අනුරාධපුර සෙත්සවියෙන් අන්තර් ආගමික සාම වැඩසටහන් රැසක්

 ඡායාරූපය:

අනුරාධපුර සෙත්සවියෙන් අන්තර් ආගමික සාම වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙසෙන ජනතාව ජාති හා ආගම් වශයෙන් බෙදී වෙන්ව විරසක වීම හෝ ඔවුනොවුන් ආගම් වෙනුවෙන් යුද වැද ජීවිත හානි සිදුකිරීම රටක් වශයෙන් අප පරිහානියට පත්වීමක් බව අනුරාධපුර සෙත්සවිය ආයතනයේ අධ්‍යක්ෂ ගරු බෙනට් මැල්ලව පියතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කරිටාස් ආයතනයේ මඟ පෙන්වීම මත අනුරාධපුර සෙත්සවිය සමාජ හා ආර්ථික සංවර්ධන ආයතනය පසුගියදා සංවිධාන කළ අන්තර් ආගමික සුහදතාව වර්ධනය කිරීමේ හමුවක් අමතමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළේ, කතෝලික බෞද්ධ මෙන්ම හින්දු ආගම අදහන ජනතාව හා මුස්ලිම් ජනතාව අතර පසුගිය කාල සීමාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය හා අනවබෝධය දුරු කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති සාම වැඩසටහනකදීය.

මෙම වැඩසටහන සඳහා අනුරාධපුර සාම විහාරාධිපති සාමශූරී පූජ්‍ය විලච්චියේ විමල හිමි, රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ ආචාර්ය ගරු සරත් පීරිස් පියතුමා, අනුරාධපුර කදිරේෂන් කෝවිලේ බාලචන්ද්‍ර ඥාණචන්ද්‍රන් කුරුක්කල්තුමා, අනුරාධපුර දිස්ත්‍රික් ඉස්ලාම් දහම් පාසල් සම්බන්ධීකාරක එම්.ඒ.එන්. දිල්ශාන්, කරිටාස් ආයතනයේ සාම වැඩසටහන් සම්බන්ධීකාරක මධුර වර්ණකුලසූරිය ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් රැසක් සහභාගී වූ අතර අනුරාධපුර ගම්මිරිස්ගස්වැව හා කෝලිබන්දෑව පැරණි ගම්මානවල පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක මෙම අන්තර් ආගමික සහයෝගිතා වැඩසටහන පැවැත්විණ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිංහල ගම්මානවලට මැදි වී ඇති මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්ලිම් ජාති හෝ ආගම් භේද වර්ධනය නොවී තිබීම තුළ අතීතයේ සිට මෙම ජාතීන් හා ආගම් එකිනෙකා හා සුහදව කටයුතු කළ බවට නිදසුනක් බව අනුරාධපුර කදිරේශන් කෝවිලේ බාලචන්ද්‍ර ඥානචන්ද්‍රන් කුරුක්කල්තුමා පැවසීය. අනුරාධපුර සාම විහාරාධිපති පූජ්‍ය විලච්චියේ විමල හිමියන් සඳහන් කළේ තවමත් විවිධ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව තමන් වහන්සේ සමඟ ඉතා සුහදව කටයුතු කරන බවත් ඇතැම් අයගේ රෝගී තත්ත්වයන් පවා සුවපත් කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් සොයා යෑමට එවැනි මුස්ලිම් ජාතිකයන් තමන් වහන්සේගේ සහාය ලබා ගන්නා බවයි. විවිධ දේශපාලන හා පටු අපේක්ෂා මත බෙදී, අරගල ඇති කිරීමට උත්සාහ ගන්නා සුළු පිරිසක් හැරුණු කොට සමස්ත ශ්‍රී ලංකාවාසී බුද්ධිමත් ජනතාව මෙම ආගම්වාදී අන්තවාදී ක්‍රියාවට සහාය නොදක්වන බවද විලච්චියේ විමල හිමියෝ ප්‍රකාශ කළෝය.

මුස්ලිම් දේවස්ථාන දෙකෙහිම මව්ලවිතුමන්ලා සහ සභාපතිවරුන් අදහස් දක්වමින් සඳහන් කළේ වෙනත් ආගම් අදහන ඇතැම් අය මෙම දේවස්ථානවල අභ්‍යන්තරයේ සිදු වන බවට සැක කරන කිසිඳු දෙයක් නොමැති බවත් බෞද්ධ, කතෝලික, හින්දු ජනතාවට එම දේවස්ථානවල සිදු කෙරෙන ආගමික මෙහෙයන් දැක බලා ගැනීමට ආරාධනා කරන බවත්ය. එමෙන්ම මසකට වරක් දෙවරක් එසේ විවිධ ආගම් අදහන අය අනෙක් ආගමික පූජ්‍යස්ථානවලට ගොස් එම ආගමික කටයුතු අධ්‍යයනය කිරීම තුළ ඔවුනොවුන් අතර තිබෙන සැකය හෝ අවිශ්වාසය දුරු වන බවද සඳහන් කළෝය.

"කෝලිබන්දෑව ගමේ සියලුම මුස්ලිම් ජනතාව බොන්න ෆිල්ටර් වතුර ගන්නෙ මැදගම පන්සලෙන්. ඒ වතුරවලට සිංහල මිනිස්සු වස විස දාල මුස්ලිම් අයව මරා දායි කියලා අපිට කිසිම සැකයක් එදත් නෑ, අදත් නෑ, හෙටත් නෑ. ඒක තමයි අපේ විශ්වාසය. ඒක තමයි අපේ බැඳීම. අපි ඉන්නෙ සිංහල ගම්මානවලට මැදි වෙලා. පහුගිය පාස්කු ඉරිදා ඇති වුණු අවාසනාවන්ත සිද්ධියට මේ ගම්වල සිංහල ජනතාව ප්‍රකෝප වුණා නම් මේ වෙන කොට අපි කවුරුත් ජීවතුන් අතර නෑ. ඒත් ඒ වගේ අවාසනාවන්ත දෙයක් ඒ වගේ විනාශයක් මේ ගම්මානවල සිද්ධ වෙන්නේ නෑ කියලයි අපි කාගෙත් විශ්වාසය."

කෝලිබන්දෑව ගමේ මුස්ලිම් වැසියන් එසේ සඳහන් කළේ තවමත් ඔවුන් තුළ සාමය හා සහයෝගීතාව ආරක්ෂා කිරීමේ සැබෑ මානවවාදී හැඟීම සමඟයි. සියලුම ආගමික නායකයන් මේ සෑම ක්‍රියාදාමයකටම සෘජුවම සම්බන්ධ විය යුතු බවත් පටු දේශපාලන හා වෙනත් අරමුණුවලින් බැහැර වී රටක් වශයෙන් එකම ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ වැදගත් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

[රංජිත් රූපසිංහ]

මාතෘකා