අගමැති දැක්මක් ඇති නායකයෙක්

 ඡායාරූපය:

අගමැති දැක්මක් ඇති නායකයෙක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

මංගල සමරවීර

2020දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි. වැඩසටහන 12 වැනිදා මාතරදී පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කීය.

“රටකට ඕනේ ප්‍රතිපත්ති වශයෙන් රටක් නිවැරදිව ගෙනියන්න පුළුවන් කෙනෙක්. රටට ආදරය ඇති දැක්මක් ඇති නායකයකුට සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. අපේ රජයේ අඩුපාඩු තියෙනවා. නමුත් අපි රට නිවැරදිව ගෙනියන්න ඕන. රටක් දියුණු කිරීමට සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන. අන්න ඒ කුලුනු දෙකට අත්තිවාරම් දමලයි තියෙන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් පෙළපාලි ගියත්, ජනාධිපතිට අගමැතිට මාධ්‍යයෙන් කුණුහරුප කිව්වත් සුදු වෑන් එන්නේ නැහැ. මේ රජයේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න පුළුවන් වුණේ රටේ ජනතාවට කවදාවත් නැති නිදහසක් ලැබී තිබෙන නිසයි. එදාට වඩා මහ දේශපාලන පෙරලියක් ඇතිවෙලා. පෙට්‍රල් මිල වැඩිවුණාම එළියට බහිනවිට දැන් සැපද? කියා අහනවා. අපි හැමදෙයක්ම කරන්නේ වෛරයෙන් නොව මෙම පුංචි රට ගොඩනගලා දරුවන්ට ලැබිය යුතු තැන ලබාදීමටයි. අපි ආණ්ඩුව ගන්න විට පෙට්‍රල් 117 යි. ඩීසල් 95යි. භුමිතෙල් 45යි. මිල සූත්‍රය මීට පෙර සැකසුවානම් මෙම තත්වය ඇතිවෙන්නේ නැහැ.

ඇමෙරිකන් ඩොලර් 45ට ඉන්ධන තිබෙන අවස්ථාවේ ඉතාමත් අඩුවෙන් ඉන්ධන දීමට පුළුවන්කම තිබියදී රාජපක්ෂවරු පෙට්‍රල් 157කට, ඩීසල් 114කට දුන්නා. ගෑස්මිල රාජපක්ෂ යුගයට වඩා අඩුයි. අගෝස්තු මාසයේ කඩිනම් සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. බිලියන් 55ක් වැයකර ලංකාවේ කුඩාවැව් 22000 ක් සෑදීමට පියවර ගෙන තියෙනවා. ධීවරයින්ට ජුනි 01වැනිදා සිට භූමිතෙල් සහනාධාරය ලබාදෙනවා.

අසූව දශකයේ අග භාගයේදී මට මතකයි සිරිමාවෝ මැතිනියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ. එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.

මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තටම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේ දී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ. මම කියන්න කැමැතියි, ගැලරිය පිනවන්නෙ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමැති වෙලා හිටිය නම් ගැලරියේ අත්පොලසන් වෙනුවෙන් මේ තරම් සහන ලබා දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන්නෙ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්.

පසුගිය දවසේ අපි දැක්කා වැලිගම ප්‍රදේශයේ පාලම් විවෘත කරන්න ගිය අවස්ථාවට ඇමැතිවරුන් පිරිසකට ඒකාබද්ධ විපක්ෂෙ කණ්ඩායම් විරෝධය පළ කළා. ඔවුන් කිවුවෙ ඒ ආණ්ඩුවෙන් කරපු වැඩ මේ ආණ්ඩුවෙන් විවෘත කරනව කියලයි. මම මතක් කරන්න කැමැතියි අද ඔය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා ඉන්න පුද්ගලය කරපු දේවල්. මාතර අපට අමතක නෑ ඒව. දක්ෂිණ අධිවේගී මාර්ගෙ වැඩ පටන් ගත්තේ 1997 දී. මමයි ෆවුසි ඇමැතිතුමයි තමයි මුල් ගල තිබ්බෙ. ඉඩම් පවරා ගනිද්දි විදේශගතව ඉන්නෙ ඉඩම් හිමියෙක් අපට නඩුවක් දැම්ම. ඒ නඩුව කාලයක් දිග්ගැස්සුණා. පස්සේ 2001 එක්සත් ජාතික පක්ෂය බලයට ආවමත් අපි අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සෙ ඇවිත් පාර හදල අපි හිටවපු මුල්ගල නිල්වලා ගගට විසි කරල තමයි එයාගෙන නම ගහගත්තෙ.”

 

[නිමාෂා සඳරුවනි]

මාතෘකා