දෙවියන් ළඟට ආ මිනිසුන්ට බෝම්බ ගැසූ යක්ෂයෝ

 ඡායාරූපය:

දෙවියන් ළඟට ආ මිනිසුන්ට බෝම්බ ගැසූ යක්ෂයෝ

ලොව පුරා කිතුනුවන් ජේසුස් වහන්සේගේ උත්ථානය සමරන 'පාස්කු මංගල්‍යය' නිමිත්තෙන් බොහෝ දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායකි. ඊයේ (21දා) දිනයේ යෙදී තිබුණු පාස්කු ඉරිදා වෙනුවෙන් මෙරට බොහෝ දේවස්ථානවල උදෑසන විශේෂ දේව මෙහෙයන් පැවැත්විණ. මිනිසා පාපයෙන් මුදා ගැනීමට කුරුසයක් මත දිවි පිදූ ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිකරමින් කිතුනුවන් දේවස්ථානය කරා යන්නේ සිය පාපවලට පසුතැවෙමිනි. දේව මෙහෙය තුළ ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව හා ඒකාත්මික වන කිතුනුවා දේවස්ථානයෙන් පිටතට එන්නේ පාපයේ මාවත අතහැර නිකළැල් දිවි මඟකට ප්‍රවිෂ්ට වීමේ පහන් චේතනාව ඇතිවය. එහෙත් කිතු උත්ථානයේ සොම්නස සතුටු සිතින් විඳගන්නට ඊයේ දිනයේදී බොහෝ කිතුනුවන්ට හැකිවූයේ නැත. සොම්නස දොම්නසක් බවට හරවමින් ඊයේ උදෑසනම අසන්නට ලැබුණේ අවාසනාවන්ත පුවතකි.

"කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ බෝම්බ පිපිරීමක්" ඒ අවාසනාවන්ත පුවත එතැනින් අවසන් වූයේ නැත. ආරංචිවලට අත්තටු ලබාදෙමින් ඊළඟට අසන්නට ලැබුණේ මීගමුව කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේද බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවයි. තවත් මොහොතකට පසුව කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් 3ක සහ මඩකළපුව සියොන් දේවස්ථානයේද බෝම්බ පිපිරීමක් සිදුවූ බව වාර්තා විය. කිතුනු බැතිමතුන්ට ආගමික වශයෙන් ඉතා වැදගත් දිනකදී සිදුවූ එම ප්‍රහාරවලින් කිතුනු බැතිමතුන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අතිශයින් කම්පාවට පත්වූහ. බෝම්බ ප්‍රහාරයකට ලක්වූ එම කතෝලික දේවස්ථාන ආගමික භේදයකින් තොරව බොහෝ දෙනකුගේ බුහුමනට පාත්‍ර වූ සිද්ධස්ථාන වීමද විශේෂත්වයකි.

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය යනු කොළඹ නගරය මැද පිහිටි කිතුනුවන් මෙන්ම අන්‍යාගමිකයන් අතරද ජනප්‍රිය සිද්ධස්ථානයකි. සාන්ත අන්තෝනි මුනිඳුන් නමට කැපකර ඇති මෙම සිද්ධස්ථානයට සතියේ සෑම දිනකම මෙන්ම විශේෂයෙන් සෑම අඟහරුවදා දිනකම විශාල ජනතාවක් පැමිණෙති.

