ලංකාවේ නම අභ්‍යාවකාශ ගතකළ තරුණ විද්‍යාඥයන් දෙදෙනා

 ඡායාරූපය:

ලංකාවේ නම අභ්‍යාවකාශ ගතකළ තරුණ විද්‍යාඥයන් දෙදෙනා

ලෝක සිතියමේ පුංචි කඳුළු බිඳුවක් වූ ශ්‍රී ලංකාව මේ වන විට බොහෝ ඉසව්වලින් ලෝකයම ජයගෙන අවසන්ය. ඒ බොහෝ තැන්වල ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සටහන් කිරීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබීම අභිමානයකි. ඊයේ(18දා) අලුයම අහස් කුස වෙන්වූයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු විසින් නිර්මාණය කරනු ලැබූ 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව සඳහාය.

'රාවණා 1' චන්ද්‍රිකාව ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරිණි. මෙම චන්ද්‍රිකාව කක්ෂගත වීමත් සමඟ ඒ පිළිබඳ අලුතින් කතාබහක් ඇතිවනු ඇත. ඊට හේතුව පෘථිවිය හා පිටත අභ්‍යවකාශයේ තොරතුරු ගවේෂණයට සහ විද්‍යාත්මක අධ්‍යයනය සඳහා ඉතා වැදගත් කාර්යයක් කෘත්‍රිම චන්ද්‍රිකා මඟින් ඉටු කරනු ලැබීමයි.

චන්ද්‍රිකා ගැන දැන් දැන් ලොව විවිධ රටවල්වලින් පුවත් වාර්තා වුවද පළමු වරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ලොවට අදහසක් ඉදිරිපත් කොට ඇත්තේ මෙරට ගෞරවනීය පුරවැසියකු වූ ආතර් සී. ක්ලාක් මහතා විසිනි. 1945 වසරේදී The future of World Communication නම් විද්වත් හමුවේදී ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත්තේ අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මඟින් මුළු ලොවටම එක්වර පණිවිඩ යැවිය හැකි බවයි. ඔහුගේ එම අදහස යථාර්ථයක් බවට පත්වන්නේ 1957 ඔක්තෝ්බර් 04 වැනිදා සෝවියට් රුසියාව ලොව ප්‍රථම චන්ද්‍රකාව ලෙස 'ස්පුට්නික් 1' කක්ෂගත කිරීමත් සමඟය.

එයින් ඇරඹි සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය මේ වන විට සීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් පුළුල් විශ්වීය අවශ්‍යතා ඉටුකරන මෙවලමක් බවට පත් වී ඇත. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්කිරීමෙහිලා පුරෝගාමී වූ දුරකථන, රූපවාහිනී, කාලගුණ, සන්නිවේදන ජාල ආදී සියලු ක්ෂේත්‍රයන්හි සම්බන්ධීකාරකයා වන්නේද සන්නිවේදන චන්ද්‍රිකාය. පෘථිවියට කිලෝමීටර් 3,5768ක් ඉහළින් අභ්‍යවකාශයේ කක්ෂයක ස්ථානගත කර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ පිහිටි කක්ෂය හඳුන්වන්නේ 'ක්ලාක් කක්ෂය' ලෙසටය. ඒ මෙම චන්ද්‍රිකා සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතාට ගෞරව කිරීම සඳහාය.

චන්ද්‍රිකාවක් ලෙස හඳුන්වන්නේ කුමක් හෝ අරමුණක් සඳහා මිනිසා විසින් සූර්යයාගේ හෝ පෘථිවියේ හෝ වෙනත් ග්‍රහලෝකයක කක්ෂයකට ස්ථානගත කරන ලද වස්තුවකි. මේ වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතුවලට යුද තොරතුරු ලබා ගැනීමට, පෘථිවිය හා පිටත අභ්‍යවකාශයේ තොරතුරු ගවේෂණයට සහ විද්‍යාත්මක අධ්‍යයනය සඳහා ඉතා වැදගත් කාර්යයක් කෘත්‍රිම චන්ද්‍රිකා මඟින් ඉටු කරනු ලබයි. 1957 වසරේ ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අනතුරුව මේ දක්වා මිනිසා විසින් නිපදවනු ලැබූ චන්ද්‍රිකා සිය දහසකටත් වැඩි ගණනක් පෘථිවි කක්ෂයට යවා තිබේ.

