යාපනයේදී විරෝධතාවක්

 ඡායාරූපය:

යාපනයේදී විරෝධතාවක්

 

යාපනයේ ස්ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ඥාති සංගම්වල විරෝධය


 

යාපනයේ පිහිටුවන ලද අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයට එරෙහිව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගම් වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවලදී පෙරේදා (24) විරෝධතා පැවැත්වීය.

එම සංගම් කියා සිටින්නේ මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා මැක්ස්වල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ නමුත් ඉන් කිසිම ප්‍රයෝජනයක් සිදුනොවූ බවයි. එම කොමිසමේ නිර්දේශයන්ට අනුව පුද්ගලයන් 19,000ක් යුද සමයේදී අතුරුදන් වී ඇති බවට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කෙරුණද මේ දක්වා ඉන් කිසිවකුටත් සහන නොලැබුණු බවද එම සංගම් පෙන්වා දෙයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට යෑම සඳහා බස් ගාස්තුද ඇතුළත්ව අදාළ ලියකියවිලි ලබා ගැනීමට හා ඒවායෙහි ඡායා පිටපත් ලබා ගැනීමටද විශාල මුදලක් වැය වූ බවද පෙන්වා දෙන ඔවුන් එම කොමිසම්වලට කාලය කා දමමින් සහභාගී වූවත් කිසිදු ඵලක් නොවූ බවද කියා සිටියේය. වත්මන් රජය විසින් පිහිටුවන ලද කාර්යාලයේ තත්ත්වයද ඒ හා සමාන බවත් මේ කිසිම කොමිසමකට බලයක් නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්හ. අතුරුදන් කරවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් හා තනතුරු ඒ කොමිසම වෙතත් මේ කොමිසම වෙතත් අවස්ථා ගණනාවකදීම ලබා දෙන ලද නමුත් අවම වශයෙන් කොමිසම ඒ පිරිසට එරෙහිව නඩු පැවරීමටවත් කටයුතු නොකිරීම තුළින් කොමිසමේ බලය පෙනී යන බවද එම සංගම්වල පිරිස් කියා සිටියහ. කොළඹ එවැනි කාර්යාලයක් පිහිටුවීමෙන් පසුව යාපනයේ තවත් කාර්යාලයක් පිහිටුවීමෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ට කිසිදු සහනයක් නොලැබෙන බවද ඔවුහු පැවසූහ.

මේ වන විට යුද සමයේදී අතුරුදන් වූ සියලුම පුද්ගලයන් පිළිබඳ තොරතුරු රජය වෙත ලැබී අවසන් බව පවසන ඥාති සංගම් තවදුරටත් එකම තොරතුර සඳහන් කරමින් ලිපි ගොනු පිරවීමෙන් සිදුවන්නේ කාලයත් විශාල මුදලකුත් වැය වීම පමණක් බවද කියා සිටියේය. එසේ වැයවන මුදල යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම සඳහා යොදාගත්තේ නම් මෙම කාර්යාල පිහිටුවීමට වඩා එය වැදගත් වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

රජය විසින් පාර්ලිමේන්තු පනතකට අනුව පිහිටුවන ලද අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයාබලන කාර්යාලයේ දෙවැනි කාර්යාලය පෙරේදා (24) යාපනයේදී විවෘත කිරීමත් සමඟ මෙම පිරිස මෙසේ විරෝධතාවයේ යෙදෙන්නට වූහ. යාපනය ආදිපාද වීදියේදී පිහිටවූ එම කාර්යාලය අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයාබැලෙන කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතින් විවෘත වූ අතර එම අවස්ථාවට යාපනයේ රාජ්‍ය අංශ ප්‍රධානීන් කිහිපදෙනෙක්ද සහභාගී වී සිටියහ.

 

[රසුල දිල්හාර ගමගේ]

 

මාතෘකා