මෙම සිද්ධස්ථානයේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂය පමණ කරා දිවෙන්නකි. එකල මෙරට කතෝලික ධර්මය තහනම් කරන ලද ආගමක් වූ අතර ලන්දේසීන්ගෙන් කතෝලික ජනතාවටත් පූජකවරුන්ටත් දැඩි පීඩා එල්ල විය. ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි ජෝකෝමේ ගොන්සාල්වෙස් නම් පියතුමකු වෙළෙන්දකු සේ වෙස් වළාගෙන කොළඹ මැලිබන් වීදියෙහි පිහිටි නිවෙසක නතර වී කතෝලික දහම ප්‍රචාරය කළේ එවැනි තත්ත්වයක් යටතේය. මුහුදු ඛාදනය නතර කරවන්නට දෙවියන් වහන්සේට කළ යාච්ඥා සඵල වීම නිසා එම පියතුමා කෙරෙහි පැහැදුණු ධීවරයෝ මුහුදු වෙරළේ එම ස්ථානයේ කුරුසයක් ස්ථාපිත කළහ. වර්ෂ 1806දී පමණ එම ස්ථානයේ කුඩා දේවස්ථානයක් ඉදිවූ අතර 1822දී එම දේවස්ථානයේ සාන්ත අන්තෝනි පිළිරුවක් ස්ථාපිත කර තිබේ. 1828දී එම ස්ථානයේ නව දේවස්ථානයක් ඉදිකිරීම ආරම්භ කරන ලද අතර 1834 ජුනි 1 වැනි දින එය විවෘත කෙරිණ. එතැන් සිට කාලයත් සමඟ වැඩි දියුණු වෙමින් ආ සිද්ධස්ථානය 2010 වසරේදී සිය 175 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබිණ.

මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයද වසර 150ක ඉතිහාසයක් ඇති ඉපැරණි දෙව්මැදුරකි. කිතුනුවන් අතර බුහුමනට පත් ප්‍රාණ පරිත්‍යාගීවරයකු වන සාන්ත සෙබස්තියන් මුනිඳුන් නමට කැප කර ඇති දේවස්ථාන රාශියකි. ඒ අතරින් පෘතුගීසි යුගයේදී ඉදිකළ පළමු දේවස්ථාන 150 තුළ සාන්ත සෙබස්තියන් මුනි නමට මීගමුවේ ඉදිකළ දේවස්ථානය ලෙසද මෙම දේවස්ථානය සැළකිය හැකිය. මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුවේ දැනට ඇති ඉපැරණිම සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ලෙස සැලකේ. එයට හේතුව එම දේවස්ථානය සතු දත්තවලට අනුව මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වර්ෂ 1869 සිට වර්තමාන දේවස්ථානය පැවති භූමියම තුළම කුඩා දේවස්ථානයක් වශයෙන් පැවැති බවට වාර්තා තිබීමයි. එහි ඇති රෝගීන් ස්නානය කරන ළිඳද ඒතරම්ම පැරණිය.

මීගමුව නගර මධ්‍යයේ සිට කිලෝමීටර් දෙකක් පමණ ඇතුළට වන්නට පිහිටි කටුවපිටිය දේවස්ථානය වටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකි. මීට වසර ගණනාවකට පෙර මෙම දේවස්ථාන භූමිය ඉතා විශාල වෘක්ෂයන්ගෙන් වැසී ගිය විශාල භූමියක් විය. අද ඉතා ජනාකීර්ණව පැවතියද කටුවපිටියේ ග්‍රාමයේ සහ ශා. සෙබස්තියන් පල්ලිය අවට ප්‍රදේශයේ තවමත් එම සුන්දර පාරිසරික ලක්ෂණ අතරින්පතර හෝ දැකිය හැක. බැලූ බැල්මටම දේවස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වයි. එයට හේතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ ෂර්ලි ද අල්විස් මහතා විසින් මෙම දේවස්ථානය නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලබා දී තිබීමය. මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානය ශ්‍රී ලංකා කතෝලික දේවස්ථානවල දේශීය සලකුණ එය විය හැකි බවය.

ඊයේ බෝම්බ ප්‍රහාර එල්ල වූයේ හුදු ගොඩනැඟිලිවලට නොවේ. ඒවා ජනතාව අතර බුහුමනට පත් සිද්ධස්ථානයන්ය. කිසිදු ආගමික ශාස්තෘෘවරයකු ලේ වැගිරීම් තුළින් දහම ප්‍රචාරය කොට නැත. එසේ කිරීමට අනුබල දී නැත. දෙවියන් හමුවන්නට, දෙවියන් දකින්නට දේවස්ථානය කරා ගිය අහිංසක බැතිමතුන්ගේ ලේ වැගිරීම් දකිද්දී සිතෙන්නේ මෙවැනි අධම ක්‍රියාවක් සිදුකළ අයගේ අපේක්ෂාව කුමක් වුවත් එය දෙවියන් පවා සසල කළ පාපතර ක්‍රියාවක්ම බවය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා