වෙල්ගමගේ නිවසට ප්‍රහාරයක්

 ඡායාරූපය:

වෙල්ගමගේ නිවසට ප්‍රහාරයක්

 

පහර දී තිබුණේ මගේ කාමරයටයි - වෙල්ගම

 

ජීවිත තර්ජනයකටදැයි සැකයි - පොලිසිය

 

 

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කළුවාමෝදර පිහිටි නිවස ඊයේ (20) උදෑසන 7.30ට පමණ කිසියම් පිරිසක් බිඳ භාණ්ඩ සොරාගැනීමක් පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව අලුත්ගම පොලිසිය කියයි.

මන්ත්‍රීවරයාගේ වත්ත පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු, දෙමහල් නිවසේ පහළ මාලයේ ඇති මන්ත්‍රීවරයාගේ කාමරයේ ජනේලයක් බිඳ දමා ඇති අයුරු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. මන්ත්‍රීවරයා මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන අතරතුර කිසියම් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවසේ නිදන කාමරයේ ජනේලයක් බිඳ නිවසට ඇතුළු වී තිබේ. එසේ ඇතුළු වූ පිරිස නිවසේ තිබූ අල්මාරියක් විවෘත කර ඇති බවත් නිවස තුළ තිබූ භාණ්ඩ සොරාගැනිමක් සිදුව තිබේදයි යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

ජනේලය බිදීමට යොදාගත් යකඩ උලක්ද පොලිසිය සොයාගන තිබේ. මුදල් සහිත කුඩා සේප්පුවක් නිවසේ තිබී ඇති නමුත් එය රැගෙන ගොස් නොමැත. එබැවින් මෙය සොරකමකට සිදු කළ දෙයක්ද නැතහොත් මන්ත්‍රීවරයාගේ ජීවිතයට හානියක් කිරීමට ගත් උත්සාහයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් අනුව අලුත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියලාල් මහතා ඇතුළු පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

මේ පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් 'රැස' විමසුමක් විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය තමාටද ප්‍රේහේළිකාවක් බවත් පොලිසිය මෙය සොරකමක් යැයි පැවසුවද ඒ පිළිබඳව තමාට සැකයක් ඇති බවත්ය. එසේම තමාගේ නිදන කාමරයේ අතින් රැගෙන යා හැකි කුඩා සේප්පුවක් ඇති නමුත් සොරකමකට යමෙක් පැමිණියා නම් එය ඉතා පහසුවෙන් රැගෙන යා හැකි බවත් එසේ වුවත් එම සේප්පුව හෝ වෙනත් කිසිවක් සොරාගෙන ගොස් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය. පැමිණි පුද්ගලයා සොරකමකට නොපැමිණියේ නම් ඔහුගේ පරමාර්ථය තමාගේ ජීවිතයට තර්ජනය කිරීම හෝ තමාගේ ලියකියවිලි පිළිබඳ සෙවීම විය හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. එසේ වුවද තමාට කිසිදු විශේෂ ආරක්ෂාවක් අනවශ්‍ය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[පී. සෝමරත්න] [නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
-1
මාතෘකා