ඇඩීනෝ, ඉන්ෆ්ලුවෙන්සා වෛරස් පැතිරීම අඩු වෙලා

 ඡායාරූපය:

ඇඩීනෝ, ඉන්ෆ්ලුවෙන්සා වෛරස් පැතිරීම අඩු වෙලා

-දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දකුණු පළාතේ පැතිර ගිය දරුණු 'ඇඩීනෝ' හා 'ඉන්ෆ්ලුවෙන්සා' වෛරස් උණ රෝගය පැතිරීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර ඉදිරි සති දෙක තුළදී වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම අක්‍රීය වනු ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා 'රැස'ට පැවසීය.

"මෙම වසංගතයට හේතුව වුණේ අක්‍රීයව තිබූ වෛරසය සක්‍රීය වීමයි, මෙම තත්ත්වය සෑම අවුරුද්දකම ජූනි මාසය වන විට පවතිනවා. පෙර වසරවලට වඩා මේ වසරේදියි මෙම රෝග වේගවත්ව සක්‍රීය වීම නිසා භයානක තත්ත්වයක් උදා වුණේ. රෝගය දරුණු ලෙස පැතිරුණ අවස්ථාවේ පුද්ගලයින් 07දෙනෙකු මිය ගියා. මේ වන විට රෝගය බොහෝ දුරට අඩු වෙමින් පවතිනවා. නේවාසික රෝගීන් ප්‍රමාණය පාලනය වෙමින් පවතිනවා. නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් මේ වන විට සුව වී වෛද්‍ය ප්‍රතිකාර මත නිවෙස්වලට යවා තිබෙනවා." සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

රෝගය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂකවරු කණ්ඩායමක් වෛරසය සක්‍රීය වූ ප්‍රදේශයේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද. මේ සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ උපකරණ නියමිත වේලාවට රෝගීන්ට ලැබුණු නිසා ඉක්මණින් පැතිරීම නැවැත්වීමට හැකි වූ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා