බස්නාහිර පළාතේ පැය 24කදී ඝාතන 04ක් කොළඹ නාගරික මන්ත්‍රීවරයකුත් ඒ අතර

 ඡායාරූපය:

බස්නාහිර පළාතේ පැය 24කදී ඝාතන 04ක් කොළඹ නාගරික මන්ත්‍රීවරයකුත් ඒ අතර

බස්නාහිර පළාත තුළ පමණක් පෙරේදා (8) සිට ඊයේ (9) දින දක්වා ගතවූ පැය 24ක කාලය තුළදී කපා කොටා හා වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතන 04ක් පිළිබඳ සිදුවීම් පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

මෙසේ ඝාතනයට ලක්වූවන් අතර එක් කාන්තාවක හා පිරිමි තිදෙනකු සිටින අතර මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (9) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ. ඊයේ (09) පෙරවරු 7.45ට පමණ පිටකොටුව - ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල පිහිටි පලතුරු කඩයක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වූ ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් (40) නමැති අයෙකු මියගොස් තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි මන්ත්‍රීවරයාට වෙඩි තබා පළා ගොස් ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා කොළඹ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පෙරේදා (8) කොටහේන, ජම්පටා වීදිය සෙල්විගේ වත්ත ප්‍රදේශයේදී රාත්‍රී 8.15ට පමණ සිදු කරන ලද වෙඩිතැබීමකින් 58 හැවිරිදි සෙල්වයියා සෙල්වරාජ් සහ 50 හැවිරිදි එලිසබට් පෙරේරා නමැති අඹුසැමි යුවලක් ඝාතනය කර තිබිණි. කලක සිට ක්‍රියාත්මක වන අපරාධ කණ්ඩායම් 02ක් අතර පවතින ගැටුමක් මෙම ඝාතනවලට මුල්වී ඇති බව පොලිස් පරීක්ෂණ ඔස්සේ අනාවරණ කරගෙන තිබේ.

මෙම ඝාතනයට අමතර ඊයේ (09) අලුයම 3.30ට පමණ කිරිබත්ගොඩ, නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන ඇති අතර වයස අවුරුදු 40ක්වූ කිරියාදුරගේ ධනුෂ්ක තරංග ගුණරත්න නමැත්තකු මෙසේ මියගොස් ඇති බව අනාවරණ වී තිබේ. ඔහු වත්තල හැඳල හංදියේ ත්‍රීරෝද රථ රියදුරකු වන අතර ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කරනු ලැබ ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ ඝාතන සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කළේය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා