අධ්‍යාපනයෙහි ගුණාත්මක වෙනස අර්ථවත් කිරීම

 ඡායාරූපය:

අධ්‍යාපනයෙහි ගුණාත්මක වෙනස අර්ථවත් කිරීම

 

වත්මන් රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට හිමි වේ. අන් කිසිම රජයක් විසින් දක්වන ලද සැලකිල්ලට වැඩි සැලකිල්ලක් අධ්‍යාපනය කෙරෙහි දැක්වීම වැදගත් වන්නේ රටෙ සෑම ක්ෂේත්‍රයකම ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා එය අදාළ වන හෙයිනි. විශේෂයෙන්ම 13 වැනි වසර තෙක් අනිවාර්ය අධ්‍යාපනය, අපොස සාපෙළ විභාගයෙන් අසමත් වන දරුවන් මඟහලන්නේ නැතිව කුසලතා වර්ධනය කිරීමේ සැලසුම කාලෝචිතය. සමත් වන දරුවන් ගැන කතා කරන සමාජයක් අසමත් වන දරුවන් අමතක කිරීමේ දුක්ඛිත සම්ප්‍රදායට එයින් තිත තැබේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනද සාර්ථක එකකි. එමෙන්ම පින්ලන්තය වැනි දියුණු රටවල අධ්‍යාපන සංකල්ප අධ්‍යයනය කරමින් නවීන අධ්‍යාපනයක් සැලසුම් කිරීමේ මඟට අවතීර්ණ වී තිබීම පැසසුම් කටයුතුය. මෙහිදී සමාන අධ්‍යාපනයක් සහ සම්පත් බෙදී යෑමේ විෂමතාව පිළිබඳවද වැඩි බරක් තැබීම අවශ්‍ය වේ. වතුකරයේ අධ්‍යාපනයෙහි බරපතළ වෙනසක් කිරීම එහිදී වැදගත් වේ.

වතු පාසල්වල තත්ත්වය

වතුකරයේ පාසල්වල පෙරට වඩා භෞතිකමය සංවර්ධනයක් දැකගත හැකි වුවත් අද වන විටත් ඉතා දුෂ්කර, ගුරුවරුන් අහිමි පාසල් දැකගත හැකි වෙයි. වර්තමානය වන විට ජාතික පාසල් දෙසීයකට අධික ප්‍රමාණයක් තිබුණත් ඉන් වතු හා දමිළ පාසල් ඇත්තේ හයකි. මෙම පාසල් හය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පවා තහවුරු වන්නේ ඒවා අනෙකුත් ජාතික පාසල්වලට වඩා පසුගාමී තලයක සිටින බවයි. ඇතැම් පාසල්වල තිබෙන්නේ කලා විෂයන් පමණි. එවැනි පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩුද පවතී.

ඇතැම් අවස්ථාවක එවැනි පාසලක උසස් පෙළට විද්‍යා, ගණිත, තාක්ෂණ හෝ වාණිජ විෂයන් ආරම්භ කළත් ඒ සඳහා සුදුසු දරුවන් නොමැත. ඊට හේතූ වන්නේ දරුවන්ගේ අදක්ෂකම නොව, පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා එවැනි විෂයන් සඳහා පවත්නා ගුරුවරුන්ගේ හිඟයයි. එවැනි තත්ත්වයක් තුළ පාසලක ගණිතය, විද්‍යාව වැනි අංශවලින් දක්ෂ දරුවන් උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබීම යනු සාමාන්‍ය තත්ත්වයකි.

කුඩම්මාගේ සැලකිලි

වර්තමානයේ පළාත් පහක පමණ වතුකර පාසල් ස්ථාපිතව ඇත. නමුත් මෙම පළාත් පහේම අධ්‍යාපන කටයුතු කුමනාකාරයෙන් සිදුවනවාද යන්න පිළිබඳව සොයා බැලීම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස මධ්‍යම පළාත තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් යවනු ලබන ලිපි ලේඛන ඇත්තේ සිංහල මාධ්‍යයෙනි. තවද වයඹ, සබරගමු, මධ්‍යම, ඌව හා බස්නාහිර පළාත්වලින් චක්‍රලේඛ, ලියකියවිලි බොහොමයක් සිංහල මාධ්‍යයෙන් යවයි. ඇතැමි විට එහි සිංහල ගුරුවරුන් නොමැත. එසේම එම පළාත්වල සේවය කරන දමිළ මාධ්‍ය ගුරුවරුද පළාත් අධ්‍යාපන කාර්යාලය සමඟ සිංහල භාෂාවෙන් කටයුතු කිරීම තුළින් දැඩි අපහසුතාවට පත්වෙති. එවන් කරුණු පිළිබඳවද ඉතා සියුම්ව සිතා බැලීම කළයුතු වෙයි. පළාත් අධ්‍යාපන ක්‍රමය තුළදී පවා ගුරුවරුන් බඳවා ගැනීම්, සම්පත් බෙදීයාම් වැනි අවස්ථාවලදී නොයෙකුත් අසාධාරණකම් සිදුවීම දැකගත හැකිය.

ගුරු වෘත්තිකයෝ

2015 වසරේදී බඳවාගත් ගුරු සහායකවරු රුපියල් 6,000ක දීමනා හා පසුව 4,000ක්ද එයට එකතු කර රුපියල් 10,000ක වැටුපකට බඳවාගෙන වසර 4ක් පමණ කාලයක් තිස්සේ සේවය කරමින් සිටිති. තවද මොවුන් ගුරු විද්‍යාලවල සාර්ථකව පුහුණුව නිම කළ අය වන අතර බොහෝ පිරිස් උපාධිය සම්පූර්ණ කළ අය වෙති. ඒ කෙසේ වුවත් මොවුහු තවමත් රුපියල් 10,000ක වැටුපට සේවය කරමින් සිටිති. මේ පිළිබඳව ඔවුන් දිගින් දිගටම උද්ඝෝෂණ කර ඇත. විරෝධතාව ප්‍රකාශ කළ අත්සන් ලේඛන අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළත් දිගින් දිගටම සිදුවී ඇත්තේ බොරු පොරොන්දුවලට රැවටීම පමණි. එම ගුරුවරුන් වසර 4ක් පුරා ළමුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන විට ඇත්ත වශයෙන්ම ඒ සඳහා ඔවුන් ලබන වැටුප ප්‍රමාණවත්ද යන්න ගැටලුවකි. මොවුහු ගුරු වෘත්තියේ තුන්වැනි ශ්‍රේණියේ සුදුසුකම්ලත් අය වෙති. එවැනි පිරිසකට අදාළ වැටුප ලබා නොදීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්ද වෙයි. එවැනි තත්ත්වයක් ගුරුවරුන්ට උදා කිරීමත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීමත් කනගාටුදායක තත්ත්වයකි.

ඉන්දියාවෙන් ගුරුවරු

මීට විසඳුමක් ලෙස එක් අවස්ථාවක මනෝ ගනේෂන් ඇමතිවරයා පවසා සිටියේ ඉන්දියාවෙන් ගණිත සහ විද්‍යා ගුරුවරුන් මෙරටට ගෙන්වා ගත යුතු බවයි. එසේ කිරීම අවශ්‍ය නොවේ. උතුරු - නැඟෙනහිර ප්‍රදේශවලින් එවැනි සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරුන් සොයාගැනීමට හැකිය. කෙසේ නමුත් ලංකාව තුළින් අවශ්‍යතාවලට සරිලන ගුරු පිරිස් නොසොයා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගැනීම කිසි විටෙක සාර්ථක උත්සාහයක් වන්නේ නැත. එනම් වර්තමානයේ ලංකාවේ පවත්නා අධ්‍යාපන ක්‍රමය හා ඉන්දීය අධ්‍යාපන ක්‍රමය යනු හාත්පසින්ම අංශ දෙකකි.

එමෙන්ම ලංකාවේ රාජ්‍ය සේවකයන් ලෙස ගුරු වෘත්තියට සුදුසුකම් කියන බොහෝ දෙනකු සිටිනවා සේම සෑම අවස්ථාවකදීම මෙරට අවශ්‍යතාවන්ට ඉන්දියානු ආදේශකයන් සැපයීමට කටයුතු කිරීම නිරර්ථකය.

පහළම තීරුව

අනෙක් අතට සම්පත් ලබාදීමේ ක්‍රියාවලියේදී වතුකරයේ පාසල් ලෙසට සලකනු ලබන්නේ ඌව හා මධ්‍යම ප්‍රදේශයේ පාසල් පමණි. නමුත් එයට අමතරව කුරුණෑගල, කළුතර, කොළඹ, රත්නපුර, කෑගල්ල වැනි ප්‍රදේශවලත් වතු පාසල් බොහොමයක් පවතී. උදාහරණ ලෙස කුරුණෑගල වතු පාසල් ගත්විට ඔවුන් සිටිනුයේ සම්පත් බෙදී යෑමේ අවසාන රේඛාවේය. කළුතර තත්ත්වයත් එලෙසින්මය.

එලෙස අවම මට්ටමේ සම්පත් හරහා එවැනි පාසල් යම් මට්ටමකින් හෝ දරුවන් උදෙසා සේවයක් ලබාදෙයි. මෙවැනි පසුබිමක ගුරුවරුන්ට සිදුවන්නාවූ අසාධාරණය පිළිබඳව නැවත සිතිය යුතුවන අතරම ගුරුවරුන් අගය කිරීමත් කළයුතු වෙයි. මෙවැනි ගුරුවරුන් ඇතැම් පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙසට නැතිනම් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙසටත් කටයුතු කරන අවස්ථා ඇත. බොහොමයෙන් විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන පළමු ශ්‍රේණියේ ගුරුවරුන්ට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින්, අගනා සේවයක් ලබා දෙමින්, පාසලද සංවර්ධනය කරමින්, සමාජ හා සුහදවද කටයුතු කරන දරුවන්ගේ අභිවෘද්ධිය රකින පිරිසක් ලෙසට මෙම පුහුණු ගුරුවරු කටයුතු කරති.

අයිතිවාසිකම්

මෙම තත්ත්වය වතුකරයේ පාසල්වලින් පැහැදිලිව දැකගත හැකිය. මොවුන්ගෙන් සමහර ගුරුවරු වැටුපක් ලබා ගැනීමට පමණක් කටයුතු කිරීමද අවධානයට ලක්වූ කරුණක් වේ.

තවත් විශේෂ කරුණක් වන්නේ ලංකාවේ 4,000කට අධික පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් සිටීමයි. නමුත් මෙලෙස වැඩබලන විදුහල්පතිවරුන්ගේ සේවය අගය කොට ඔවුන්ව විධිමත් පරීක්ෂණයක් පවත්වා විදුහල්පති තනතුරේ තුන්වැනි ශ්‍රේණියට ඇතුළත් කර ඔවුන්ගේ රාජකාරීය ස්ථීර කිරීමද අවශ්‍යතාවකි. විශේෂයෙන්ම ඔවුන්ගේ සේවයට වඩා වැඩි සේවාවක් රාජකාරිය වෙනුවෙන් ලබාදීමද සිදුවන්නකි. එම නිසාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් සිතා බැලීමත් අදාළ පාශ්වකරුවන්ගේ වගකීමකී.

මෙම වැඩබලන විදුහල්පතිවරුන් තමන්ගේ වෘත්තීමය අයිතිවාසිකම් පිළිබඳ නොයෙකුත් යෝජනා සහ ඉල්ලිම් අධ්‍යාපන අමාත්‍යාංශයටද යොමුකළ බව වාර්තා වේ. ඇතැම් ගුරු වෘත්තිය සමිති සමඟින්ද මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.

2018 නොවැම්බර් මාසයේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ විජයකලා මහේෂ්වරන් අද වන විට ස්වේච්ඡා ගුරුවරුන් 1,100කට අධික පිරිසකට ගුරු වෘත්තියේ ස්ථිර පත්වීම් ලබාදී ඇත. ඒවා උතුරු - නැඟෙනහිරට පමණක් සීමා විය.

2015 පත්වූ යහපාලන ආණ්ඩුව පිළිබඳ වතුකර ජනතාව බොහෝ බලාපොරොතු තැබූ හෙයින් දෙමළ මහජන නියෝජිතයන් මේ ගැන සිතිය යුතුය. ඊට හේතුව අවසානයේදී මේ සියලු චෝදනා අධ්‍යාපන ඇමතිවරයාට හා රජයට එල්ල වීමය.

2015 සිට 2018 දක්වා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ රාධාක්‍රිෂ්ණන් මහතා වතු පාසල් සඳහා පුහුණු ගුරුවරුන් 3,500ක් බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවද වාර්තා විය.

උතුරට පමණයි

2018 වසරේ අවසාන භාගයේ මේ පිළිබඳ විමසන විට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයේ ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කරන ලදි. අප විසින් මීට පෙර ප්‍රකාශ කරන ලද ගුරු සහායකවරුන්ට අදාළ වැටුප ලබාදීමට ප්‍රතිපාදන නොමැති බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙහිදී පැනනඟින ගැටලු කිහිපයක් ඇත. විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය ධුරයට පත්වී කෙටි කලක් තුළ 1,000කට අධික පිරිසක් උතුරු නැඟෙනහිරට පමණක් බඳවා ගැනීම් සිදුකිරීමට ප්‍රතිපාදන තිබුණේ කෙසේද? අවුරුදු 04ක කාලයක් ගුරු පුහුණුව නිම කරමින් සුළු වැටුපකට සේවය කළ ගුරුවරුන්ටද සාධාරණය ඉටු නොකර වෙනත් න්‍යායපත්‍රයන්ට අනුව ගුරුපත්වීම් ලබාදීම කනගාටුවට කරුණකි.

ඕනෑම සමාජයක දියුණුව අධ්‍යාපන සාධකය මත රඳා පවතිනවා නම් වතුකරයේ ජනතාවගේ දියුණුව කෙරෙහිද අධ්‍යාපනයේ මනා අභිවෘද්ධිය හේතුවෙයි. නමුත් අවාසනාවකට තවමත් වතුකර ජනයාගේ අධ්‍යාපන මට්ටම පසුගාමී තත්ත්වයක පවතිනවා දැකගත හැකිය. එම නිසාම ලංකාවේ සංවර්ධනයට, ආර්ථික වර්ධනයට දායකත්වය සපයන මෙරට ප්‍රධාන ජන කොට්ඨාසයක් වන වතුකර ජනතාවගේ අධ්‍යාපන දියුණුව වෙනුවෙන් මීට වඩා අවධානය යොමු විය යුතුය.

[ජීවරත්නම් සුරේෂ් කුමාර්]

මාතෘකා