කාන්තා නියෝජනය ඉහළ මට්ටමේ රැකියාවලටත් ලැබිය යුතුයි

 ඡායාරූපය:

කාන්තා නියෝජනය ඉහළ මට්ටමේ රැකියාවලටත් ලැබිය යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

කාන්තා නියෝජනය පහළ මට්ටමේ රැකියාවලට පමණක් ලබා නොදී, මැදි මට්ටමේ මෙන්ම එය තවත් ප්‍රවර්ධනය කොට ඉහළ මට්ටම දක්වා ගෙනයන බවත්, කාන්තාවන් රටේ සංවර්ධනයට මේ වන විට විශාල දායකත්වයක් ලබාදෙන බව පසුගියදා (13) බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ ඉදිකරන ලද මහල් අටකින් යුතු ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පුහුණු, පාඨමාලා ඔස්සේ කාන්තාවන්ගේ රැකියා සිහිනය සැබෑ කර ඹවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් සඳහා එම ක්‍රියාවලිය සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

“බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මහල් 8 කින් යුතු ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උළෙලට සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මේ ගොඩනැගිල්ල ඔබට ලැබුණු වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුස්ලිම් බාලිකා විද්‍යාලයක් ලෙස මේ පාසල තවත් ඉහළට ඔසවා තැබීමක් ලෙසයි මා දකින්නේ

 

 

අපේ රටේ කාන්තාවන් පාසල් යාමට පටන් ගත්තේ 1920 , 30 කාලයෙන් පසුවයි. අපිට සර්වජන ඡන්ද බලය හිමිවන කාලය වන විට රටේ වැඩි දෙනෙකුට ලිවීමේ හෝ කියවීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට කාන්තාවන්ගේ සාක්‍ෂරතා අනුපාතය පිරිමින්ට වඩා පහළ අගයක් ගත්තා. කාන්තාවන්ට සාමාන්‍ය දැනීම නැහැ කියලා එයින් කියවෙන්නේ නැහැ. කාන්තාවන් බොහෝ විට ඉගැන්වීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගන්නවා. කොහොම නමුත් එතැන් පටන් තමයි කාන්තා අධ්‍යාපනය රටේ ආරම්භ වෙන්නේ.

අතීතයේ ගුරු වෘත්තියේ නියැලුණෙත් බොහොමයක් පිරිමි පාර්ශ්වයයි. නමුත් පසුකාලීනව බහුතරය ගැහැනු පාර්ශ්වය නියැළෙන වෘත්තියක් වුණා. අද වන විට එය ඉතා ශිඝ්‍ර ලෙස වෙනස් වෙනවා. අද බොහොමයක් ගැහැනු දරුවන් පාසල් යනවා. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ හදාරන ගැහැනු දරුවන් සංඛ්‍යාව වැඩිවෙලා තිබෙනවා.

රටේ ජනගහනය ගත්තත් කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට වඩා වැඩියි. බහුතරයක් අධ්‍යාපනය හදාරන්නේ කාන්තාවන් වුණත් රැකියා නියුක්තිය සලකා බලන විට බොහෝමයක් රැකියාවල නිරත වන්නේ පිරිමි පාර්ශ්වයයි. රැකියා ධූරාවලිය ගත් විට පහළ මට්ටමේ තිබෙන වැවිලි කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නිරත වන කාන්තා ප්‍රතිශතය වැඩියි. අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් නුපුහුණු රැකියාවල නිරත වෙනවා. ඔවුන්ගේ සේවය ලබාගන්නේ එම නුපුහුණු රැකියා ආශ්‍රිතවයි. නමුත් එම ධූරවාලියේ ඉහළට යන විට කාන්තාවන් අපට සොයාගන්නට බැහැ. කළමනාකරණ මට්ටමේ කාන්තාවන් ඉතා විරලයි. කළමනාකරණ මට්ටමේ තනතුරු දරන කාන්තාවන් සිටින එකම තැන පාසලයි. බහුතරයක් විදුහල්පති, උප විදුහල්පති තනතුරු දරන්නේ කාන්තාවන්. ඒ හා සමානව රජයේ රැකියාවල නියුක්ත වන කාන්තා ප්‍රතිශතයත් ඉහළ අගයක් ගන්නවා. රජයේ සේවයේ මධ්‍යම මට්ටමේ කළමනාකරණ තනතුරු කාන්තාවන් විසින් හොබවනවා. අපිට අවශ්‍ය තව තවත් එම සංඛ්‍යාව ඉහළ දැමීමයි.

පෞද්ගලික සමාගම් ගෙන බැලුවත් විධායක කමිටුවට ඇතුළත්වන කාන්තාවන් සංඛ්‍යාව ඉතා අඩුයි. ඒ නිසා සමාගම්වල අධ්‍යක්‍ෂ ධුරය හොබවන කාන්තා පිරිස් වැඩිකළ යුතුයි.

රජයක් වශයෙන් මේ කාරණය ගැන අපි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ වගේම කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවලට පෙළඹවිය හැකි කාරණා පිළිබඳව අපි සොයා බලනවා. උදාහරණ වශයෙන් පුහුණුව ලබාදීම ආදිය පිළිබඳව කාන්තාවන්ට විවිධ පුහුණු පාඨමාලා වෙනමම සකස් කිරීමට අවශ්‍ය වෙනවා. ඔවුන්ට නිවසේ සිටම රැකියාවල නිරත විය හැකි ක්ෂේත්‍ර පවා තිබෙනවා. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ අංශය එවන් එක් අංශයක්.

කොන්ත්‍රාත් පදනම මත කර්මාන්ත ශාලාවලට අවශ්‍ය සැපයුම් ලබාදීමේ රැකියා ක්ෂේත්‍රයත් කාන්තාවන්ට යෝග්‍ය වෙනවා. අනෙක් ක්ෂේත්‍රය නම් ස්වයං රැකියා ක්ෂේත්‍රයයි. ණය යෝජනා ක්‍රම යටතේ ඔවුන්ට තමන්ගේම ව්‍යාපාර කරගෙන යාමේ පහසුකම තිබෙනවා. ඒ ආකාරයට ඒ කාන්තා ප්‍රජාවන්ට උචිත රැකියා ක්ෂේත්‍ර හඳුන්වා දීමට අපි කටයුතු කළ යුතුයි.

ශ්‍රම බලකායට වැඩි වශයෙන් කාන්තා දායකත්වය ලබාගැනීමේ අරමුණෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාමාර්ග හඳුන්වාදීමට මාගේ අමාත්‍යාංශය කටයුතු කරනවා. අපේ රට කාර්මීකරණය වන විට, ඉඩම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන විට, අපිට තව තවත් සේවාවන් කඩ සාප්පු ඇති වනවිට, සුඛෝපභෝගී හෝටල් සංකීර්ණ ඇති වන විට ඒ ඒ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍ය වෙනවා. පිටරටවල තිබෙන සුපිරි හෝටල්වල කෝකිවරියන්, මුළුතැන්ගෙයි ප්‍රධානීන් ලෙස කාන්තාවන් බහුල වශයෙන් සේවයේ නියැලෙනවා. මේ ආකාරයට අපි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත යුතුයි”යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

[අසේල ලියනගේ]   

මාතෘකා