එසේ චන්ද්‍රිකා නිර්මාණය කළ අය අතරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකේය සිසුන් දෙදෙනකු එක්වීම සුවිශේෂී අවස්ථාවකි. ඊට හේතුව ඊයේ කක්ෂගත කළ 'රාවණා 1' නමැති චන්ද්‍රිකාව නිර්මාණය කරන ලද්දේ දුලානි චාමිකා විතානගේ(24) සහ තරිඳු දයාරත්න(27) නම් ශ්‍රී ලාංකික විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරුවන් දෙදෙනා වීම නිසාය.

මෙරට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද 'රාවණා 1' නමැති චන්ද්‍රිකාව නිල වශයෙන් මාධ්‍ය වෙත එළිදක්වන ලද්දේ පසුගිය 15 වැනිදා ජපානයේදීය. එය ශ්‍රී ලංකාවේ අනාගත අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ සුබවාදී සලකුණක් සටහන් කළ අවස්ථාවක් විය.

'රාවණා 1' චන්ද්‍රිකාවේ සබඳතා පද්ධතිය සැකසීම තරිඳු විසින්ද චන්ද්‍රිකාව තම අක්ෂය වටා කරකැවෙන කෝණික ප්‍රවේගය අවම කිරීම සඳහා අවශ්‍ය පද්ධතිය නිර්මාණය කිරීම දුලානි විසින්ද සිදුකර තිබිණ. පසුගිය පෙබරවාරි 18 වැනිදා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත එම චන්ද්‍රිකාව භාරදෙනු ලැබිණ. රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව නාසා ආයතනය නිවේදනය කිරීමත් සමඟ ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කෙරිණ. ඒ අනුව ඊයේ අලුයම 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු සූදානම් කරන ලද්දේ නාසා ආයතනය විසිනි. නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මඟින් එම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු යොදා තිබිණ.

"බර්ඩ්ස් 3 චන්ද්‍රිකා' ව්‍යාපතිය සඳහන් කරන ආකාරයට ඊයේ කක්ෂගත කළ 'රාවණා 1' චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරිනි. එම චන්ද්‍රිකාවේ අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි(cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. ඒ අනුව 'රාවණා 1' චන්ද්‍රිකාව ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු අතර එහි බර කිලෝග්‍රෑම් 1.05කි. සාමාන්‍යයෙන් මෙවැනි චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට මෙන්ම කක්ෂගත කිරීමටද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතින බවද පැවසේ. මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාව 'රාවණා 1' ලෙස නම් කිරීම සිදුවී ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතාගේ අදහසකට අනුවය.

"අපේ රටේ රාවණා තාක්ෂණය ඉදිරියට ගෙනයෑමේ අරමුණින් තමයි ඒ නම යෙදුවේ. ඒ තාක්ෂණයට ලොකු වටිනාකමක් තිබෙනවා"

ශ්‍රී ලාංකික යොවුන් අභ්‍යවකාශ ඉංජිනේරුවෝ වන තරිඳු සහ දුලානි තම ව්‍යාපෘතිය පිළිබඳ එසේ පවසති.

කෑගල්ල ප්‍රදේශයේ උපත ලබා ඇති තරිඳු පින්නවල ජාතික පාසලේ ආදි සිසුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු කලක් කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර තිබේ. මේ වන විට තරිඳු ජපානයේ Kyushu තාක්ෂණික අධ්‍යයන ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. 'රාවණා 1' චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා තරිඳුට සහාය වූ දුලානි චාමිකා විතානගේ පාසල් අධ්‍යාපනයෙන් පසු තායිලන්තයට ගොස් එහිදී විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හැදෑරීමෙන් පසු මෙරටට පැමිණි කලක් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවය කර තිබේ. මේ වන විට ඇයද තරිඳු මෙන්ම ජපානයේ Kyushu තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය. කොළඹ මත්තේගොඩ උපත ලබා ඇති දුලානි කොට්ටාව ධර්මපාල, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක යන විද්‍යාලවල ආදි සිසුවියකි. ඔවුන් දෙදෙනාම 'රාවණා 1' චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සිදුකර ඇත්තේ සිය අධ්‍යයන කටයුතු සිදුකරගෙන යන අතරතුරය.

'රාවණා 1' චන්ද්‍රිකාව කක්ෂගත කිරීම තුළින් මූලික කරුණු 5ක් අපේක්ෂා කරන බව ඔවුහු පවසති. එනම් එම චන්ද්‍රිකාව හරහා ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම එම කරුණු පහට ඇතුළත් වේ. ඒ අනුව ඊයේ කක්ෂගත වූ 'රාවණා 1' චන්ද්‍රිකාව දිනකට වට 15ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්පරයට කිලෝමීටර් 7.6ක් බව පැවසේ.

"මෙය ඉතා සිත්ගන්නාසුලු කාර්යයක්. මෙම චන්ද්‍රිකාවේ සබඳතා පද්ධතිය නිපදවීමේදී මම ගැටලු රැසකට මුහුණ දුන්නා. නමුත් ඒ ගැටලු විසඳීමෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මේ ව්‍යාපෘතිය අවසානයේදී මගේ බලාපොරොත්තුව මගේ රට වෙනුවෙන් චන්ද්‍රිකාවක් නිපදවීමයි. ඒ නිසා මේ චන්ද්‍රිකාව නිර්මාණය කිරීම තුළින් ඉගෙනගත් දේවල්වලින් මගේ රටට යම් සේවයක් ඉටුකිරීමට හැකිවේ යැයි මම විශ්වාස කරනවා."

තම අනාගත අපේක්ෂාවන් පිළිබඳ තරිඳු දයාරත්න එසේ පවසයි.

"අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය හා විද්‍යුත් වැඩසටහන් පිළිබඳ වැඩිදුර හැදෑරීමට මෙම ව්‍යාපෘතිය හරහා මට අවස්ථාව ලැබුණා. ඇත්තටම මට එය සිහිනයක් වෙලා තිබුණේ. නමුත් දැන් මම ඒ ගැන තවදුරටත් හදාරනවා. ඒ වගේම මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම තුළින් මට දැනුම සහ අත්දැකීම් සම්භාරයක් ලැබුණා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් අපිට චන්ද්‍රිකාව කක්ෂගත වූ විට නිවැරදි තොරතුරු ලබාගත හැකියි. මගේ අනාගත ඉලක්කය අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීමයි. ඉන්පසු අපේ රටේ අභ්‍යාවකාශ තාක්ෂණය නඟා සිටුවන්න මට හැකි උපරිමයෙන් දායක වීම තමයි මගේ බලාපොරොත්තුව"

විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු දුලානි එසේ පවසන්නීය.

"මගේ එකම අරමුණ මගේ රටේ සිට මගේ රට වෙනුවෙන් චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමයි. ඒ සදහා අවශ්‍ය දැනුම අපිට තියෙනවා. නමුත් අවශ්‍ය තරම් පහසුකම් නැතිවීම තමයි ප්‍රධාන ගැටලුව."

අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණපාන ගැටලු ගැන තරිඳු දරන්නේ එවැනි අදහසකි. ඔවුන් දෙදෙනාගේ අදහස් මල්ඵල දරන දිනකදී ලංකාව නමින්ම වන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත වනු ඇත. ඊයේ කක්ෂගත වූ 'රාවණා 1' චන්ද්‍රිකාව ඒ පිළිබඳ සුබ පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා