පාරිසරික ඇගයීම් සහ තාක්ෂණික ඇගයීම් සමීක්ෂණ සිදු කර අඩි 155ක් පමණ පහළට කැණීම් සඳහා අවශ්‍ය පරිසරය ගොඩනඟමින් පවතින බවත් දැනට කර ඇති සමීක්ෂණ හා පරීක්ෂණවලට අනුව මෙම පතලෙන් ලබාගන්නා මිනිරන්වල සියයට 97කට වඩා කාබන් ප්‍රතිශතයක් අඩංගු වන බවත් සභාපතිවරයා එහිදී පැවසීය.

මිනිරන් පතල සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන සිලෝන් ග්‍රැෆයිට් සමාගම ලබාදෙන අතර මේ වන විටත් ඒවා ලැබී ඇත. ඒ අනුව එමඟින් මහා පරිමාණ විදේශීය ආයෝජන මෙරටට ලැබීමට නියමිත බව මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසීය.

 

[නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා