මන්නාරම සමූහ මිනීවළේ කැනීම් භූමිය පුළුල් වෙයි

 ඡායාරූපය:

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් භූමිය පුළුල් වෙයි

මිනිස් සිරුරු 266ක කොටස් මතු වෙයි

ඇටසැකිලි ඇමෙරිකාවට යැවීමට මූල්‍ය බාධක

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 266කට අයත් අස්ථි කොටස් ඊයේ (06) වන විට හමු වී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එසේම පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීමට සිදු වන බවද සමින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

සොයා ගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266කට අයත් අස්ථි කොටස් ක්‍රමානුකූලව මතු කරගැනීමට හැකි වී ඇති අතර ඉන් සිරුරු 258කට අයත් කොටස් කැනීම්වලින් ඉවත් කරගැනීමට හැකි වී තිෙබ්. සමූහ මිනීවළෙන් හමු වූ ඇටසැකිලි කාබන් පරීක්ෂණය පිණිස ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත රැගෙන යෑමට මන්නාරම අධිකරණයෙන් නියෝග ලැබුණද, මූල්‍ය ගැටලු මත එම මිනිස් ඇටසැකිලි රැගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මිනිස් ඇටසැකිලි ඇමෙරිකාව වෙත රැගෙන යෑමට හා ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට විශාල මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති නමුත්, එම මුදල ලබා දෙන ආයතනය පිළිබඳ මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

වියදම් අධික වීමෙන් හමු වූ මිනිස් ඇටසැකිලිවලින් සාම්පල් කිහිපයක් පමණක් ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරය වෙත යවා, ඒවායෙහි කාල නිර්ණය මත සෙසු ඇටසැකිලිවල කාලය තීරණය කිරීම සඳහා මුලදී තීරණයක් ගත් නමුත්, වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් පර්ශ්ව දෙකකට බෙදීම හේතුවෙන් එම තීරණයද ක්‍රියාත්මක නොවූ බව කැනීම් කටයුතුවල නිරත නිලධාරීහු පවසති.

[එන්.එම්. කුලසූරිය]

[රසුල දිල්හාර ගමගේ]

 

මාතෘකා