රතු එළි දල්වන රාජාංගණය ‘කහ පාලම’

 ඡායාරූපය:

රතු එළි දල්වන රාජාංගණය ‘කහ පාලම’

කලාඔය හරහා රාජාංගණය, පැරකුම්පුර ප්‍රදේශය ආසන්නයේදී ඉදිකොට ඇති මගී පාලම දැඩි ලෙස අබලන් වීමෙන් ගැටලු රැසකට මැදිවීමට ප්‍රදේශවාසීන්ට සිදුව ඇත. රාජාංගණය ගොවි ජනපදය සහ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය එකිනෙක යා කරමින් ගැමියන් ‘කහ පාලම’ ලෙස හඳුන්වන මෙම පාලම ඉදිකොට ඇත. රාජාංගණය පහේ කණුව හන්දියේ සිට පැරකුම්පුර කඩමණ්ඩිය දක්වා දිවෙන මාර්ගය අතරමඟ මෙම පාලම දැකගත හැකිය. 1996 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ මෙම පාලම ඉදිකොට ඇත. ඒ වන විට රාජාංගණය මහ වැවේ බැම්ම මතින් වැටී ඇති මාර්ගය ඔස්සේ විශාල අතිරේක දුරක් ගෙවමින් සිය ගම්බිම් වෙත ගිය ගැමියන්ට මෙම පාලම ඉදිකිරීම එවක මහත් අස්වැසිල්ලක් වී ඇත. එහෙත් එය එතෙක් පැවැති ප්‍රදේශවාසී ජනතා ඉල්ලීම් සඳහා ලබා දුන් තාවකාලික විසඳුමක් පමණක් බව දැන් පැහැදිලි වෙමින් තිබේ.

මෙම පාලමේ ඉතිහාස කතාවද වෙනස්ම ආරක එකකි. 1960 දශකයේදී රාජාංගණය මහවැව ඉදිකිරීමේදී ගිරිබාවත් රාජාංගණයත් යා කරන විකල්ප මාර්ගයක් සකස් වී ඇත. වැවේ වානට ඉහළින් පාලමක් ඉදිකොට ඇත්තේ ඉහත මාර්ගය ඒ මතින් දිවෙන පරිද්දෙනි. මීටර් සියයකට වැඩි දිගකින් යුතු මෙම පාලම වානේ ඇසුරින් නිපදවා ඇති අතර කහ පැහැති තීන්ත එහි ආලේප කොට ඇත. මෙහෙයින් එවක මෙම පාලම ‘කහ පාලම’ ලෙස ප්‍රකටව පැවැත ඇත. මහ වැවේ වැව් බැම්ම, වාන් දොරටු ආදිය ඉදිකොට වැඩ නිමවූ පසු ඒ මතින් නව මාර්ගයක් ඉදිවන්නේ රාජාංගණය සිරිමාපුර හන්දියත් ගිරිබාව ප්‍රදේශයත් එකිනෙක යාවන අන්දමිනි. මෙම නව මාර්ගය ඉදිවීමත් සමඟ විකල්ප මාර්ගය වැසී ගොස් ඇති අතර කහ පාලමද හුදෙකලා වී ඇත.

මෙසේ වසර ගණනාවක් අව්වෙන්, වැස්සෙන් හිරිහැර විඳිමින් මහවැව පාමුල හුදෙකලා වී තිබූ කහ පාලම කලාඔය හරහා ඉදිවනුයේ සුළු අලුත්වැඩියාවන් කිහිපයකින් අනතුරුවය. වානේ කඳන්වල ආලේප කොට තිබූ කහ පැහැය වෙනුවට රතු පැහැති තීන්ත ආලේප කිරීමද මෙම නව අලුත්වැඩියාවන් අතර විය. කහ වෙනුවට රතු පාට පාලමෙහි ආලේප කෙරුණද කහ පාලම යන්න ගැමියන්ගේ කට වහරින් මගහැරී නැත. අද ගැමියන්ට මරාලයක් වී ඇත්තේ එසේ ඉදිවු කහ පාලමය.

රාජාංගනය දකුණු ඉවුර ප්‍රදේශයේ චමින්ද කුමාර මහතා පාලමෙහි එදා මෙදා ඇති තතු කියන්නට ඉදිරිපත් විය.

“දවසකට ගම්මාන හැට හැත්තෑවක දහස් ගාණක් මිනිස්සු මේ පාලමෙන් එහාට මෙහාට යනවා. කලින් රාජාංගණය මහවැව ළඟ වානට උඩින් දාල තිබ්බ පාලම තමයි මෙතැන ගෙනත් හයිකෙරුවේ. එහෙම බලනකොට මේ පාලම දැන් අවුරුදු පනහක් හැටක් පරණයි. ඒ කාලේ හැටියට මෙතැන පාලම හයිකරපු එක හොඳ දෙයක් වුණත් දැන් මේකෙ කාලේ ඉවරයි. පාලම හරහට දාලා තියෙන ලී කොට දැන් සම්පූර්ණයෙන්ම දිරලා තියෙන්නේ. කොයිමවෙලාවක හරි කඩා වැටිලා ලොකු අනතුරක් වෙනවා. පාලම උඩින් යනකොට දෙදරන සද්දේ ඇහෙනවා. මේක උඩින් බර වාහන යන එක මේ තියෙන තත්ත්වය හැටියට හරිම අවදානම්. ඒත් කිසි සීමාවක් නෑ වාහන යනවා. වෙන විකල්පයක් නෑනේ.”

කහ පාලමෙන් මෙපිට රාජාංගණය දකුණු ඉවුර ලෙසත් ඉන් එපිට වම් ඉවුර ලෙසත් සැලකේ. රාජාංගණය යාය 05, යාය 04, යාය 03, දම්සෝපුර, ගිරිබාව, සෝලේපුර, පැරකුම්පුර ආදී ගම්මාන රැසක ජනතාව සිය විවිධ අවශ්‍යතාවන් සඳහා මෙම පාලම භාවිත කරති. ගැමියන් යාය 05 ප්‍රාදේශීය රෝහලට සහ තඹුත්තේගම මූලික රෝහලට රාත්‍රි කාලයේදී පවා රෝගීන් ගෙන යන අවස්ථාවන්ද බොහෝය. ගැමියන්ට සිය ගොවිපොළ නිෂ්පාදන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට ඇති පහසුම මාර්ගයද මෙය වේ. මෙම පාලම කඩා වැටුණහොත් ගම්මාන ගණනාවක දහස් සංඛ්‍යාත ජනතාවගේ එදිනෙදා ප්‍රවාහන පහසුකම් මුළුමනින්ම ඇනහිටීම වැළකිය හැක්කක් නොවේ.

එස්. සෝමපාල මහතා එවක පටන් ගොවිතැන් බත් කොට ජීවිකාව ගෙනයන වියපත් ගැමියෙකි. මතුවිය හැකි අවදානම ඔහුට හොඳින් වැටහේ.

“මේ පළාත්වල වැඩි හරියක් ඉන්නේ ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කෙසෙල් කොටු විතරක් සිය ගාණක් තියෙනවා. මිනිස්සු අස්වැන්න අරගෙන තඹුත්තේගම මාකට් එකට යන්නේ මේ පාලමෙන්. මේක කැඩිලා ගියොත් ඒ හැම මනුස්සයම අනාථ වෙනවා. පාලම කොයිවෙලේක හරි කඩා වැටෙන බව මේ පැත්තේ ඉන්න දේශපාලකයෝ හොඳටම දන්නවා. ඒත් කවුරුවත් පාලම හදලා දෙන එක ගැන සැලකිල්ලක් නෑ. අපි ඕනෑ තරම් මෙහෙට එන ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට මතක් කරලා තියෙනවා. මහ ලොකුවට කයිවාරු ගහන කිසි කෙනෙක් ගම්වල තියෙන මේ වගේ ප්‍රශ්න ගැන හොයන්නේ නෑ.”

