රජයත්, ගමත් අතර සම්බන්ධතාව ඇති වන්නේ ග්‍රාම නිලධාරීන් හරහායි

 ඡායාරූපය:

රජයත්, ගමත් අතර සම්බන්ධතාව ඇති වන්නේ ග්‍රාම නිලධාරීන් හරහායි

- අගමැති රනිල් වික්‍රමසිංහ

වත්මන් රජය රට භාරගත් වසර දෙකක කාලය තුළ රට සංවර්ධනයෙන් පොහොසත් වී ඇති බවත් ජාතික ආණ්ඩුවේ අවසන් වීමට තිබෙන ඉතිරි මාස 18 කාලය තුළ ග්‍රාමීය මට්ටමේ සීග්‍ර සංවර්ධනයක් ඇතිකිරීමට වත්මන් රජය සූදානමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අරලියගහ මන්දිරයේදී (01) නව ග්‍රාම නිලධාරීන් 1650 වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

රජයත්, ගමත් අතර සම්බන්ධතාවය ඇතිවන්නේ ග්‍රාම නිලධාරීන් හරහායි. ග්‍රාම නිලධාරියාගේ කාර්ය භාරය පිළිබඳ සැබෑ විස්තරයක් එයින් ලබාදෙනවා. ඔබේ වැඩකටයුතු හරහා ගමේ අවශ්‍යතා සහ රජය අතර සම්බන්ධතාවය ඇති කරනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය අනුව දිස්ත්‍රික්කයක රජයේ ඒජන්තවරයා ලෙස කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්තුමායි. ප්‍රාදේශීය මට්ටමේ වැඩකටයුතු කරන්නේ ප්‍රාදේශීය ලේකම් තුමායි. ග්‍රාමීය මට්ටමේ දී රජය වෙනුවෙන් වැඩකටයුතු කරන්නේ ග්‍රාම නිලධාරිතුමා හෝ තුමියයි. ඒ අනුව ග්‍රාමීය මට්ටමේදී සමස්ත රජය නියෝජනය කරන්නේ ග්‍රාම නිලධාරියා බව මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා. එම නිසා ග්‍රාම නිලධාරිවරයෙක් වශයෙන් ඔබ සියලු දෙනාට විශාල වගකීමක් පැවරෙනවා. ඔබ අද සිට ඉදිරියට කිරීමට සූදානම් වන්නේ එම විශාල වගකීමයි.

මෙම වැඩකටයුත්තේදී මූලිකත්වය ගන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි. දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම් හරහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ග්‍රාමීය මට්ටමේ වැඩ කටයුතු මෙහෙයවනවා. ඔවුන්ට එදිනෙදා පරිපාලන කටයුතු පමණක් නොව දෙපාර්තමේන්තු අතර වැඩකටයුතුද කිරීමට තිබෙනවා. සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට විමධ්‍යගත හා අනෙකුත් මුදල් ලබාදීම, ව්‍යාපෘති සඳහා මුදල් වියදම් කිරීම, වැනි වැදගත් වගකීම් ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාම නිලධාරින් ලෙස ඔබට විශේෂ වැඩකටයුතු පැවරී තිබෙනවා.

වසර දෙකක් තුළ රට ගොඩනැගීමෙන් අනතුරුව අවසන් මාස 18ක කාලය තුළ ග්‍රාමීය මට්ටමේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට අපේ රජය සූදානමින් සිටිනවා. එහි මූලික වගකීම ඔබලාටත්, ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් පැවරී තිබෙනවා. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු 2015 දී අපි භාරගත්තේ සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණු රටක්. ඒ වන විට රටේ අධ්‍යාපනය ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබුණා.

අපට වැඩකටයුතු රාශියක් ආරම්භ කිරීමට තිබුණත් අයවැයෙන් වෙන්කරන මුදල් අප සීමා කළේ නැහැ. ඒ වගේම ණය සඳහා පොලි ගෙවීමටත් අවශ්‍ය මුදල් වෙන් කිරීමට අපට හැකියාව ලැබුණා. මේ වන විට ණයට ගැනීමේ ප්‍රමාණය අවම කරගැනීමට අපට හැකිවී තිබෙනවා. වැඩිම ණය මුදල් ප්‍රමාණයක් ගෙවීමට තිබෙන වර්ෂ ලෙස 2017, 2018 වර්ෂයන් හැදින්විය හැකියි. 2018 වර්ෂය අවසන් වන මේ කාලයේ දී අපේ අවධානය රටේ සංවර්ධනය වෙත යොමුකර තිබෙනවා. 2019 වර්ෂය අවසන් වනතුරු විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් අප සැලසුම් කර තිබෙනවා.

2017 වසරේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපේ රජයට විශාල සැලසුමක් තිබුණා. නමුත් අවසනාවකට ගංවතුර, නියඟය, කුණු කන්ද කඩාවැටීම ආදී ඛේදවාචකයන් නිසා එම සැලසුම්වලින් කොටසක් කල් ගියා. එවිට රටේ ආර්ථිකය කඩාවැටේවි යැයි ඇතැමුන් කල්පනා කළා. නමුත් අපේ ආණ්ඩුව ගත් පියවරයන් නිසා ආර්ථිකය කඩාවැටීමට නොදී පවත්වා ගැනීමට සංවර්ධනය කර ගැනීමට, අපට හැකිවුණා. විශේෂයෙන්ම වී වගාකිරීම් සිදු කරන ප්‍රදේශවලට බලපෑ දැඩි නියඟය හේතුවෙන් එම ප්‍රදේශවල ආදායම් පහත වැටුණා. නමුත් මේ වසරේ එම නියඟය අවසන් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

2015ට පෙර නොතිබුණු නව සංවර්ධන ව්‍යාපෘතියක් අපේ රජය යටතේ ගම වෙනුවෙන් අරඹන බව මම කියන්න කැමතියි. ඉදිරි මස 18ක කාලය තුළ ඔබට ලැබෙන මුදල් වියදම් කරමින් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග පද්ධති සකස් කිරීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. මගේ අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය හරහා ලබාදෙන මුදල් ග්‍රාමීය ප්‍රදේශවල මහාමාර්ග සංවර්ධනයට යෙදවිය යුතුයි.

දේශපාලනය කරන විට ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. අපේ විශේෂ අවධානය යොමු වන්නේ එම ගැටලු නිරාකරණය කිරීමටයි. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛත්වය සහ වැඩි අවධානය යොමු වන්නේ රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහායි. අපේ සම්පූර්ණ කාලය ඒ වෙනුවෙන් වෙන් කරනවා. ව්‍යාපෘති ගණනාවක් භාරගෙන ගැටලු රැසක මැදිවෙනවා වෙනුවට රටේ සීඝ්‍ර සංවර්ධනයට අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස මම පසුගියදා අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නා. ජනතාව අප වෙනුවෙන් ඡන්දය භාවිත කළේ එම සංවර්ධනය ඇති කිරීම වෙනුවෙනුයි. ජනතාව බලාපොරොත්තුවන සංවර්ධනය ඇති කරමින් ඉදිරි මාස 18ක කාලය තුළ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව මම මේ මොහොතේ ඔබට පවසනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරුන් මේ වැඩකටයුතු සඳහා විශාල වගකීමකින් යුතුව කටයුතු කරනවා. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති කරමින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතිකරමින් ඔවුන් ඉදිරියට යනවා. ග්‍රාමීය මට්ටමේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බව මම ඔබට අවසාන වශයෙන් පවසනවා” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මාතෘකා