මූර්ති කැටයම් සමඟ ගෙවෙන ජීවිත

 ඡායාරූපය:

මූර්ති කැටයම් සමඟ ගෙවෙන ජීවිත

නිසග හැකියාව ජීවනෝපාය කරගත් සමහරු මේ ආතුර වූ සමාජය සුවපත් කිරීමට දරන වෙහෙස විටෙක පුදුමය. ජීවත් වීමට පහසු මාර්ග සොයන මිනිසුන් අතර ඔවුහු අසීරු මාවතේ යති. තඹුත්තේගම - අනුරාධපුරය ප්‍රධාන මාර්ගය පසෙකට වී බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ආදිය නිර්මාණය කරන තරුණයන් කිහිපදෙනකුගේ දසුන මෙහි එන කාටත් හුරුපුරුදුය.

සුපුන් කණිෂ්ක හා තිලිණ උපුල් යනු තලාව, මල්වානේගම ප්‍රදේශයේ මහමඟ පසෙක ඇති කුඩා වැඩපොළෙහි සිටින නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකි.

“ඇත්තටම අපිට මේ කරන වැඩවලින් ආදායමක් තියෙනවා. ඒත් පහුගිය මාසේ අපේ ආදායම හොඳටම බැස්සා. ඉස්සර වෙසක්, පොසොන් මාසවලට ඉවර කරගන්න බැරිතරම් වැඩ එනවා. මේ පාර එහෙම වුණේ නෑ. අපි ඉන්න කම් මේ කර්මාන්තේ කරනවා. ඒත් ඊට පස්සේ පරම්පරාව මේවා කරයිද කියන එකයි ගැටලුව. ඩිජිටල් ප්‍රින්ටින් තිබුණා කියලා බුදු මැදුරුවල චිත්‍ර අඳින්න ඒ තාක්ෂණයට බෑ. ඒ නිසා මේ කර්මාන්තේ නම් තියේවි. කර්මාන්තකරුවෝ තමයි හොයාගන්න විදියක් නැතිවෙන්නේ. මොකද අපි වගේ ශිල්පීන්ට අතදෙන්න වැඩපිළිවෙළක් නැහැ. අවුරුද්දකට සැරයක් තියෙන නිර්මාණ තරගෙකින් ඒක කරන්න බෑ.” සුපුන් පැවසීය.

ආර්. පී. ජී. රෝහිත සංජීව තමන්ටම ආවේණික වූ නිර්මාණ කාර්යයක නියැළෙන අයෙකි. චිත්‍ර කලාව සඳහා රෝහිත සතුව පැවැති නිසඟ හැකියාව නිසා ඔහු කුඩා කල සිටම චිත්‍ර හා මූර්ති ශිල්පියකු ලෙස ප්‍රකටව ඇත. තලාව, සුනාමි හන්දියේ සිය කුඩා වැඩපොළේ දවස ගෙවන රෝහිත (38) දියණියන් දෙදෙනකුගේ පියෙකි.

“විහාර කර්මාන්තයට අදාළ චිත්‍ර, මූර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. මං මේ කර්මාන්තේ කොහෙන්වත් ඉගෙනගත්තේ නෑ. ඉස්කෝලේ යන කාලේ මම මේවට ප්‍රසිද්ධයි. අලුත් දේවල් හිතලා කළා. මේ වෙද්දි පන්සල් දෙසීයකට වැඩිය මම විත්‍ර අඳිනවා; පිළිම අඹනවා. දැන් මගේ තාත්තා අයියා දෙන්නත් මාත් එක්ක පන්සල්වල වැඩට එනවා. මගේ මල්ලිගේ පුතාත් (රශ්මික විභීෂ) මේ වැඩවලට එකතු කරගත්තා. අපෙන් පස්සේ කවුරු හරි මේ දේවල් ඉස්සරහට අරගෙන යන්න ඕන. විහාරවල චිත්‍ර අඳින අය දැන් හරි අඩුයි. ඉන්නේ බොහෝම ටික දෙනයි. ඒ ටිකදෙනා තමයි පන්සල්වල චිත්‍ර, මූර්ති, කැටයම් වැඩ කරන්නේ. ඒ අයත් නැති දවසට මේවා ඉස්සරහට ගෙනියන්න කෙනෙක් නැහැ. මොනව වුණත් අලුත් පරම්පරාවක් හදන්ඩ වැඩපිළිවෙළක් නම් පේන්ඩ නෑ.”

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා