ශ්‍රී ලංකාවට අලවා තිබූ අළු ලේබලය ගැලවේ

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට අලවා තිබූ අළු ලේබලය ගැලවේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියාකරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ‘අළු ලේඛනය’ ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා කාලය තුළ පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී මෙම තීරණය ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සඵලතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ඇගයීම සඳහා මූල්‍ය කාර්ය සාධන බලකාය ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව සමාලෝචනය කිරීමට නියමිත බව 2016 ඔක්තෝබර් මාසයේදී දැනුම් දෙන ලදි. සාකච්ඡා සහ ප්‍රගති සමාලෝචන වාර්තා කිහිපයකට පසුව ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්ෂණය, නෛතික පුද්ගලයන් හා විධිවිධාන සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පිළිබඳ ඉලක්කගත මූල්‍ය සම්බාධක යන කරුණු 4 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කර ගෙන නොමැති බවට ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තු ගත කරනු ලැබීය. එසේම එම දුර්වලතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී රාමුවක්ද හඳුන්වා දෙන ලදි.

2019 පෙබරවාරි මාසයේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සිය ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බව මූලිකව නිර්ණය කරන ලද අතර පසුව මෙම මාසයේදී එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ නිර්දේශ සාකච්ඡාවට බදුන් වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීම හේතුවෙන් 2019 මැයි මසට යෝජිත එම පරීක්ෂාව කල් දැමිණි. කෙසේ වුවත් සමාලෝචන කණ්ඩායම විසින් සැප්තැම්බර් 16 -17 දක්වා කාලය තුළ නැවතත් ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කරන ලදි. මෙම සමාලෝචන කණ්ඩායමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය හා ජපානය යන රටවල් ඇතුළත් වූ අතර, ඇගයීම සඳහා මෙරට පෞද්ගලික අංශය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමඟද සාකච්ඡා පවත්වන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයට මුල්‍ය කාර්ය සාධක බලකායේ සියලු සාමාජිකයින් අනුමැතිය පළ කර ඇති අතර මෙමඟින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මූල්‍යමය වශයෙන් හිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
2
මාතෘකා