වෛරසහගත ප්‍රකාශවල ඉහළ යෑමක් - කැෆේ

වෛරසහගත ප්‍රකාශවල ඉහළ යෑමක් - කැෆේ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 199ක් වාර්තා වී ඇති බවත් එසේ ලැබුණු පැමිණිලි අතර වෛරී සහගත ප්‍රකාශවල ඉහළ යෑමක් සිදුව ඇති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය කියයි.

ඒ අතරින් බහුතරය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් සහ රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි බවත් ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවට ප්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම සංවිධානයයේ විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (20) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප්‍රකාශ වර්ධනය වීමක් දක්නට ලැබෙන බවත්, ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා මිලට ගනිමින් සිය ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි බවත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමේ අවදානම ඉහළ යන බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

[තියේෂා ද සිල්වා]

News Order: 
2
මාතෘකා