යකඩ, වානේ සහ ලී කඳන් එකිනෙක සම්බන්ධ කරමින් මෙම පාලම ඉදිකොට ඇත. පාලම හරහා දමා ඇති ලී කඳන් දිරා ගොස් දැඩි ලෙස අබලන්ව ඇති බවත් ලී කඳන් ආවරණය වන සේ සවිකොට ඇති වානේ තහඩු කිහිපයක් ගැලවී ගොස් ඇති බවත් පියවි ඇසට මනාව පෙනීයයි. වානේ තහඩුද මලකඩ බැඳී ඇත. විවිධ වාහන පාලම මත ගමන් ගන්නා බැවින් දිරා ගිය ලී කඳන් කඩා වැටී විශාල අනතුරක් සිදු වී ජීවිත හානි පවා සිදු විය හැකිය. රාත්‍රීයේදී දෙපයින් පාලම මත ගමන් ගන්නවුන් ලී කදන් දිරා වලවල් සෑදි ඇති ස්ථානවලට ඇද වැටී තුවාල සිදු වූ අවස්ථාවන්ද ඇත. ඉදිරියේදී වැසි ඇති වීමත් සමඟ මෙම අවදානම තවදුරටත් වැඩි වීම වැළැක්විය නොහැක්කකි. පාසල් දරුවන්ද දෛනිකව පාලම මත ගමන් කරයි. වයෝවෘද්ධ වැඩිහිටියන්ද ඒ අතරය.

රාජාංගණය, වම් ඉවුරේ ඩබ්ලිව්.ඩී. ළහිරු ධනුෂ්ක ඇසට පෙනෙන අවදානම හෙළි කළේ මෙසේය.

“ඇත්තටම මේක දිස්ත්‍රික්ක දෙකකට අයිති පාලමක්. පාලමෙන් මෙහා පැත්ත අනුරාධපුරේ. එහා පැත්ත කුරුණෑගල. එහෙම බලනකොට මේ පාලමෙන් දිස්ත්‍රික්ක දෙකක් යා වෙනවා. රාජාංගණේ විතරක් නෙමෙයි ගිරිබාව, ගල්ගමුව එතැනින් එහාට පුත්තලම පැත්තේ මිනිස්සු පවා මේ පාලම පාවිව්චි කරනවා. පාලම කඩා වැටුණු දවසට ඒ හැමෝම අසරණයි. වැස්ස වහින්ඩ ගත්තට පස්සේ පාලමේ ලී කොට තවත් දිරයි. දැනටමත් අන්තිමටම දිරලා තියෙන්නේ.”

කහ පාලම හමුවන රාජාංගණය, පහේ කණුව හන්දියේ සිට පැරකුම්පුර හන්දිය දක්වා දියත්වන මාර්ගයද හොඳ ගානට අබලන් වී ඇත. එහි ගමන් ගැනීම වෙනම මානසික හිරිහැරයකි. කහ පාලමට නොදෙවැනිව මෙම මාර්ගයද ගැමියන්ට නොඅඩුව වද දෙයි. මඟ යන්නවුන් විඳින වද වේදනා ගැන ඩබ්ලිව්.ජී. හංසක ප්‍රදීප් පැහැදිලි කළේය.

“මේ පාලම වැටිලා තියෙන පාරත් ගන්නම දෙයක් නෑ. තාර දාලා තියෙන කෑල්ලේ හල්හත්තේ වළවල්. බොරලු පාරත් වළවල් විමානයක්. පාරේ කිලෝ මීටරයක් විතර කොන්ක්‍රීට් දාල තියෙනවා. ඒක ඔක්කොටම හපන්. පයින්වත් යන්ඩ බෑ ඒ ටිකේ. කවුරු හරි දේශපාලන පන්දම්කාරයෙක් කීයක් හරි හොයාගන්න කරපු වැඩක් ඒක. මේවා තමයි ගම්වලට කෙරෙන්න ඕන වැඩ. ඒත් මේ දේවල් අමතක කරලා මෙහේ ඉන්න මන්ත්‍රීලා, ඇමතිලා කතා කරන්නේ ලෝකේ අල්ලන්න.”

අබලන්ව, හුදෙකලාව රතු එළි දල්වන ‘කහ පාලමට’ නොදෙවැනිව මෙහි ගැමියන් වගකිවයුත්තන්ට රතු එළි දල්වයි. පාලම කඩා වැටී අනතුරක් සිදු වීමට මත්තෙන් ඒ වග වගකිවයුත්තන් දකී නම් එය හැමගේ හිතසුව පිණිස වන බව නම් නොඅනුමානය.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා